ජනාධිපතිතුමනි, වැඩ බැරි නම් නාඬා ඉල්ලා අස් වන්න


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පස් අවුරුදු ධුර කාලයෙන් අවුරුදු 3 1/2ක් පමණ කාලයක් දැන් ගෙවී හමාර ය. රට පාලනය කරනවා වෙනුවට තමන් දමා ආ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය තමන් අතට ගැනීමට රාජපක්ෂලා සමග පොර බැදූ ඔහු දැන් සටනින් පැරදී අඬන බබෙකුගේ තත්වයට පත් වී තිබේ.
විධායක ජනාධිපති ධුරයටත් පත් කිරීමෙන් පසුව, අරූ මට වැඩ කරන්න දුන්නෙ නැහැ, මට නොකියා අරෙහෙම කළා, මෙහෙම කළා යි කීම අතිශය බොළඳ වැඩකි. එය ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පැමිණි පසු මට සිගරැට් බොන එක නවත්තන්න මහින්ද රාජපක්ෂ ඉඩ දුන්නෙ නැහැ ආදී වශයෙන් කියමින් ඇඬූ ඇඬිල්ලේ ම වඩා විහිළු සහගත ස්වරූපයකි.
ජනාධිපති වූ පසුව හෝ ඔහුට ඒ සිගරැට් මෙව්ව එක කර ගන්නට බැරි වී තිබේ.
තමන් ශ්‍රීලනිපයෙන් වෙන් වී එන විට අවදානම රැගෙන තමන් සමග ආ රාජිත සේනාරත්න, දුමින්ද දිසානායක වැනි අය පවා අතහැර දමමින් එදා ඔහුට බැන බැන ගිය ඩිලාන් පෙරේරලා, සුසිල් ප්‍රේමජයන්තලා, එස්.බී. දිසානායකලා, ජෝන් සෙනෙවිරත්නලා වැනි අය නළවමින් කළ කාලය කා දැමීම හැර ඔහු පසුගිය කාලයේ කළ වැඩක් නැත.
මහ බැංකු මගඩිය නැවැත්වීමට බැරි වූ ඔහුට ඔහුගේ ඇම්බැට්ටයන් වන දයාසිරි ජයසේකර වැනි අය අර්ජුන් ඇලෝසියස්ගෙන් පගා ගැනීම නවත්වන්නට ද බැරි විය. එසේම, රාජපක්ෂ පවුලේ සොරකම් සම්බන්ධයෙන් තීරණාත්මක කිසිවක් කරන්නට අසමත් වූ ඔහු දැන් ඒකට ද බනින්නේ එජාපට ය.
මොහු පසුගිය වසර 3 1/2ක් තිස්සේ කළ තහනම් කිරීම් ගොඩ හෝ දැන් ක්‍රියාත්මක නැත.
ලංකාවේ පවත්නා නායකත්ව අර්බුදය ප්‍රකාශ කරන සංකේතයකි, මෛත්‍රීපාල සිරිසේන. විධායක ජනාධිපතිකම භාර දුන්නාට පසුව පවා මේ අන්දමින් නාහෙන් අඬන දුබලයකු ලංකා ඉතිහාසයේ කිසිදු කලක රාජ්‍ය නායකත්වයේ සිට නැත.
දුබල දේශපාලන පෞරුෂයක් සහිතව ජනාධිපති ප්‍රේමදාස යටතේ අගමැති ධුරය හෙබවූ වයස්ගත පුද්ගලයකු වූ ඩී.බී. විජේතුංග පවා ප්‍රේමදාස ඝාතනයෙන් පසු ජනාධිපති පදවියට පත් වී එම බලතලවලින් ඔපවත් වී රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස කටයුතු කළේ ය.
කොපමණ අභියෝග තිබුණත්, මේ රටේ සිටි කිසිදු රාජ්‍ය නායකයකු මේ අන්දමින් තමන්ට කොන්දක් නැති බව ප්‍රදර්ශනය කර නැත. මහ ලොකු පිරිමි චන්ඩි අභියෝග මොනවාදැයි දැන ගැනීමට සිරිමාවෝ බණ්ඩාරනායකගේ පාලන කාලය අධ්‍යයනය කළ යුතු ය.
ජනාධිපතිතුමනි, ඔබට ඔබගේ පාලනය ගැන විග්‍රහ කර ගැනීමට නම් ඔබ විසින් පසුගිය සමයේ කරන ලද තහනම් කිරීම් ලැයිස්තුව අධ්‍යයනය කර බැලීම වටී. එයින් කීයක් ඇත්තට ම තහනම් වී තිබේදැයි සොයා බලන්න.
රනිල් වික්‍රමසිංහට බැන බැන සිටීමෙන් පළක් නැත. රනිල් අඩු තරමේ අඬන්නෙකු නොවේ. කුමන අඩුපාඩු තිබුණත්, ඔහුගේ දේශපාලන පෞරුෂය ශක්තිමත් එකකි.
ඒ නිසා ජනාධිපතිතුමනි, දැන්වත් ඔය අපට දුක කියා කනිපින්දම් ගැහිල්ල නවත්වා ඉතිරි අවුරුදු එකහමාරේ තමන් ගන්නා වැටුපට හා භුක්ති විඳින වරප්‍රසාදවලට සරිලන මොකක් හෝ දෙයක් හරි කරන්න.
කරුණාකර අපට කනිපින්දම් කීමෙන් වළකින්න. අපට ඩියුටි ෆ්‍රී කාර් නැත. අතට පයට දැසි දස්සන් සහිත මහජන මුදලින් නඩත්තු වන කාර්ය මණ්ඩල නැත. උපදේශක කේවට්ට පුරෝහිතයන් නැත. සිකියුරිටි ඩීටේල් නැත. එස්කොට් එක පස්සෙන් යන්න ඇම්බියුලන්ස් නැත. අපේ දරුවන්ට දෙන්නට ඉවන්ට් මැනේජ්මන්ට් කොන්ත්‍රාත් හෝ බාර් ලයිසන් නැත. මහජන මුදලින් රට චාරිකා නැත. එපමණක් නොව, ඔබතුමාට ලැබෙන ඔය සියල්ල ම වෙනුවෙන් බදු ගෙවන්නේ ද අප ය. ඒ නිසා ඔබේ අවනඩු කරුණාකර අපට නොකියන්න.
වැඩ බැරි නම් පිං සිදු වෙයි ඉල්ලා අස් වන්න. ඉන්නවා නම් රටට පව් නොදී වැඩ කරන්න. විෂ යූ ඕල් ද බෙස්ට්!

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා