වැඩ කරන ජනයා වෙනුවෙන් කළ යුතු පළමු විප්ලවය රාජ්‍ය සේවක පැසවූ හොරිය පැඩ්ඩීම යි


රාජ්‍ය සේවකයන්ට මහජන මුදලින් මෝටර් බයිසිකල් ද දෙන ලදී.
2017 වසරේදී රාජ්‍ය සේවකයන් 5000ක පමණ පිරිසක් විශ්‍රාම යද්දි අලුතෙන් 23,227ක් බඳවාගෙන තිබෙනවා.
මේ අතරට අකිල පාසල් කම්කරු පත්වීම් දුන් කුලියාපිටියේ කොල්ලන්, උස නම් සිකියුරිටි – මිටි නම් කම්කරු හා තවත් ඒ ජාතියේ එක්සත් ජාතික පක්ෂයට කඩේ ගිය නිකමුන් රැසක් සිටින බවට සැක නැත.
කෙසේ වෙතත්, මේ වන විට රජයේ මධ්‍යම මට්ටමේ තනතුරුවලට අලුතෙන් සේවකයන් බඳවා ගැනීමේ ක්‍රියාවලි නම් බොහෝ දුරට සාධාරණ වී තිබේ. මේ වන විට තොරතුරු දැනගැනීමේ පනත යටතේ රැකියා අපේක්ෂිතයකුට බඳවා ගැනීමේ පටිපාටි පිළිබඳ විමසීම් කළ හැකිව තිබෙන නිසා රජයේ නිලධාරීන්ට උපරිමයෙන් පරිස්සම් වීමට සිදු වී තිබේ.
රාජපක්ෂ යුගයේ අවසන් සමය වන විට රාජ්‍ය ආයතන තුළ උසස්වීම් සඳහා වන තරග විභාග පවා මුදලට ‘හැක්’ කර ගැනීමේ හැකියාව තිබිණි. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජේලර් පදවියට උසස් වීමේ තරග විභාගයෙන් පවුල් පිටින් පාස් වී තිබිණි. එය උදාහරණයක් පමණි.
කෙසේ වෙතත්, රාජ්‍ය අංශය වැඩකට නැති සේවකයන්ගෙන් පුරවා ඉදිමුණු, පැසවූ හොරියක තත්වයට පත් කිරීමේ ගෞරවය හිමි වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ය. ලක්ෂ හයහමාරක් වූ රාජ්‍ය සේවක සංඛ්‍යාව ඔහුගේ කාලය තුළදී ලක්ෂ දාහතරහමාරක් දක්වා දෙගුණයකටත් වඩා ඉහළ නංවන ලදී. එම වකවානුව තුළ රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව නම් එසේ ඉහළ ගියේ නැත.
ලංකාවේ දිළිඳුකම නැති කිරීම සඳහා යයි කියමින් සමෘද්ධි අමාත්‍යාංශයක් ම 1990 දශකයේ සිට පවත්වාගෙන යනු ලැබේ. මෙම අමාත්‍යාංශය වැඩිම වියදමක් කරන්නේ එහි සේවය කරන සේවකයන්ට වැටුප් ගෙවන්නට ය. ඉතින් මොන දිළිඳුකම පිටුදැකීමක් ද? මේ රජයේ සේවක කැළණි හිඟන්නන් නඩත්තු කිරීම වෙනුවෙන් දිළිඳුකම ද නඩත්තු කරනු ලැබේ.
රාජ්‍ය ආයතනවල අතිරික්තව බඳවාගෙන සිටින සේවකයන් 7500කට පඩි ගෙවීම අමාත්‍යාංශ ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍ර‍ධානීන්ට හා ගණකාධිකාරිවරුන්ට පැවරෙන බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගන සමරවීර පවසා තිබේ.
මේ 7500 වැඩි වී තිබෙන්නේ කාඩරයට එකතු කර තිබෙන අනවශ්‍ය රජයේ සේවකයන්ට අමතරව ය. පසුගිය රජය සමයේ රැකියා විරහිත උපාධිධාරීන් වෙනුවෙන් විශේෂයෙන් නිර්මානය කරන ලද සංවර්ධන සහකාර තනතුර වෙනුවෙන් බඳවා ගන්නා ලද 150,000ක් පමණ වන උපාධිධාරීන් අතරින් අති බහුතරයකට ඵලදායී වැඩ පැවරුමක් හෝ සිදු කර නැත.
අද ලංකාදීප පුවත්පතේ කතුවැකිය පවසන්නේ මුදල් හා ජනමාධ්‍ය ඇමතිවරයාගේ තීරණය අසාධාරණ බවයි. හේතුව, මෙම බඳවාගැනීම් කර තිබෙන්නේ ඇමතිවරුන්ගේ උවමනාව නිසා ය. එහි සඳහන් වන පරිදි වරද රජයේ රස්සාවකට ඇවිත් නිකම් ම පුටු රත් කරන තරුණ තරුණියන්ගේ නොවේ. අපට නම් කියන්නට තියෙන්නේ මෙය යි. අනේ නිකම් යන්න ලංකාදීප නරි නාවන්නෙ නැතුව.උන්ට වැඩ පවරන්නට ඕනැ දේශපාලකයො ද? මේ රටේ ඇමතිවරු සංඛ්‍යාව 100ට අඩු යි. උන් වැඩ කරන්නෙ නැහැ කියමුකෝ. එතකොට මධ්‍යම මට්ටමේ ඉන්න, විශාල වරප්‍ර‍සාද ප්‍ර‍මාණයක් භුක්ති විඳින 25,000ක් වන රජයේ විධායක නිලධාරි මොනව ද කරන්නෙ? මේ පිංපඩිකාරයන් තමන්ගෙ වැටුප ගැන වගවෙන්නට තමන් නිසි පරිදි සේවාවල යොදවන්නැයි ඉල්ලීම් කරපු දවසක් එහෙම දන්නවා ද? හොයලා බලලා කරන්නට පුළුවන් වැඩක් හෝ මොවුන් කරනවා ද?
අපට අසන්නට තිබෙන්නේ මෙම නිලධාරීන් එම බඳවාගැනීම්වලට විරුද්ධ නොවූයේ ඇයි ද යන්නයි.අමාත්‍යාංශයක පවා අවසන් මුල්‍ය වගකීම දරන්නේ ඇමතිවරයා නොව ලේකම්වරයා ය.
2017 වසරේ රාජ්‍ය ව්‍යවසායන් හෙවත් රජයට අයත් සංස්ථා, මණ්ඩල, සමාගම් ආදිය විසින් ලැබූ පාඩුව රු. බිලියන 50ක් බව පසුගියදා විගණකාධිපති ගාමිණී විජේසිංහ හෙළිදරව් කළේ ය.
මේ අතර රජයේ සේවකයන්ගේ වැඩ වර්ජන රජය පමණක් නොව රට ද විනාශ කරන, ඔඩුදිවූ පිළිකාවක් බවට පත්ව තිබේ. 2016 වසරේ කරන ලද වැඩ වර්ජන 41ක් නිසා වැඩ කරන මිනිස් දින 104,327ක් නාස්ති වූ බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. 2017 හා 2018 වසරවලදී මෙය වැඩි වෙමින් තිබේ. මේ වර්ජන සියල්ල ම වගේ කළේ රජයේ සේවකයිනුයි. මේ පාඩු විඳගන්නට සිදු වන්නේ මේ රටේ වැඩ කරන ජනතාවටයි. ඔවුන්ගේ වැඩ කරන දින අතිවිශාල ගණනක් ද මෙම වර්ජන, උද්ඝෝෂණ ආදිය නිසා නාස්ති වී තිබේ.
මේ හොරි ගෙඩිය නඩත්තු කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන නිසා වහාම මේ සෙල්ලම නතර කළ යුතුව තිබේ. රජයේ සේවයට නිකමුන් බඳවා ගැනීම හා මහජන මුදලින් පිංපඩි ගෙවීම හා නැවැත්විය යුතු ය. මේ බඳවා ගැනීම් විසින් ඇති කරන්නේ පරම්පරා ගණනාවක් ගියත් සුව කළ නොහැකි රෝගයකි. සේවා කාලය තුළ ඵලදායී වැඩක් නොකරන මේ රජයේ සේවකයන් මැරෙනකල් මහජන මුදලින් විශ්‍රාම වැටුප් ද ගෙවිය යුතු ය. ඒ වෙනුවෙන් කඹුරන මැද පෙරදිග ශ්‍ර‍මිකයන්, ඇඟලුම් කම්කරුවන්, වතු කම්කරුවන් ආදී වූ ඵලදායී වැඩ කරන ජනයාට මොන විශ්‍රාම වැටුප් ද?
ප්‍ර‍තිපත්ති අධ්‍යයන ආයතනයේ අධ්‍යයන පෙන්වා දෙන පරිදි 2015 වන විට ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 60ට වැඩි ජනතාවගෙන් කුමන හෝ ආකාරයක විශ්‍රාම වැටුපක් ලැබුවේ 30%ක් පමණයි. තවත් 18%කට දිළිඳු සහනාධාරය ලැබුණා. වයස අවුරුදු 60ට වැඩි ජනගහණයෙන් රාජ්‍ය සේවා විශ්‍රාම වැටුප ලබන 20% පමණයි දරිද්‍ර‍තා රේඛාවෙන් ඉහළ මට්ටමේ ආදායමක් ලැබුවේ. අනෙක් අයගේ ඊනියා විශ්‍රාම වැටුප් ඔවුන් දිළිඳුභාවයෙන් මුදාගන්නට හෝ ප්‍ර‍මාණවත් නැහැ. උදාහරණයක් විදියට දිළිඳු සහනාධාරය කියන්නේ රු. 2000ක් පමණයි.
මීට අමතරව ඉහළ රජයේ නිලධාරීන්ට විදේශ චාරිකා, පුහුණුවීම්, තීරු බදු රහිත වාහන ආදී වරප්‍ර‍ාද ලබා දීමට ද තවත් අති විශාල මහජන මුදල් කන්දරාවක් වැය වේ.
තව විස්තර අවශ්‍ය නැත. මේ සෙල්ලම දැන් හොඳට ම ඇති ය. රජයේ රැකියා දෙනවා නම්, ඵලදායී වැඩ පැවරුමකින් යුතුව පමණක් දිය යුතු ය. රජයේ සේවක නිකමුන්ට පිංපඩි දෙන්නට අපට වැඩ කරන්නට හා බදු ගෙවන්නට බැරි ය.
ලංකාවේ දුක් විඳින වැඩ කරන ජනයා වෙනුවෙන් කළ හැකි හා කළ යුතු පළමු විප්ලවය මේ රාජ්‍ය සේවක පැසවූ හොරිය පැඩ්ඩීම යි.
– අජිත් පැරකුම් ජයසිංහ

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා