ප්‍රජාතන්ත්‍රවාදයට සමු දෙමු ද? හිට්ලර්ට ඉඩ දෙමු ද?
මේ රට හදන්නට දැඩි පාලනයක් අවශ්‍ය ය කියන කතාවට දැන් අලුත් පණක් ඇවිත්. හේතුව, සැර නිලධාරියෙකු ය කියා ප්‍රසිද්ධ පුද්ගලයෙකු ජනාධිපති ධුරයට පත් වෙන්නට කැමැත්ත පළ කර තිබීම. ඇත්තෙන් ම එයා හරි සැරයි. කොච්චර සැර ද කියනවා නම්, පහරදීම්, පැහැරගැනීම්, අතුරුදහන් කිරීම්, මිනීමැරුම් විතරක් නෙමෙයි, වංචා, දූෂණ, සොරකම් සම්බන්ධයෙනුත් ඒ පුද්ගලයාගේ නම කියවෙනවා.
හැබැයි, බලහත්කාරය, තර්ජනය, බියවැද්දීම ඇතුළෙ අරමුණු ඉටු කරවා ගන්නට ඔහු දක්ෂයකු බවට සැකයක් නැහැ. කොටින් ම කියනවා නම්, ඔහුට විරුද්ධව ඇති නඩු විභාග කිරීමට විනිසුරුවරුන් පවා මැලිකමක් දක්වන බව පෙනෙනවා.
කෙසේ වෙතත්, මෙවැනි භයානක පුද්ගලයන් බලයට පත් කර, ඔවුන්ගේ මර්දන කුසලතාවන් උපයෝගී කරගෙන රට සංවර්ධනය කළ හැකි යයි සිතන වැදගත් පුද්ගලයිනුත් මේ රටේ සිටිනවා.
මෙය අලුත් ප්‍රවණතාවකුත් නෙමෙයි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ වුණේ ම, පාර්ලිමේන්තුවට මුළුමනින් වගකිව යුතු නොවන, ජනවරමක් හා අධික බලතල ප්‍රමාණයක් හිමි තනි පුද්ගල විධායක ජනාධිපතිවරයකු මගින් රට වේගවත් සංවර්ධනයක මාවතට යොමු කිරීම යි. ලංකාවේ පැවති රාජ්‍ය මූලික, සුබසාධනවාදී, යම් දුරකට සමාජවාදී ද වූ ආර්ථිකය ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක වෙළඳ සංවිධානය, ආසියානු සංවර්ධන බැංකුව ආදී නවලිබරල්වාදී ආයතනවල උවමනාව පරිදි ප්‍රතිව්‍යූහගත කිරීම තමයි එහි අරමුණ වුණේ. එසේ කිරීමේදී එන විරෝධය මෙල්ල කරන්නට තමයි, ව්‍යවස්ථාදායක ඒකාධිපතිත්වයක් අවශ්‍ය වුණේ.
එහෙත්, ශ්‍රී ලංකාවේ ජනතාව විසින් මෙම නව ලිබරල්වාදී වැඩසටහන සෑහෙන දුරට පසුබස්වනු ලැබුවා. මේ වන විට ක්‍රියාත්මක වන්නේ ලංකාව විසින් තමන්ට ගැලපෙන ලෙස සකසා ගනිමින් තිබෙන නිදහස් වෙළඳපොළ ක්‍රමයක්. එහි ගැටලු රැසක් තිබෙනවා. අපට ගැලපෙන ආර්ථික ක්‍රමයක් සකසා ගැනීම සඳහා අප අතර ප්‍රජාතාන්ත්‍රික සංවාදයක් පැවතීම අත්‍යවශ්‍ය යි.
ඒකාධිපති මිලිටරි ස්වරූපී ආඥාදායකත්වයක් ලංකාවට යෝජනා කරන අලුත්වැඩසටහන ඇත්තෙන් ම මේ නවලිබරල් වැඩසටහනේ ම අලුත් පිටපතක්. ඒ වටා ඒකරාශී වී සිටින පිරිස කවුරුදැයි බලන්න. මිලිටරි අන්තවාදීන්, ජාතිවාදී උම්මත්තකයන්, අධික ලාභය පසුපස හඹා යන වෙළඳ ධනවාදීන් හා මහජන ප්‍රශ්න කෙරෙහි අසංවේදී වෘත්තිකයන් පිරිසක් තමයි මේ වැඩසටහන වටා එක්රොක් වී ඉන්නේ. ඔවුන් තමයි ප්‍රජාතන්ත්‍රවාදයට සමු දෙන්නට කතා කරන්නේ.
මෙය ඉතා භයානක ප්‍රවණතාවක්. මෙවැනි පිරිස් බලයට පත් වීම ලංකාවේ දීර්ඝකාලීන ප්‍රජාතන්ත්‍රවාදී උරුමයටත්, ජනතා නිදහසටත්, පශ්චාත් යුද සංදර්භය තුළ ජාතීන් හා සෙසු ප්‍රජාවන් අතර සමගිය ගොඩනගා ගැනීමටත්, සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමයටත් බරපතල තර්ජනයක්.
දූෂණය, භීෂණය, ඝාතන, අතුරුදහන් කිරීම්, පැහැරගැනීම්, පහර දීම්, තර්ජන සපිරි, දිළිඳු ජනතාව මිනිස් කසල ලෙස සලකන, ශ්‍රමිකයන් වහලුන් බවට පත් කරන, ජීවත් වීමේ අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි අඳුරු යුගයකට ආපසු යමු ද? නැතිනම්, අද අප මුහුණ දෙන ගැටලු හඳුනාගෙන, ඒවාට විසඳුම් ප්‍රජාතාන්ත්‍රිකව සාකච්ඡා කරමින් හා සම්පාදනය කර ගනිමින් ඉදිරියට යමු ද? තීරණය ඔබ අතේ.
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.