බොරු නං සල්ලි තමයි; ධනවාදයේ මාධ්‍ය යථාර්ථය (වීඩියෝ)
මේ වෙනකොට රටේ රේඩියෝ, ටෙලිවිෂන් නාලිකා වැහි වැහැලා. රේඩියෝ එහෙම කොච්චර තියෙනවා ද කියනවා නම් ඒවා අසවා ගන්නට ශ්‍රාවකයන්ට සල්ලිත් දීමට රේඩියෝ චැනල් පෙළඹී තිබේ.
ධනවාදයේ ඉතා ම අරුත් සුන් පැතිකඩක් නිරූපණය කරන්නට මේ සල්ලි බෙදන මාධ්‍ය කදිම නිදසුනකි.
ධනේශ්වර ක්‍රමය හා ධනවාදය යනු එකිනෙක සම්බන්ධ ප්‍රපංච දෙකක් වන මුත් ඒ දෙක අනිවාර්යයෙන් ම එකක් වීම අවශ්‍ය නැත. ධනේශ්වර ක්‍රමය යනු වර්තමානයේ ලොව පුරා ක්‍රියාත්මක, නිදහස් වෙළඳපොළ තුළ, ඉල්ලුම හා සැපයුමෙහි තුලනයෙන් සිදු වන නිෂ්පාදනය හා වෙළඳාමයි. එය ධාවනය වන්නේ ලාභයෙනි. ලාභය යනු අපරාධයක් නො වේ. ලාභය යනු ධනේශ්වර කර්මාන්තවල, වෙළඳපොළේ පැවැත්ම තිරසාර කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. ලාභය යනු එක පැත්තකින් හිමිකාරිත්වය නම් වෘත්තීයමය කාර්යය වෙනුවෙන් කරනු ලබන ගෙවීමයි. එය ශ්‍රමයට කරනු ලබන ගෙවීම සමග සමාන නැත. ධනේශ්වර ක්‍රමය තුළ පරිසමාප්ත සමානාත්මතාවක් පැවතිය නො හැකි ය. පැවතිය හැක්කේ සාපේක්ෂ සමානාත්මතාවකි. ලාභය අනෙක් පැත්තෙන් ආයෝජන බවට පත් වේ. එසේම, රජයන් හා සුබසාධනයන් පවතින්නේ ද ලාභයෙන් ලබා ගන්නා බදු මත ය.
ධනවාදය යනු අධික ලාභ පසුපස හඹා යාමයි. මෙය අද වන විට ධනේශ්වර ක්‍රමය වෙළාගෙන තිබෙන ව්‍යාධියක මට්ටමේ පවතින්නකි. එහෙත්, එය නියාමනය කළ නො හැකි දෙයකැයි මම නො සිතමි.
වර්තමානය වන විට වෙළඳපොළේ භාණ්ඩවලට වඩා විකිණෙන්නේ සන්නාම හෙවත් බ්‍රෑන්ඩ් ය. සන්නාම අලෙවිය සඳහා ප්‍රචාරණය අත්‍යවශ්‍ය ය. ප්‍රචාරණය සිදු වන්නේ මාධ්‍ය හරහා ය. එහෙයින් ප්‍රචාරණයට මාධ්‍ය අවශ්‍ය ය. ධනවාදය තුළ මාධ්‍ය පවතින ප්‍රධාන හේතුව එයයි. එහිදී මාධ්‍ය ද කරන්නේ සිය සන්නාමය අලෙවි කරමින් අධික ලාභ පසුපස යාමයි. සල්ලි බෙදනවාට වඩා බෙදන බවට කරන ප්‍රචාරය ද තේරුම් ගත යුත්තේ මෙම සංදර්භය තුළ ය.
අධික ලාභය පමණක් ම අරමුණු කරන මාධ්‍ය කරන්නේ බාල අන්තර්ගතයන් සහිතව, අධික ලාභය වෙනුවෙන් ම නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ අලෙවි කර දීමයි. ඒවා තත්වයෙන් ඉහළ සන්නාම නො වේ. එවැනි සන්නාම ප්‍රචාරය කිරීම සඳහා යොදා ගන්නේ ද ජනප්‍රිය, බාල ප්‍රචාරකයන් ය. නිදසුනක් ලෙස, අධික ලාභය වෙනුවෙන් ම නිපදවන පැණි බීම, ක්ෂණික නූඩ්ල්ස්, ටිපිටිප් වැනි නිරර්ථක දේ විශේෂයෙන් ම පහළ මධ්‍යම පංතික ළමයින්ට විකිණීම සඳහා යොදා ගන්නේ කුමාර සංගක්කාර වැනි ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයන් ය. මේ ප්‍රචාරක ප්‍රතිරූපවල ද අරමුණ අධික ලාභ ඉපැයීමයි. මෙවැනි භාණ්ඩ මිළ දී ගැනීම සඳහා මුග්ධ, පහළ මධ්‍යම පංතියක් ද නිර්මානය කර ගත යුතු ය. ඒ මුග්ධකමේ මූලික ලක්ෂණයක් වන්නේ පහත් රුචියයි. එබැවින් මේ මාධ්‍ය විසින් නිර්මානය කරනු ලබන්නේ ද ඉතා පහත් රුචියකි. ඒ පහත් රුචියට ගැලපෙන ගීත, ටෙලිනාට්‍ය, විහිළු, සුපර් ස්ටාර් තරග ආදිය නිර්මානය කර දෙන පිරිස ද අරමුණු කරන්නේ අධික ලාභයයි.
සන්නාම විකිණීම නරක දෙයකැයි අපි නො කියමු. එහෙත්, සන්නාම මුවාවෙන් විකිණෙන්නේ ජරාව ය.
සල්ලි බෙදන මාධ්‍ය ගැන පොඩිත්තන් පිරිසක් විසින් නිර්මානය කරන ලද මෙම නාට්‍යය නරඹන්න. මේ පොඩිත්තන්ගේ පරපුර මේ ව්‍යසනයෙන් ගලවා ගන්නට ඔබට කළ හැක්කේ කුමක් ද?
රංගනය හිමක සමග මාධුර්යා. පිටපත ළමයින්ගේ සාමූහික සංවර්ධනයකි. මෙවැනි තවත් වීඩියෝ බලන්න W3Lanka යූටියුබ් චැනලයට දායක වන්න. Subscribe බොත්තම ඔබන්න.
Please follow and like us:

Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.