ඊළඟ පොලිස් ඝාතනය ශිෂ්‍ය උද්ඝෝෂණයකදී ද?


වසර තුනහමාරකට පසු නැවතත් අපරාධකරුවන් නඩු භාණ්ඩ පෙන්නන්නට ගොස් පොලිසියට පහර දී පළා යන්නට උත්සාහ කරද්දී පොලිස් වෙඩි පහරින් මිය යාම ආරම්භ කර තිබේ.
පොදු සම්මුතිය යටතේ වුව, යටත් වූ හෝ අත්අඩංගුවට ගත් හෝ කිසිදු පුද්ගලයකු මරා දමන්නට පුද්ගලයකුට, පුද්ගල සමූහයකට තබා රජයකටවත් අයිතියක් නැත. එහෙත් මේ සිදු වන්නේ එයයි.
එක එක පාතාලයන් සුද්ද කිරීම පාතාලයට විසඳුම නෙමෙයි. පාතාලයන් බිහි වෙන්නට හේතුව මොකක් ද? වෙන මොකක්වත් නෙමෙයි, වැඩ නොකර ඉක්මණින් සල්ලි හොයන්නට හා සැපට ඉන්නට තියෙන ආසාව. ඒක ගොඩනගන්නෙ කවුරුද? එය සිදුවන්නෙ ලංකාවෙ මධ්‍යම පන්ති මූලික, පාරිභෝජනවාදී, කාමසුඛල්ලිකානුයෝගී අධිපති මතවාදයේ ප්‍රතිඵලයක් ලෙසයි. වෙනත් ආකාරයකට කියනවා නම් ලංකාවේ රජයෙන් යැපෙන මධ්‍යම පංතියේ ජීවන පරමාදර්ශ තමයි ඒකට හේතුව. නීත්‍යානුකූල ලෙස මහජන මුදලින් නිකං කකා සැපට ඉන්න පුළුවන් මධ්‍යම පන්තියකට තමයි ලංකාවේ දේශපාලන හා මතවාදී ආධිපත්‍යය තියෙන්නෙ. එකී පන්තියට ප්‍රමෝට් කරන පාරිභෝජනවාදී කම්සැප විඳින්නට අනෙකුත් අය වෙන ක්‍රම හොයා ගත යුතුයි. උදාහරණයක් ලෙස අර පන්තියට තීරුබදු රහිතව ලැබෙන වාහනයක් මිළ දී ගන්නට සෙසු අය මොනවා ද කළ යුත්තෙ?
ජ්‍යෝතිෂය, කට්ටඩි වැඩ, හොර වෙද්දු, පිරමිඩ්, ගිනිපොළී, කොමිස්, අල්ලස්, පාතාල ආදී මේ ඔක්කොම එක ප්‍රපංචයක කොටස්. අරගලය තියෙන්නෙ මේ සමස්තයට එරෙහිවයි.
ලංකාවෙ මධ්‍යම පන්තික දෘෂ්ටිවාදයේ මූලික කොටසක් තමයි ප්‍රාතිහාර්ය. ඩිග්‍රිය ගහලා අවුරුද්දෙන් වෙන පන්තියකට පැනගන්න පුළුවන් දොස්තර ප්‍රාතිහාර්ය. පාර්ලිමේන්තුවට තේරී පත්වෙලා අවුරුදු පහෙන් හත්මුතු පරම්පරාවට ම හම්බ කරලා මහජන මුදලින් පෙන්ෂනුත් ගන්නට පුළුවන් ප්‍රාතිහාර්ය. අවුරුදු පහකට වතාවක් පර්මිට් එක විකුණලා පොඩි කාර් එකක් අරන් ලොකු ගානක් ෆික්ස්ඩිපොසිට් දාගන්නට පුළුවන් ප්‍රාතිහාරිය. මහ පොළවෙන් හම්බ වෙන ධන නිධාන. රෑට ඇදෙන ලොතරැයි. ලෙඩක් හැදුණත්, අතක් පයක් කැඩුණත් ඒක ෂෝට්කට්වලින් සුව කරන වෑල්ඩිං වෛද්‍ය ප්‍රාතිහාර්ය. පට් පට් ගාලා සම්තිං. එහෙම බැරි අය නතිං. පාතාල කියන්නෙත් මේ ප්‍රාතිහාර්ය ම තමයි. ඒවා ඊට පස්සෙ අපරාධ කිරීමේ ආශාව, මත්ද්‍රව්‍ය, දේශපාලනය ආදිය සමග සම්බන්ධ වෙනවා. මේ පිටුපස අධ්‍යාපනයේ අසාර්ථකබව, මෝඩකම සාධාරණීකරණය කරන මෝඩ දේශපාලනික දර්ශන ආදී තවත් කාරණා රැසක් තිබෙනවා.
අනෙක් පැත්තෙන්, ලංකාවෙ අධිපති ආගම් ද සමාජය පොළඹවන්නෙ බල්ලන් මරලා හරි සල්ලි හොයන්නයි. සල්ලි තියෙන ඕනැ ම අමනයකුට පන්සල්,පල්ලි, කෝවිල් හරහා ප්‍රභූත්වය තුළ බෞතීස්ම වෙන්නට පුළුවන්. ඒ වගේ ම දැන් භාවිතා වන ආගම් විසින් ප්‍රවර්ධනය කරන්නෙ වෛරය, කුහකකම, පසුගාමිත්වය අඩංගු පටු දැක්මක්.
සියල්ලට හේතුව සමාජ අසමානතාවන්, අසාධාරණයන් ය කියන එක මාක්ස්වාදීන්ගෙන්, වාමාංශිකයන්ගෙන් එන පීඩිතයන්ට පෙම් බඳින රොමැන්තික් තර්කයක්. ඒකෙ යට තියෙන නොකියන දේ තමයි මෝඩකම අයිතිවාසිකමක් ය කියන එක.
මෙම සංදර්භය ඇතුළෙ පාතාල සාමාජිකයන් එකිනෙකා මැරුවත් තව තවත් පාතාල සාමාජිකයන් මතු වන එක වළක්වන්නට බැහැ. එතකොට දැන් කරන්නට ඕනැ මුන් එක එකා මරන එක ද? එහෙම කරන පොලිසිය උෂාර් කරන කවුරුවත් හිරේ යන පොලිස්කාරයන් ගැන ඉන් පස්සෙ හොයල බලනවා ද? මේ වගේ හැසිරීම නිසා මරණ දඬුවම ලබපු අඟුලානෙ පොලිස් ස්ථානාධිපති ඇතුළු පිරිස ගැන දැන් කවුරුද පෙනී ඉන්නෙ? ජනප්‍රිය ගූ මුට්ටිවලට වීරයන් වගේ කර ගහන්නට ගියොත් පොලිස් නිලධාරීන්ට මොකද වෙන්නෙ?
පසුගිය වකවානුවේ පොලිස් ඉවසීම අභියෝගයට ලක් කළ දෙකොටසක් හිටියා. එක් පිරිසක් තමයි පාතාලය. අනෙක් පිරිස තමයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය. පළමු එක පසුපස දේශපාලන අරමුණු එතරම් නැහැ. ඒ පසුපස තිබෙන්නෙ අපරාධ, මත්ද්‍රව්‍ය ආදිය. ශිෂ්‍ය ප්‍රචණ්ඩත්වය පසුපස නම් ඉතා පැහැදිලිව ම මළ මිනියක් ඉල්ලන අන්තවාදී දේශපාලනයක් තිබෙනවා. ඒ නිසා තමයි ඔවුන් ඒ තරම් දැඩිව පොලිස් ඉවසීම අභියෝගයට ලක් කරන්නෙ.
පසුගිය සමයේ ඇති වූ තත්වය තුළ පාතාලය පමණක් නොවෙයි සාමාන්‍ය මහජනයා පවා පොලිසිය සමග ගැටුම් ඇති කර ගන්නා තැනට ගියා. පොලිසිය හැම විට ම නිවැරදි නැහැ. හැබැයි, මහජනයා පොලිසිය සමග කටයුතු කරනකොට ඒ ඉන්නේ අපේ පරම සතුරන් පිරිසක් ලෙස සිතන එක වැරදියි. ඔවුන් ද අප මෙන් ම දරු පවුල් නඩත්තු කිරීම සඳහා රැකියා කරන පිරිසක්. ඔවුන්ගේ රස්සාව ලේසි නැහැ. පොලිස් ක්වාටර්ස් එකකට ගිහින් බලන්න ඒවායේ පහසුකම්වල තත්වය. කාකි ඇඳුම් ඇඳගෙන, මහ මග ගිනි අව්වේ දුම් කාගෙන, කිසිදු පහසුකමක් නැතුව රැකියා කරන මේ මිනිසුන් පාතාලයන් විසින් මහමග මරා දමන තත්වයක් ඇති වන විට ඔවුන්ගෙන් මෙවැනි ප්‍රතිචාර ඇති වන්නට පුළුවන්.
පොලිසියෙ ඉන්නෙත් මිනිස්සු. ඒ නිසා මාතර සිද්ධිය ගැන තදින් ක්‍රියා කරන්නට ආණ්ඩුව උත්සාහ කළ යුතු නැහැ. ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමත් පොලිසිය ම තමයි කරන්නට ඕනැ. ආණ්ඩුව එයට ඇඟිලි නොගැසිය යුතුයි. හැබැයි, මෙය එතැනින් නැවැත්විය යුතුයි. ඒ සඳහා දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි. නැතිනම් ඊළඟ වෙඩිල්ල පත්තු වෙන්නෙ ශිෂ්‍ය උද්ඝෝෂණයකදි වෙන්නට පුළුවන්.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා