පොලිතින්වලින් තොර කලාපවලටත් විරුද්ධ විප්ලවවාදියෝ


ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි වාමාංශික පක්ෂවල අරගලකාරී විභවය බොහෝ දුරට රඳා පවතින්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයන්ගේ ආකල්ප හා චර්යාවන් මත ය. 1971 හා 1989 කැරැලි මේ සඳහා කදිම උදාහරණ වේ.
වර්තමානය වන විට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට නායකත්වය දෙමින් සිටින ළහිරු වීරසේකර, තැන්නේ ඥානානන්ද හිමි වැනි අයගේ ආකල්ප හා චර්යාවන් අධ්‍යයනය කිරීම ඉතා වැදගත් ය.
සාමාන්‍යයෙන් ම මෙම ශිෂ්‍යයන් නිමග්නව සිටින්නේ නොගැඹුරු, එහෙත් ඉතා උද්ධච්ඡ ලෙස තමන් සියල්ල දන්නේ යයි හා විප්ලවයේ පෙරටුගාමී බලවේගය තමන් යයි සිතා සිටින දේශපාලනයක ය. වාමාංශික නායකයන් කිසි කලෙක මොවුන් නිවැරදි කරන්නට යන්නේ නැත. ඔවුන් කරන්නේ ඉතා කපටි ලෙස මෙම සිසුන් පාවිච්චි කිරීමයි. උච්චතම අවධියේදී දැඩි ජීවිත අවදානමක් පවා දරාගන්නා මෙම ශිෂ්‍ය නායකයන් පසුව මෙම පක්ෂ හැර ගොස් ක්‍ර‍මානුකූලව ක්‍ර‍මයට අනුගත වන ආකාරය දැකිය හැකි ය.
තැන්නේ ඥානානන්ද හිමි විසින් මෙම ඡායාරූපය සමග පළ කර තිබෙන අදහස විශ්ලේෂණය කළ යුතු යයි අපට සිතෙන්නේ එම නිසා ය.
මේ වනාහි සාමාන්‍යයෙන් වාමාංශිකයන් විසින් සිසුන් වෙත ලබා දෙන විප්ලවීය අධ්‍යාපනයේ හැටි ය. ඔවුන් කරන්නේ ධනවාදය, අධිරාජ්‍යවාදය, නව ලිබරල්වාදය වැනි ඇත්තට වඩා ප්‍ර‍බන්ධ වන හොල්මන් කතා ටිකකට සිසුන් බියපත් කර ඒවාට එරෙහිව වලිග පුම්බාගෙන පිඹින පූසන් සේ ප්‍ර‍තිචාර දැක්වීමට සිසුන් යොමු කිරීමයි.
මේ පසුපස තිබෙන න්‍යායික ස්ථාවරය ජවිපෙ, පෙසප වැනි පක්ෂවල මූලික දේශපාලන මූලධර්මයකි. එයින් කියවෙන්නේ සංශෝධන වැඩක් නැත, සමස්ත සමාජ ක්‍ර‍මය ම විප්ලවීය ලෙස වෙනස් කළ යුතු බව ය.
සාමාන්‍යයෙන් ඔවුන් කියන පරිදි මෙම විප්ලවීය වෙනස සිදු කළ හැකි වන්නේ පක්ෂය විසින් තනි බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවා ගත් විට පමණි. පවතින සංදර්භය තුළ නම් එවැන්නක් සිදු වේ යයි සිතිය නො හැකි ය. එහෙත්, ඔවුන්ට ඒ පිළිබඳවත් තර්කයක් ඇත. ඔවුන් කියන පරිදි සමාජ වෙනස්කම් හා බලතුලනයේ වෙනස්කම් ක්ෂණිකව සිදු විය හැකි ය. ඉතිහාසය තුළ එවැනි වෙනස්කම් සිදු වූ අවස්ථා අධ්‍යයනය කර බැලූ විට පෙනෙන්නේ, එසේ සිදු වන්නේ දැවැන්ත අර්බුද හා මහා ව්‍යසන මැද බවයි.
එසේ නම් එවැනි තත්වයක් අපේක්ෂාවෙන් දේශපාලනය කළ යුතු ය. එවැනි තත්වයන් ඉබේ ම නිර්මානය වන තුරු බලා ඉන්නේ ද නැතිව, එවැනි තත්වයන් නිර්මානය කිරීම සඳහා වැඩ කළ යුතු ය. ඒ සඳහා උපායමාර්ග තුනක් අනුගමනය කළ හැකි ය.
  1. කඩාකප්පල්කාරිත්වය
  2. සහයෝගය නො දීම
  3. හෙළා දැකීම
වාමාංශික දේශපාලනය යනු මේ තුනයි. ඔවුන් කිසිවක් අගය කරන්නේ නැත. කිසිවකට සහයෝගය දෙන්නේ ද නැත. හැකි හැම දෙයක් ම කඩාකප්පල් කරති.
සමාජයේ සිදු වන දේශපාලනික චලනයන් දෙස සුබවාදී ඇසකින් බැලීමේ හැකියාව ඔවුන්ට අහිමි වන්නේ එසේ ය. ඔවුන් සියල්ල දකින්නේ ධනේශ්වර කුමන්ත්‍ර‍ණ හා ප්‍ර‍තිසංස්කරණ ලෙසයි.
පුරවැසියන් වන අප හා මෙම ගතානුගතික වාමාංශිකයන් අතර වෙනස මෙයයි. අප සිතන පරිදි සමාජය වෙනස් කළ හැක්කේ දියුණු මිනිසුන්ගේ මැදිහත්වීමෙනි. දියුණු මිනිසුන් නිර්මානය වන්නේ දියුණු සංස්කෘතීන් හරහා ය. පරිසරය ගැන, සමාජය ගැන, සමීප මිනිසුන් ගැන වගවීම වගකිව යුතු මිනිස්භාවයක මූලික ලක්ෂණ වේ. සමාජය වෙනස් කිරීමෙහිදී එබඳු මිනිසුන්ගේ සාමූහික මෙන් ම පුද්ගල මැදිහත් වීම් ද වැදගත් ය.
ගතානුගතික වාමාංශිකයන් හැම විට ම සාමූහිකත්වය දකින්නේ පක්ෂය හා පක්ෂයට අනුබද්ධ බහුජන සංවිධාන තුළ ය. වෙනත් සාමූහිකත්වයන්ගේ හරයක් දැකීමට ඔවුහු අසමත් වෙති.
සමාජය වෙනස් කිරීමෙහි ලා මෙම පුවරුවේ දැක්වෙන ආකාරයේ ක්ෂුද්‍ර‍ සමාජ මැදිහත්වීම් ඉතා වැදගත් ය. ඒවා සමාජයේ බුද්ධිමය හා ආකල්පමය සංවර්ධනයට ඉවහල් වන අතර, අවසානයේදී මහේක්ෂ සමාජ දේශපාලන වෙනස්කම් සිදු කරන සමූහ මැදිහත්වීම්වලට ශක්තිය ලබා දෙයි. හතර වටේ කාරා කෙළ ගසන, අතන මෙතන කුණු දමන, අපිරිසිදු, කන-බොන-යන-එන-අඳින-පළඳින-හැටි නොදත්, නූගත්, අමන මිනිසුන් සමග විප්ලව කළ නොහැක.

Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප