අලුත්ම තත්වය: කවුද යන්නෙ? කවුද එන්නෙ?

බලය තහවුරු කරගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් මහින්ද රාජපක්ෂ විසින් ආරම්භ කර තිබේ. ඒ අනුව, කැඩී යාමට ඉඩ තිබෙන දුමින්ද දිසානායක වැනි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සමග සාකච්ඡා බැසිල් ආරම්භ කර තිබේ. ඒ අතර, ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීමට ද උත්සාහ කරමින් සිටියි. ඔවුන්ට වඩාත් දුෂ්කර වී තිබෙන්නේ එයයි.
ඇල්ලේ ගුණවංශ හිමි වැනි බොල් චරිත දමා ජාත්‍යන්තර ප්‍ර‍ජාවට බැන වැදුණත්, අමතක නොකළ යුතු කරුණක් වන්නේ ලංකාවේ ආර්ථිකය රඳා පවතින්නේ විදේශ රටවලට කරන අපනයන, විදේශ රැකියා සහ ණය මත බවයි.
රාජපක්ෂ පවුල් පාලනය වැඩි සම්බන්ධයක් තිබෙන්නේ චීනය සමගයි. එහෙත්, චීනය ලංකාවට විශාල වශයෙන් පොළියට ණය දුන්, විශාල වශයෙන් අපනයනය කරන, ලංකාවෙන් අති විශාල ලාභයක් ලබන රටක් විනා එය අපගේ අපනයන මිළ දී ගන්නා රටක් හෝ නොවේ.
ලංකාවේ අපනයන වැඩියෙන් මිළ දී ගන්නා රටවල් වන්නේ යුරෝපා සංගමය, ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල් ය. ආර්ථික ව්‍යූහාත්මක වෙනස්කම් හා සම්බන්ධ කරමින් වුව ලංකාවට අඩු පොළියට ණය දෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි සංවිධානයි. ඒ රටවලින් හා ජාත්‍යන්තර සංවිධානවලින් ලංකාවට වැඩි බලපෑමක් එල්ල වන්නේ ඒ නිසා ය. ඇල්ලේ ගුණවංශලා ජාතිවාදී ලොකු ටෝක් දැම්මාට ලංකාවේ ඇඟලුම් කම්හල්වල මහන්නේ සිවුරු නොව, ඇමරිකාවට, යුරෝපයට යවන නිමි ඇඳුම් ය. යුරෝපා සංගමය ජී.එස්.පී. ප්ලස් බදු සහනය ලංකාවට ලබා දුන්නේ රට තුළ ප්‍ර‍ජාතාන්ත්‍රික තත්වයන් සැලකිල්ලට ගෙනයි. කයිවාරු ගහන්නට කාටත් පුළුවන. එහෙත්, මේවා නැති වුණොත් කාලා හමාර ය. ඒ රටවලට අපට බලපෑම් කරන්නට පුළුවන් ඒ නිසා ය. වර්තමාන ලෝකය යනු තමන්ගේ වත්තේ වවාගෙන කා පාඩුවේ ජීවත් වෙන්නට පුළුවන් තැනක් නොවේ.
ඉන්ධන මිළ සූත්‍ර‍ය අහෝසි කරන බව කිව්වාට එවැනි මිළ සූත්‍රයක් ගෙන එන්නට හේතු වූ කරුණු අහෝසි වී නැත. එය ගෙන ආවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ව්‍යූහාත්මක ගැලපුම් කොන්දේසියක් ලෙසයි. එම කොන්දේසිවලට අනුගත නොවුණොත් ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අඩු පොළී ණය ලැබෙන්නේ නැත. විවෘත ණය වෙළඳපොළෙන් අඩු පොළියට ණය ගත හැකි තත්වයක් ලංකාවට නැත. හේතුව ආපසු ගෙවීමේ සහතිකය පැත්තෙන් ලංකාවට හොඳ තත්වයක් නැති නිසා ය. ලංකාවට දෙන ණය ආපසු නොලැබීමේ අවදානම වැඩි නිසා පොළිය ඉහළ ය.
ලංකාවේ භාණ්ඩාගාරය දිවවීම ලේසි පහසු වැඩක් නොවේ. දේශීය හා විදේශීය ණය ගෙවීමටත්, දේශපාලකයන් හා රජයේ සේවකයන්ට ගෙවීමටත්, රජය නඩත්තු කිරීමටත් දෛනිකව මුදල් සෙවිය යුතු ය. රටේ ආර්ථිකය ගත්තත්, අපනයන මෙන් දෙගුණයක් ආනයන කරන තත්වයක තිබෙන ආර්ථිකය පාලනය කිරීම ලේසි නැත.
ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් තිබෙන පළමු විසඳුම වන්න රජය දුෂ්ට සුරංගනාවගේ භූමිකාවෙන් හෙවත් දූෂණය හා සහනාධාර යන දෙක දෑතින් දරා සිටීමේ භූමිකාවෙන් මිදී වඩා විනිවිද පෙනෙනසුළු රාජ්‍ය පාලනයක් කරගෙන යාමයි. සරලව කිවහොත්, බදු ආදායම් හා මහජන සේවා මුවාවෙන් කරන රාජ්‍ය වියදම් පිළිබඳ රටේ ජනයා දැනුවත් විය යුතු ය. එසේම, ඔවුන් ද ඒ සම්බන්ධයෙන් වග විය යුතු ය. දේශපාලකයන් කටයුතු කළ යුත්තේ හුදෙක් මහජන නියෝජිතයන් ලෙස පමණි. රට සංවර්ධනය සඳහා පදනම දමා ගත හැක්කේ ඒ ඔස්සේ ය.
ආර්ථිකය සම්බන්ධයෙන් රනිල්ට වෙනස් කිසිදු වැඩපිළිවෙලක් මහින්දට නැත. දැන් ණය අරගෙන හොල්මන් නගර හැදිය හැකි පරණ සෙල්ලම ඒ විදියට ම කරන්නට ද බැරි ය. දැන් කරන්නට තිබෙන ප්‍ර‍ධාන ම දෙය නම් බදු අය කිරීම හා ණය ගෙවීම ය. ඒ නිසා එය රනිල් කළත්, මහින්ද කළත් මහ ලොකු වෙනසක් නැත. මහින්ද රනිල් කරන දේම වඩා සංදර්ශනාත්මකව කර මහජනතාව වඩා දක්ෂ ලෙස රවටනු ඇත. අනෙක් පැත්තෙන්, මේ බල පොරයෙන් පසුව රනිල් ආවත්, මහින්ද ආවත් ඉස්සර සෙල්ලම් ජනතාවට කරන්නට බැරි වනු ඇත. තනි එක්සත් ජාතික පක්ෂ පාලනයක් බිහි වුවත්, මහින්ද නැවත බලය තහවුරු කරගත්තත්, එය මර්දනකාරී එකක් නොවනු ඇතැයි අපට නම් සහතිකයක් දීමට බැරි ය.
බලය ලබා ගන්නේ කවරෙකු වුවත්, ස්ථාවරභාවයක් මේ රටේ ඇති කිරීමට එම පාලකයාට බල කෙරෙන්නේ වෙනත් කිසිවකින් නොව ආර්ථිකයෙනි. පසුගිය අවුරුදු තුනහමාරක පමණ කාලයක් තුළ පැවති ප්‍ර‍ජාතාන්ත්‍රික වටපිටාව සොඳුරු ඉතිහාසයක් පමණක් වනු ඇති බව නියත ය. රටේ ව්‍යවස්ථාව අනුව, 2020 මුල් කාර්තුව දක්වා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ලේසි නැත.
මේ බල පොරයෙන් යම් සාධනීය ප්‍ර‍තිඵලයක් ලබා ගන්නට නම්, මේ මොහොතේ ජවිපෙ සහ දෙමළ ජාතික සන්ධානය ක්‍රියාත්මක වන ආකාරය වැදගත් ය. රනිල් සහ මහින්ද පමණක් ක්‍රියාත්මක වන්නේ නම් එතනදී කතා කරනු ඇත්තේ මුදල් පමණි. මේ වන විට මන්ත්‍රීවරුන් මිළ දී ගැනීම සඳහා මහින්දලා දැවැන්ත මිළ ගණන් ඉදිරිපත් කරන බවට ආරංචි පැතිරේ. පාර්ලිමේන්තුව නොවැම්බර් 5දා යළි කැඳවන බව ඇත්ත ජනාධිපති වන මහින්ද රාජපක්ෂ පවසා තිබේ. පඹ ජනාධිපති හෙට අනිද්දා නිවේදනය අත්සන් කරනු ඇත. නැකත මහින්දගේ ය. කෙසේ වෙතත්, නැකත ඉදිරියට ගන්නට වුණේ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය වෙනුවෙන් සටන් කළ ජනතාව නිසා ය.
දැන් ඉතින් මාතෘකාවට පිවිසෙමු. කවුද යන්නෙ? කවුද එන්නෙ? ඇත්තෙන් ම මම නම් කිසිවක් දන්නේ නැත. මට නම් එකෙකුවත් ෂුවර් ද නැත.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා