කේ පොයින්ට් හා Sven Hassle


උපාලි රත්නායක විසිනි
කේ පොයින්ට් කියවා අවසන් කළෙමි. එය මා සසල කළේය.
මෑත වකවානුවක කිසිදු පොතක් විසින් නොකළ ආකාරයට මා සසල කළේය. එසේ වූයේ ඇයි? ඒ අජිත් පැරකුම් ජයසිංහ විසින් ඒ පොත ආකෘති ගත කර තිබූ ශෛලිය නිසාද? නො එසේ නම් එහි අන්තර්ගත කර තිබූ, 1987-90 කාලයේදී ලංකාව වසා පැතිර ගිය ඇදහිය නොහැකි තරම් රුදුරු බිහිසුණු සිද්ධි දාමය නිසාද? මම සිතමි.
තමන් ලියන්නේ සැබෑ සිදුවීම් පාදක කර ගත් නව කතාවක් යැයි අජිත් පැරකුම් මේ පොත ආරම්භයේදීම ලියයි. ඔහු කතාව කියන්නේ ” රචක ” නමින් හඳුන්වනු ලබන චරිතයක් උපයෝගී කර ගනිමිනි. මේ රචක කවුදැයි පුර්වාපර සන්ධි ගලපා ගත හැකි පාඨකයෙකුට රහසක් විය නොහැකිය.එහෙත් විසඳා ගත යුතුම වූ වෙනත් රහසක් අජිත් අපට ඉතිරි කරයි. එය අදද අපගේ සමාජය අරා වැජඹෙන එක් සුවිශේෂ ලක්ෂණයක් පිලිබඳ රහසකි.එනම් මනුෂ්‍යත්වය මෙතරම් අධම, ජඩ, රෞද්‍ර, තුච්ඡ, නර-රකුස් මට්ටමකට ඇද හෙළන සැහැසි පෙළඹීම එන්නේ කවර ප්‍රභවයකින්ද යන්නය. එය පංති පීඩනය හෝ පංති වෛරයේ පලයක් යැයි කවුරුන් හෝ කියන්නේ නම් එය එපමණකට ලඝු කළ හැකිදැයි මම නොදනිමි. මා සසල කළේ වධකයන් සහ වින්දිතයන් යන දෙපිරිස තුළම පැහැදිළිව දක්නට තිබු ඒ නර-රකුස් බව විසිනි. අවස්ථාව අංශක එකසිය අසූවකින් කැරකි ගියේ නම් වින්දිතයින් වධකයින් බවට පත් වී එලියකන්දේ සිදු වූ දේම වෙනත් තැනක වෙනත් දවසක සිදුවීමට ඕනෑ තරම් ඉඩ තිබුණි.
” රචක” එලියකන්දෙන් දිවි බේරා ගෙන අදත් ජීවත් වෙයි.ඔහු සිතෙන් පමණක් පෙම් බැඳී ” ආශා “ද ඔහුට හමු වන්නට ඇතැයි මම සිතමි. ඔහු මෙන් තවත් සිය ගණනක්, ඇතැම් විට දහස් ගණනක් දිවි ගලවා ගන්නට ඇත. එහෙත් ඊට වඩා වැඩි අති විශාල පිරිසක් මිනිසුන්ට දැරීය නොහැකි තරම් වධ විඳ මේ ජීවිතය හැර ගිය බවද අපි දනිමු.මෙසේ දිවි ගලවා ගත්තවුන් සිය ඉතිරි ජීවිත කාලය පුරාම සිතෙන් දරා ගෙන සිටින අප්‍රමාන බර ගැන සිතෙන විට මම සසල වෙමි. අනෙක් අතින් එදා වධකයන්ද අදත් මේ සමාජය තුළ සිටිනවා නොවේද? ඔවුන්ද පිටතට නොපෙන්වුවද ඉමහත් බරක් සිතේ සිර කර ගෙන සිටීමට ඉඩ ඇත. ඔබද මාද ගමන් යන මාවතේ දි ශොපින් කවරයක එලවලු සහ සිල්ලර බඩු ටිකක් දමා ගෙන ගිලුනු දෙනෙතින් සහ වෙහෙසුනු මුහුනින් යුතුව ඔබ පසු කර අර යන්නේ වින්දිතයෙක්ද? වදකයෙක්ද? මම නොදනිමි. ඔබ දන්නෙහිද?
ස්වෙන් හැස්ල්
මා කේ පොයින්ට් පොත සැසඳිය යුත්තේ කුමක් සමගද? මෙහිදී මම විදේශීය ලේඛකයකුගේ කෘතියක් මගේ සහායට ගනිමි. Sven Hassel ඩෙන්මාර්ක් ජාතිකයෙකි.ඔහු දෙවන ලෝක යුද්ධයට පෙර වකවානුවේ රැකියාවක් සොයා ජර්මනියට පැමිණ පසුව ජර්මානු හමුදාවට බැඳී නාසින්ට පක්ෂව රුසියානු පෙරමුණේ දඬුවම් බලකායක සටන් කළේය. යුද්ධයේ ඇති ඝෝර තිරශ්චීන සහ අමානුෂික විනාශකාරී ස්වභාවය නිසා කැළඹුණු ඔහු පසු කලෙක සිය යුද අත්දැකීම් පදනම් කර ගත් පොත් ගණනාවක් ලිව්වේය.කවර ආලවට්ටම්වලින් වසා දැමීමට උත්සාහ ගත්තද යුද්ධය යනු මොන තරම් ම්ලේච්චද යන වග ඔහු ඒ පොත් ඔස්සේ ඉතා හොඳින් විදහා පෑවේය .මට කේ පොයින්ට් කියවන විට මතකයට එන්නේ ස්වෙන් හෂ්ල් ය. ඔහුගේ Legion of Damned, Wheel of Terror, Liquidation of Paris වැනි පොත්ය.” රකුසන්ගේ අඩවිය” සහ” යුද සක් හඬ” ඔහුගේ කෘති දෙකක සිංහල පරිවර්තන වේ.ස්වෙන් හෂ්ල් මහා පරිමාණ යුද්ධයක පැවැති රුදුරු බව මවා පෙන්වූ ශුර කමට තරමක් සමීපකමකින් යුතුව අජිත් පැරකුම් ඊට වඩා කුඩා අවි ගැටුමක එක් පැතිකඩක් වියා දක්වන බුහුටි බව සහ නිර්භීත බව දකින මට ඔහු ලංකාවේ ස්වෙන් හෂ්ල් කෙනෙකු නොවන්නේදැයි ඇතැම් විට සිතෙයි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා