බල පෙරළිය හා පශ්චාත් සුනාමි උපකාරක මනෝ සංකීර්ණය

ඔබ 2015 ජනවාරි 8 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති පදවියට පත් කරන්නට උදව් කළ අයෙකු වන්නට පුළුවන්. එහෙම නැතිනම් ඔබේ මිතුරු මිතුරියන්, ඥාතීන් හෝ වෙනත් සමීප අය එසේ කරන්නට ඇති. ඒ වෙලාවේ ආණ්ඩු පෙරළියත් එක්ක ඔවුන් සතුටට පත්වෙන ආකාරය දැක ඔබ දුක්වන්නට ඇති. එහෙම නැතිනම්, මේ බල පෙරළියත් එක්ක ඔබ දුකට පත් වෙලා ඇති. ඔබේ මිතුරන් ඔබට උසුළු විසුළු කරනවා ද?
ඔබ පශ්චාත් සුනාමි උපකාරක මනෝ සංකීර්ණය ගැන අසා තිබේ ද? එය හදාරන්න.
ඔබ මුහුණ දෙන සිද්ධිවල මනෝ විද්‍යාවව හරි සරලයි. මෙච්චරයි. උදාහරණෙකට ඔන්න අපි දන්න එකෙක් ලොකු පුටුවකට පත් වෙනවා. එහෙම නැති අපට ඒ ගැන ඉරිසියායි. ඒ අවස්ථාව අපට ලැබෙන්න තිබුණු අපට වඩා අඩු මට්ටමේ එකකුට ලැබුණා ය කියලා අපට දුකයි. අපි ඉරිසියාව යටපත් කරගෙන ඌට සුබ පතනවා. ඌට ලැබුණු අවස්ථාවෙන් අපටත් මොකක් හරි මගක් පාදලා දෙයි කියා හිතනවා. හැබැයි උගෙන් ඉල්ලන්න යන්නෙ නැහැ. අපි හිතන්නෙ ඒක මදිකමක් ය කියලායි. ඒ වුණාට දැන් නැතුවට දැන් ඌ කතා කරයි කියලා එන එන කෝල් එක ගානෙ බලාපොරොත්තු සහගතව ඉන්නවා.
 
ඔය අතරෙ උගෙ මනසත් යම් විදියකට වැඩ කරනවා. උෟ මුලින් ම කල්පනා කරන්නෙ උගේ අඩුව ගැන. ඒ නිසා ඌත් කැමති නැහැ උගේ අඩුව හොඳට දන්න ඌට අභියෝග කරන ජාතියෙ එවුන් ළං කරගන්න. ඒ වෙනුවට ලැබුණු අලුත් අවස්ථාව පාවිච්චි කරලා සංකේතීය වටිනාකම් ඇති නොදන්න පොරවල් එක්ක අලුතෙන් යාලුකම් හදාගෙන උන් එක්ක ආතල් වෙනවා. උන් දැන් මගේ යාළුවන් නේද, මං මාර පොරක් වෙලා නේද කියලා ඌ ආතල් එකේ ඉන්නවා. ඌ දන්නෙත් නැහැ ඌට කෙළ වෙච්ච දවසට වෙන දේ. හැබැයි ඉතින් නියම අවස්ථාවාදියා අර අතීතය ඉරේස් කරලා දාලා වැඩේට හරියට සෙට් වෙනවා. ඌට කෙළ වෙන්නෙ නැහැ. වෙනස එක්ක ඌත් වෙනස් වෙනවා. වාමාංශිකයන් තමයි මේ වැඩේ තිතට කරන්නෙ. උදාහරණයක් විමල් වීරවංශ. ලිබරල් වාමාංශිකයො තමයි ෆේල් වෙන්නෙ. උදාහරණයක් විමල් කැටිපෙආරච්චි.
 
ඔය අතරෙ අපි අර තැනකට ගිය අපේ එකා ගැන තියෙන ඉරිසියාව නිසා ඌට ප්‍රතිවිරුද්ධ පැත්තට සෙට් වෙනවා. ඌ කොතනද ඉන්නෙ අපි ඉන්නෙ ඒකෙ අනෙක් පැත්තෙ. ඔය අස්සෙ ඌට ගිල්ටිය ඇති වෙලා ඌ ඇඹරෙනවා. අපි ඌට කෝචොක් කරනවා.
 
ඉතින් ඔන්න‍ඔහොම ගිහින් කවදහරි කෙළ වෙනවනේ. අපේ හිතේ තිබුණු ඇරියස් එක මතු වෙනවා. අපේ එකාට කෙළ වීම නිසා අපට අසීමිත සතුටක් ඇති වෙනවා. ඒක අර කලින් ඉරිසියාව වගේ හිතේ හිරකරගෙන ඉන්න අමාරුයි. අපි එක්කෝ උඩ දාගෙන ඌට කෙළිනවා. නැතිනම් හීන් නූලෙන් අඹරනවා. මොකෙන් කළත් උගේ කොළ බොක්කට ම වදින්න දෙනවා. දීලා අපි පොර වෙනවා.
 
මේ වෙලාවෙ වාමාංශිකයන්ගෙ විතරක් නෙමෙයි ඔබේ බොහෝ ‘මිතුරන්ගෙ’ මානසිකත්වය තේරුම් ගන්නට පුළුවන් මෙන්න මේ සරල යතුරෙන්.
 
සුනාමිය වෙලාවෙ වතුර බැහැලා ගිය ගමන් සමහරු අවදානමත් නොතකා ගියා නේද මිනිසුන් බේරගන්න. ඒ වෙලාවෙ ඔවුන් පණ ඇති මිනිසුන් බේරාත් ගත්තා. සමහරු ඒ අතරෙ මළ මිනීවල මාලත් කඩාගත්තා. සමහරු පණ තියෙන ගෑනුන්ගෙ මාල කඩාගෙන වතුරට ඇදලාත් දැම්මා. බල පෙරළියක් වුණාම ප්‍රතිචාර දක්වන මිනිසුන් අතරෙ මෙන්න මේ පශ්චාත් සුනාමි උපකාරක මනෝ සංකීර්ණය පුළුල් පරාසයක තියෙනවා.
 
මේ මනෝ සංකීර්ණයට එනකොටම ඒක ගැන හිතලා ගැලවෙන්නට පුළුවන් අය තමයි දේශපාලනිකව ශක්තිමත් පෞරුෂයන් වන්නෙ. මටත් මේක හැදුණා පෙබරවාරි 10 පළාත් පාලන ඡන්දෙ වෙලාවෙ. මාත් පෝස්ට් එකක් දැම්මා තොපට හොඳ වැඩේ කියලා. මොකද මටත් සෑහෙන ඇරියස් තිබුණා අප එක්ක එකට වැඩ කර තනතුරු අරගෙන අප නොතකා හළ අය ගැන. හැබැයි පස්සෙ මං ඒ ගැන දිගටම කල්පනා කළා. මේ වතාවෙ කෙළවීම වුණ වෙලාවෙ මම ඒ දුර්වලකමින් මිදුණා. මාව මේ මොහොතෙ ආදර්ශයට ගන්න. සමාජවාදය කියන්නෙ ජීවන අරගලයක්. ඒක අප ඇතුළෙයි අපට පිටිනුයි දෙකේම තියෙනවා.
මං ඔය දාර්ශනිකයෙකු හෝ මනෝ විශ්ලේෂකයකු නෙමෙයි. මං ඔය තියරි ගොඩක් කියවලාත් නැහැ. හැබැයි 100%ක් ජීවත් වෙලා තියෙනවා. අදත් එහෙම ජීවත් වෙනවා. ඒ නිසා මගේ දීර්ඝකාලීන අත්දැකීම් මත පදනම් වෙලායි මම මේක ලිව්වෙ.
වලක වැටීම මොළයට ලාභයකැයි මාඕ සේතුං කිව්වා. ඔබ බලාපොරොත්තු වන සමාජ වෙනස ඔබ ම වන්නැයි ගාන්ධි කිව්වා. ඔබට මේ සැරේ ඔබේ මිතුරන් කරන ඔය පාදඩ වැඩේ ඔබ ඊළඟ පාර නොකර ඉන්න.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා