තීරු බදු රහිත වාහන ආනයනය නිසා අපට වෙච්ච දේ


මේ මොහොතේ අප මුහුණ දී සිටින බරපතල ගැටලු දෙකක් වන්නේ ඩොලරයට සාපේක්ෂව රුපියල බාල්දු වීම හා තෙල් මිළ ඉහළ යාමයි. මේ දෙකම තීරණය වන්නේ බාහිර සාධක මත වුණත්, ලංකාවේ තත්වය තීව්‍ර‍ වෙන්නට හේතු වුණ මූලික කාරණයක් තමයි රටේ ආදායම් තත්වයට නොගැලපෙන අධි පරිභෝජනය. තත්වය පාලනය කරන්නට, අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා ඩොලර් නිකුත් නොකරන්නට මහ බැංකුව තීරණය කරලා. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ යන්න නිර්වචනය කිරීම අමාරු දෙයක්. කෙනෙකුට අත්‍යවශ්‍ය නොවන දෙයක් තවත් කෙනෙකුට අත්‍යවශ්‍ය වන්නට පුළුවන්.
මේ අන්දමින් ආනයන සීමා පනවන්නේ නැතුව තත්වය කළමනාකරණය කරගන්නට හැකියාව අපට තිබුණේ නැත්තේ ම නැහැ. උදාහරණයක් ලෙස අපට තිබුණා අනවශ්‍ය ආනයන දිරි නොගන්වා සිටින්න. මෙහෙම දිරිගැන්වීම් කළ ප්‍ර‍ධාන අවස්ථාවක් තමයි තීරුබදු රහිතව වාහන ආනයනය කරගන්නට දිරිගැන්වීම. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් වැනි දේශපාලකයන්ට අවශ්‍ය පරිදි මෙම වරප්‍ර‍ාදය භුක්ති විඳීම සඳහා ඔවුන් මෙම අවස්ථාව රජයේ ඉහළ නිලධාරීන්ටත් ලබා දුන්නා. මෙය රජයෙන් යැපෙන මධ්‍යම පන්තියේ ඉහළ තීරුවේ හවුලේ බෙදාගෙන රට කන ආකාරයේ මූලික ලක්ෂණයක්.
මෙමගින් සුවිසල් බදු ආදායමක් රජයට අහිමි වුණා. මේ බලපත්‍ර‍ලාභීන් වැඩිදෙනෙකුට දැනටමත් මීට අවුරුදු පහකට පමණ කලින් බලපත්‍රයෙන් ලබාගත් වාහන තිබෙනවා. ලංකාවේ වාහන අවුරුදු පහෙන් ඉවත දමන්නේ හෝ ඒවායේ වටිනාකම් අඩු වන්නේ හෝ නැහැ. මේ වැඩිදෙනෙකු වාහන බලපත්‍ර‍ය හොරෙන් විකුණා මහජන මුදල් මිලියන ගණනක් තම ගිනුමට දාගත්තා. මේ වාහන බලපත්‍ර‍වලින් ජාවාරම්කරුවන් අධි මිළ වාහන තීරු බදු රහිතව ආනයනය කරගෙන ඒවා ධනවතුන්ට අලෙවි කළා. අවසානයේදී විශාල ධනස්කන්ධයක් රටෙන් බැහැරට ගියා. ඊට අමතරව ඉන්ධන ආනයනයත් ඉහළ ගියා. මාර්ග නඩත්තුව, වාහන තදබදය වැනි ගැටලු නිසා සිදු වන හානි තවත් වැඩියි.
ජේ.බී. සිකියුරිටීස් පර්යේෂණ ආයතනය ගනුදෙනුකරුවන්ට දැනුම් දී ඇති පරිදි වෙළඳපොළේ එවැනි වාහන ආනයන බලපත්‍ර‍ 6000-8000 අතර ප්‍ර‍මාණයක් තිබුණ අතර ඒවා අලෙවි වුණේ රු. ලක්ෂ 21 – 23 වැනි මුදල්වලටයි. (මූලාශ්‍ර‍ය මෙතැනින්)
මෙසේ බලපත්‍ර‍ අලෙවි කිරීමෙන් රජයේ සේවකයන් පමණක් මහජන මුදල් රු. බිලියන 15ක් පමණ ගසා කා තිබෙනවා.
තීරුබදු රහිතව ආනයනය කරනු ලබන එක් වාහනයක් වෙනුවෙන් සාමාන්‍යයෙන් රු. ලක්ෂ 36ක් පමණ බදු රජයට අහිමි වෙනවා. මෙම වාහන වෙළඳපොළේ අලෙවි වන්නේ රු. කෝටි ගණන්වලටයි.
ආණ්ඩුව දැන් තීරු බදු රහිත වාහන ආනයනය තාවකාලිකව නවත්වා තිබෙනවා. එහෙත්, ඊට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාගේත්, රජයේ නිලධාරීන් දහස් ගණනකගේත් බලපත්‍ර‍වලින් වාහන ආනයනය කෙරුණා. දැන් අස්සයා පැන ගිහින් ඉවරයි. හැබැයි, ඉස්තාලය දැම්මා ස්ථිරව වසා දැමීමට මෙම අවස්ථාව පාවිච්චි කළ යුතුයි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා