සිලෝන් ටී සන්නාමය විනාශ කරන තේ කම්හල් ආරක්ෂාවට ඇමති නවීන් දිසානායක?


ලංකාවේ තේ කර්මාන්තයේ අනාගතය අඳුරු වෙමින් තිබේ. එයට මූලික හේතුව අධික ලාභ පසුපස හඹා යන, ආචාරධර්ම තඹයකට මායිම් නො කරන ව්‍යාපාරිකයන් ය.
ලංකාවේ තේවලට කසල තේ හා වෙනත් රටවලින් ආනයනය කරන බාල තේ කලවම් කර ගුණාත්මකභාවයෙන් අඩු තේ ලෝක ප්‍රකට සිලෝන් ටී සන්නාමයෙන් පිටරට පැටවීම එක පැත්තකින් සිදු වේ. දිගු කලක් තිස්සේ සිදු වන මෙම දේශද්‍රෝහී වංචාව වැළැක්වීමට රජය පැත්තෙන් මෙන් ම කර්මාන්තය පැත්තෙන් ද හරි හමන් පියවරක් ගෙන නැත.
අලුත් ම ජාවාරම තේවලට සීනි මුසු කිරීමයි. මෙය කිරීමෙන් එක පැත්තකින් තේවල බර වැඩි කර ගන්නා අතර, අනෙක් පැත්තෙන් තේ කොළ වල කැරලි ගතිය වැඩි කර ගැනීමට ද හැකි ය.
තේ කොළවලට මිශ්‍ර කිරීමට යොදා ගන්නේ පකිස්ථානය වැනි රටවලින් ආනයනය කරනු ලබන ඉතා බාල තත්වයේ, ඇතැම් විට ඉවත දමන ලද වන සීනි වර්ග බව තතු දත් ආරංචි මාර්ග පවසයි.
පසුගියදා ජපානයේදී ශ්‍රී ලංකාවේ තේවල තිබෙන විෂ රසායනිකයක් සම්බන්ධ සොයා බැලීමකදී අනුමාන කර ඇති පරිදි එම රසායනිකය තේවලට එක් වී තිබෙන්නේ මේ බාල සීනි නිෂ්පාදනයේදී යොදා ගනු ලබන කෘෂි රසායනික හේතුවෙන් බව අනුමාන කරන බව ද කර්මාන්තය හා සම්බන්ධ ආරංචි මාර්ග පවසයි. එම කෘෂි රසායනිකය ශ්‍රී ලංකාවේ භාවිතා නොවන්නකි.
තේවලට සීනි මිශ්‍ර කරන ක්‍රියාවලිය හේතුවෙන් පිළිකාකාරක නිෂ්පාදනය වන බවට ද මතයක් ඇත.
පසුගිය පෙබරවාරියේදී ගාල්ල, රත්නපුර හා මාතර යන දිස්ත්‍රික්කවල තේ කම්හල් 80 ක තේ මණ්ඩලය විසින් කරන ලද හදිසි, රහසිගත වැටලීමකදී කම්හල් 53ක තෙත් සාම්පලවල සීනි මිශ්‍ර කර ඇති බව සොයා ගන්නා ලදී.
මෙම කම්හල් අතර දේශපාලකයන්ට ළඟ සම්බන්ධකම් ඇති කම්හල් ද වේ.
නීතිය අනුව මේ තේ කම්හල්වල බලපත්‍ර අහෝසි කළ යුතුව ඇතත්, එවැන්නක් සිදු වී නැත. වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක මෙම පරීක්ෂණයට බලපෑම් කරන බව වාර්තා වේ. වැරදිකරුවන්ට එරෙහිව පියවර ගැනීම වෙනුවට දැන් පරීක්ෂණයට හා එය කළ අයට එරෙහිව පියවර ගැනීමට පිඹුරුපත් සැකසෙමින් තිබෙන බවට චෝදනා එල්ල වේ. මේ වන විට එම පරීක්ෂණය සම්බන්ධ පසු විපරමක් සිදු වෙමින් ඇති බව වාර්තා වේ.
මේ අතර, වැරදි කළමනාකරණය නිසා පාඩු ලබමින් සිටින, ශ්‍රම හිඟයට පිළියම් සොයා ගැනීමට අසමත්, රජයේ ඉඩම්වල ඇති පෞද්ගලික වතු සමාගම්වල උවමනාව මත දැන් තේ, රබර් කර්මාන්තය සඳහා ග්ලයිෆොසේට් යෙදීමට නැවත අවසර දීමට රජය පියවර ගෙන තිබේ.
මේ වනාහි සිලෝන් ටී පමණක් නොව, ලංකාවේ තේ වතු, රබර් වතු ආසන්නයේ ජීවත් වන ජනයාගේ ජීවිත ද අනතුරේ හෙළන අමනෝඥ පියවරක් විය හැකි ය.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා