ළහිරු වීරසේකර නියෝජනය කරන පන්තිය කුමක් ද?


මේ පිංතූරයත් එක්ක තියෙන පාඨයේ යෙදෙන පන්තිය, අරගලය වගේ වචනවල තේරුම ඇත්තට ම ඔබ දන්නවා ද? මොකක්ද මේ කට්ටිය මේ කියන පන්තිය?
සමාජයේ ඔහොම පන්ති ජාතියක් නැහැ. පන්ති කියන්නෙ විග්‍රහයක්. සමාජයේ තියෙන සංකීර්ණතාව මුළුමනින් ම ග්‍රහණය කරගන්නට මොනම විග්‍රහයකටවත් බැහැ. හැබැයි, පන්ති විග්‍රහය කියන්නෙත් යථාරථය තේරුම් ගන්නට උපකාර කරගත හැකි දෙයක්.
පන්ති විග්‍රහය එන්නෙ මාක්ස්වාදයෙන්. හැබැයි, ලංකාවෙ භාවිත වන මාක්ස්වාදී පන්ති විග්‍රහය අන්ධ ලෙස අදහන මිථ්‍යාවක්. අවුරුදු සියයකට ආසන්න කාලයක් තිස්සේ බටහිරින් ණයට ගත් පන්ති විග්‍රහයක් ශ්‍රී ලංකාවට ගලපා ගන්නට බැරිකමේ හිස්කම වසාගන්නට වාමාංශිකයන් පන්ති විග්‍රහය ගැන ආගමික භක්තියක් මත පදනම් වෙනවා.
උදාහරණයක් විදියට වාමාංශිකයන් ධනපති පන්තියක්, ධනපති රජයක් ගැන කතා කරනවා. හැබැයි, ලංකාවෙ රජය ධනපති රජයක් නෙමෙයි. එහි ධනපති පන්ති නියෝජනයත් අවමයි. එය සමන්විත වන්නෙ මූලිකව ම මහජන මුදලින් නඩත්තු වන දේශපාලකයන්ගේ සිට නිලධාරීන් හරහා රජයේ සේවකයන් දක්වා ඉතා පුළුල් ස්ථරයකින්. ඔවුන් අතේ තමයි රාජ්‍ය බලය තියෙන්නෙ. සියලු දේශපාලන පක්ෂ නියෝජනය කරන්නෙ ඔවුන්ගේ දෘෂ්ටිවාදයන්. සුළු වශයෙන් වෙනස් වන පක්ෂයක් තියෙනවා නම් ඒ එක්සත් ජාතික පක්ෂය විතරයි. ඔවුන්ගේ ඉහළ නායකත්වයේ රනිල්, මංගල, හර්ෂ වැනි පිරිස් ව්‍යවසායක පන්තිය යම් දුරකට නියෝජනය කරනවා.
ඒ මධ්‍යම පන්තික ස්ථරයට ඉහළින් නිෂ්පාදන හා වෙළඳ ව්‍යවසායකයන්ගෙන් සමන්විත, බදු ගෙවන ධනේශ්වර පන්තියක් ඉන්නවා. මම නම් ඔවුන් දකින්නේ ව්‍යවසායක පන්තියක් ලෙසයි. එයත් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල සිට බහු ජාතික ව්‍යවසාය දක්වා පුළුල් පරාසයක විහිදෙනවා. ඔවුන් තමයි ආර්ථිකයේ බලවත් ම පන්තිය. හැබැයි, ඒ බලවත්කම රජය තුළ නියෝජනය වෙන්නෙ නැහැ.
මධ්‍යම පන්තියට පහළින් විශේෂයෙන් ම පෞද්ගලික, අවිධිමත් හා ස්වයං රැකියා අංශවල වැඩකරන පන්තියක් ඉන්නවා. මේ වැඩකරන පන්තියට තමන්ට අනන්‍ය වූ දෘෂ්ටිවාදයක් නැහැ. ඔවුන්ගේ දෘෂ්ටිවාදය ලෙස ප්‍රකාශ වන්නේ මධ්‍යම පන්තියේ දැක්ම. වැඩකරන ජනයා නියෝජනය කරන කිසිදු දේශපාලන පක්ෂයක් මේ රටේ නැහැ. වෘත්තීය සමිති ව්‍යාපාරය ලෙස පොදුවේ හැඳින්වෙන රජයේ සේවක වෘත්තීය සමිති මේ ස්ථරය නියෝජනය කරන්නේ නැහැ.
මේ අතරින් මධ්‍යම පන්තිය තමයි බලවත් ම හා ප්‍රතිගාමී ම පන්තිය. ඔවුන් අර පන්ති දෙකම බදු මුදල් විදියට සූරා කාලා මහජනතාවට අවම සේවාවක් සපයමින්, අඩුවෙන් වැඩ කරමින් සැප විඳිනවා. ඔවුන්ට වාසිදායක වත්මන් සිස්ටම් එක රැකගන්නට වැඩ කරනවා. සියලු දේශපාලන පක්ෂවල ආධිපත්‍යය තියෙන්නෙ ඔවුන්ට. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සිට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය දක්වා අයිති වෙන්නෙ මේ පන්තියට. මේ දෙගොල්ලන්ගේ ම මූලික ඉල්ලීම්වල හරය මොකක් ද? ඒ තමයි තමන්ගෙ පන්තියට තිබෙන වරප්‍රසාදිත තත්වය රැකගැනීම.
අපි ළහිරුලාගේ ඉල්ලීම් දෙස බලමු. ඔවුන් ඉල්ලන්නේ කුමක් ද? පළමු ශ්‍රේණියේදී ම මහජන මුදලින් අධ්‍යාපනය ලබා දෙන රජයේ ප්‍රධාන පාසල් ටික අත්පත් කරගැනීමට සමත් වීම නිසා රජයේ අධ්‍යාපනයේ හොඳම ගුරුවරුන්, පහසුකම් හා ටියුෂන් ආදිය හිමි වන මධ්‍යම පන්තික දරුවන්ට පමණක් සියලු වරප්‍රසාද සහිතව මහජන මුදලින් නොමිළේ උසස් අධ්‍යාපනය දෙන්න, පළමු ශ්‍රේණියේ සිට ම ප්‍රධාන පාසල්වලින් ගිලිහී ගොස් රජයේ විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපන වරම් නොලබන දරුවන්ට කිසිවක් නොදෙන්න, රජයේ රැකියාත් වරප්‍රසාදිත දරුවන්ට ම දෙන්න, ඔවුන්ගේ පන්තියට වරප්‍රසාද දෙන වත්මන් තත්වය වෙනස් නොකර රැකගන්න කියන එකයි.
දැන් තේරෙනවා නේද ළහිරු වීරසේකර නියෝජනය කරන පන්තිය මොකක් ද කියලා. ළහිරුලාට නායකත්වය දෙන දේශපාලන ව්‍යාපාර නියෝජනය කරන්නේත් ඔය කියන මධ්‍යම පන්තිය ම තමයි. වෙනසක් තිබෙනවා නම් ඒ ඔවුන් මධ්‍යම පන්තියේ පහළ ස්ථරය නියෝජනය කිරීම විතරමයි.
හැබැයි මේ මධ්‍යම පන්තිය තමයි ලංකාවෙ ගැටලුව. ඔවුන්ගේ වරප්‍රසාදිත තත්වය වෙනස් කරන දේශපාලන, රාජ්‍ය හා ආර්ථික ප්‍රතිසංස්කරණ වළක්වන්නට ඔවුන් සිය බලය පාවිච්චි කරන එකයි මේ මොහොතේ ලංකාවේ තිබෙන හිරවීම. මේ පන්තිය කියන්නෙ මහජන මුදල් කන යකෙක්. ඒ අතරෙ ම ඔවුන් ඵලදායකත්වය පැත්තෙන් අවමයි. ලක්ෂ 11ක් නිලධාරීන්ගෙන් සැදුම්ලත් රජය මේ පන්තියේ ස්වභාවය නියෝජනය කරන ප්‍රමුඛ ම උපකරණයයි.
රජය තියෙන්නෙ එයින් වරප්‍රසාද ලබන පිරිස වෙනුවෙන්. ඒ වරප්‍රසාද යන්තමින් සාධාරණීකරණයට විතරක් ඔවුන් වැඩ කරනවා. හැබැයි ඒ වෙනුවෙන් ජනතාව අති විශාල බදු බරකට උර දෙන්නට ඕනැ. දැන් මේ රටේ ජනතාවට තවදුරටත් මේ අකාර්යක්ෂම සුදු අලියා ඔසවාගෙන ඉන්නට අමාරුයි. හැබැයි, මේ අය සූදානම් නැහැ වෙනස් වෙන්නට. ඔවුන් අවධානය යොමු කරන්නෙ තමන්ගෙ වරප්‍රසාදිත තත්වය කෙරෙහි ම පමණයි. ඔවුන්ගෙ සටන් පාඨ බලන්න. මහජන සේවය ඒ සටන් පාඨ අතර කොතැනක හෝ තිබෙනවා ද බලන්න.
මේ ක්‍රමය අනිවාර්යයෙන් ම වෙනස් කරන්නට ඕනැ. මේකත් අරගෙන තවදුරටත් ඉදිරියට යන්නට බැහැ. ඒකට මේ ක්‍රමය පවත්වාගෙන යන අධිපති මධ්‍යම පන්තිය බලයෙන් පහ කරන්නට ඕනැ.
ඒ සඳහා මධ්‍යම පන්තියට පරස්පරව ව්‍යවසායක හා වැඩකරන පන්තීන් ශක්තිමත් කරන එක තමයි ලංකාවෙ කරන්නට පුළුවන් විප්ලවය. අපි වැඩ කරන්නෙ ඒ වෙනුවෙන්.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා