තෙල් මිළ වැඩි වෙන ඇත්ත හේතුව මෙන්න




වේ තෙල් මිළ වැඩි වෙන්නේ ලෝක වෙළඳපොළේ තෙල් මිළ වැඩි වීම නිසා ද? තරමක් දුරට ඇත්ත ය. එහෙත්, ලංකාවේ තෙල් මිළට ලෝක වෙළඳපොළේ තෙල් මිළටත් වඩා බලපාන සාධකයක් තිබේ.
ඔබ තෙල් මිළ දී ගන්නේ ඔබේ නගරයේ තෙල් පිරවුම්හලෙනි. තෙල් පිරවුම්හල් අතරින් 175ක් පමණ අයිති ලංකා ඉන්දීය තෙල් සමාගමට ය. තෙල් වෙළඳපොළෙන් 17-18% පමණ හසුරුවන්නේ මෙම සමාගමයි. ඉතිරිය අයිති රජයට අයත් සිලෝන් පෙට්‍රොලියම් කෝපරේෂන් නම් සමාගමට ය.
ලංකාවේ තෙල් මිළ ඉහළ යන්නට ප්‍රධාන හේතුවක් වන්නේ තෙල් වෙළඳපොළ හා සම්බන්ධ රජයේ ආයතන නඩත්තු කිරීමට යන අධික වියදමයි. ඔබ ගෙවන තෙල් මිළට එකී සේවකයන්ගේ වැටුප්, දීමනා, වරප්‍රසාද, විදේශ චාරිකා, පුහුණු, අධ්‍යාපන ආදී වියදම් එකතු වී තිබේ. මෙන්න සේවක සංඛ්‍යා:
ඇමති අර්ජුන රණතුංග
ඇමති පෞද්ගලික කාර්ය මණ්ඩලය – 5යි විස්තර මෙතැන
නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ
නියෝජ්‍ය ඇමති පෞද්ගලික කාර්ය මණ්ඩලය -5යි විස්තර මෙතැන
අමාත්‍යාංශයේ සේවක සංඛ්‍යාව – 5000ක් පමණ. ජ්‍යේෂ්ඨ නිලධාරි විස්තර මෙතැන
සිලෝන් පෙට්‍රෝලියම් කෝපරේෂන් සේවක සංඛ්‍යාව 2500ක් පමණ
සිලෝන් පෙට්‍රෝලියම් ස්ටොරේජ් ටර්මිනල් සමාගමේ සේවක සංඛ්‍යාව 3000ක් පමණ
මේ අනුව සමස්ත සේවක සංඛ්‍යාව 10,500කට වැඩි ය.
මෙම සෑම සේවකයකුගේ ම, කම්කරුවකුගේ පවා, අවම වැටුප දීමනා සමග රු. 50,000කට වැඩි ය.
මධ්‍යන්‍ය වැටුප රු. 75,000ක් ලෙස ගණන් හැදුවොත් වැටුප් සඳහා පමණක් මාසික වියදම රු. මිලියන 787.5ක් පමණ වේ. එය කෝටිවලින් කියනවා නම් ගෙඩි රුපියල් කෝටි 79ක් පමණ වේ.
ඔබ මිළ දී ගන්නා තෙල් ලීටරයක මිළ රජය තීරණය කරන විට මේ වියදමත් තෙල්වලට එකතු කරන බව වටහා ගන්න.
මේ සේවකයන් අතරින් වැඩිදෙනෙකු කරන වැඩවලින් කිසිම ප්‍රයෝජනයක් නැත.
මේ කිසිවෙකු තෙල් ළිං කපන්නේ නැත. ඒවායින් තෙල් අරගන්නේ නැත. තෙල් ගෙනෙන නැව් එන්නේ පිටරටිනි. මොවුන් කිසිවෙකු ඒවායේ වැඩ කරන්නේ ද නැත. තෙල් බාන්නේ හා ඒවා පොම්ප කරන්නේ ද යාන්ත්‍රිකව ය. සපුගස්කන්ද තෙල් පිරිපහදුව බොරතෙල්වලින් යම් නිෂ්පාදනයක් කරයි. එහෙත්, පෙට්‍රල්, ඩීසල් හා ගෑස් කෙළින් ම ආනයනය කර බෙදාහරින ප්‍රතිශතය වැඩි ය.
තෙල් රට පුරා බෙදා හරින බව්සර් වැඩි හරියක් අයිති පෞද්ගලික අංශයට ය. ඒ සම්බන්ධ වියදම් දරන්නේ ඒවායේ හිමිකරුවෝ ය.
තෙල් සංස්ථාවේ ඉන්ධන බෙදාහරින පිරවුම්හල් යනු ඒජන්සි ය. ඒවා අයිති පෞද්ගලික අංශයට ය. ඒවායේ සේවක වැටුප් හා නඩත්තු කටයුතු කරන්නේ එම ආයතනවල හිමිකරුවෝ ය.
එතකොට තෙල් හා සම්බන්ධව ඇමතිවරුන්ගේ සිට දසදහසකට වැඩි රජයේ සේවකයන් කරන්නේ කුමක් ද?
ඉහත සඳහන් කළ ආකාරයට තෙල් ආනයනය කර රට පුරා බෙදා හරින්නට 10,500ක් රජයේ සේවකයන් නඩත්තු කළ යුත්තේ කුමට ද?
ලාංකිකයන් සූරාකන සමාගම් අතරින් ප්‍රධාන ම එකක් වන්නේ තෙල් සංස්ථාවයි. එය අයිති රජයටයි. අප සූරා ගන්නා මුදලින් සංස්ථාව වැඩි මුදලක් වැය කරන්නේ සේවක වැටුප්වලටයි. මේ සේවකයන් වැඩිදෙනෙක් පසුගිය කාලයේ විවිධ රජයන්ට අයත් දේශපාලකයන් විසින් පත්වීම් දෙන ලද දේශපාලන පන්දම්කාරයෝ ය. ඇතැමෙකු තවමත් එහි සිට කරන්නේ රාජ්‍ය විරෝධී දේශපාලනයයි.
අපි මේ කාලකණ්ණින් නඩත්තු කිරීමට ලෝක වෙළඳපොළේ තෙල් මිළට වඩා අධික මිළක් තෙල් වෙළෙන්දන්ට ගෙවන්නෙමු.
ක්‍රමය හෙවත් සිස්ටම් එක වෙනස් කරන්නට දේශපාලනය කරන විප්ලවවාදීන් ඔබට මේ සිස්ටම් එක කුමක්දැයි කියා දී තිබේ ද?
සිස්ටම් එක මේක ය. තේරුම් ගන්න. වර්තමාන දේශපාලන පක්ෂ සියල්ල ම කරන්නේ මේ සිස්ටම් එක රැක ගැනීම ය.
එය වෙනස් කිරීමට නම්, බදු ගෙවන, ඇත්තට ම වැඩ කරන කම්කරු හා ව්‍යවසායක පන්ති ශක්තිමත් කළ යුතු ය.
දේශපාලනය ඇත්තේ එතන ය. අප කරන්නේ එයයි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා