බණ්ඩාරට ජීවය දීම
තමන්ගේ සමීපතමයකු මිය යන එක ඕනෑම කෙනෙකුට වේදනාවක්. බේරා ගත හැකිව තිබුණු ජීවිතයක් ප්‍රමාදය, නොසැලකිල්ල, වගකීම් විරහිතකම වැනි හේතු නිසා නැති වුණාම ඒ වේදනාව දෙගුණ, තෙගුණ වෙනවා.
ලංකාව නිදහස් සෞඛ්‍ය සේවයක් තිබෙන රටක්. හැබැයි, ලංකාවෙ නිදහස් සෞඛ්‍ය සේවයේ ප්‍රධාන කාර්යය වන්නේ මහජනතාවට සෞඛ්‍ය සේවා සැපයීම ද නැතිනම් එහි නිලධාරීන්ට වැටුප් හා වෙනත් වරප්‍රාද ලබා දීම ද කියන එක ප්‍රශ්නයක්. කොහොම වුණත්, දෙවෙනි කාරණය වුණත් කරන්නේ පළමු කාරණයට මුවා වෙලා නිසා, ඇතැම් ධාරිතාවන් වර්ධනය කරන්නට සෞඛ්‍ය අංශවල අවධානය යොමු විය යුතුයි.
බ්‍රිතාන්‍යයේ ජීවත් වන ලාංකික වෛද්‍යවරයකු වන පියල් පෙරේරාගේ සොයුරා පසුගිය දිනෙක අභාවප්‍රාප්ත වුණේත්, පහසුවෙන් ගොඩනැගිය හැකි ඇතැම් ධාරිතාවන් ගොඩනැගීම පමා වීම නිසායි. පහත පළවන්නේ සොයුරාගේ වියෝවේ වේදනාවත් සමග පියල් විසින් මුලපුරන ලද කාර්යයක් පිළිබඳවයි. ඔබත් එයට එක් වන්නට කැමති ද? ඔබටත් විවිධාකාරයෙන් උපකාර කරන්නට පුළුවන් ඇති. උදාහරණයක් විදියට මට පුළුවන් මෙහි සඳහන් වන වෙබ් පිටුව නිර්මානය කරන්නට සිංහල පර්වර්තන වගේ දේවලින් උපකාර කරන්නට. සමාජය වෙනස් කරන්නට පුංචි පුංචි දේවලිනුත් ලොකු මැදිහත් වීමක් කරන්නට පුළුවන්.
මගේ නම පියල් පෙරේරා.වෘත්තියෙන් ප්‍රසව සහ නාරීවෙදියෙක්.මගේ මල්ලි බණ්ඩාර වයස 47 දී අවාසනාවන්ත හදිසි මරණයකට ගොදුරු වුණා, 25.03.2018 දින.
මගේ මල්ලිගේ ජීවිතය බෙරාගන්න හැම දෙනාම කැප වුණත් බැරි වුණා. එතනදී සම්පත් අඩුකමවත් කාගේවත් වැරැද්දක්වත් මා දකින්නේ නැහැ.
මේ තිබෙන සම්පත් සැලසුම් කිරිම මගින් මගේ අනෙක් මල්ලිලාව මරණයෙන්බේරා ගන්න හැකි වේ යයි සිතනවා.
1.මොරවක දිසා රෝහලෙන් මාතර දිස්ත්‍රික් මහරෝහලට මාරු කිරීම.
මාතරදි මගේ මල්ලිට එන්ඩොස්කොපි පරීක්ෂණය පැය 24 ක් තුල කිරීමට පහසුකම් නැති වුවද කරාපිටිය ශික්ෂණරෝහලේ එම පහසුකම ඇත. මොරවක සිට මාතරට කිලෝ මිටර් 46 කි. කරාපිටියට කිලෝ මිටර් 61කි. වෙනස 15 කි. කාලය වෙනසද විනාඩි 15 කි. එම කිලෝමීටර් සහ මිනිත්තු 15 කරාපිටිය දෙසට යොමු වූවා නම් අදත් මල්ලි ජීවතුන් අතරය.
2.මාතරදී මල්ලිව ඇතුළත් කළේ වෛද්‍ය වාට්ටුවකටය. එනිසා අත්‍යවශ්‍යවම වූ ශල්‍ය වෛද්‍ය යොමු කිරීම පරීක්ෂාව නිර්දේශ සහ ප්‍රතිකාර නොලැබි යාම.
3.මල්ලීගේ තත්වය වෙනස්වන විට නැවත පරීක්ෂාවක් ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයකු අතින් සිදුනොවීම නිසා දෙවන වර සිදු වූ අධික රුධිර වහනය තක්සේරු කිරීම සහ පිළියම් කිරීම මගහැරීම.
4.අධික රුධිර වහනය නිසා හදවතේ ක්‍රියාකාරිත්වය නැවතුන විට එය නැවත පණ ගැන්වීමේ ක්‍රියාවලිය වූ මූලික සහ උසස් ජීවිත සහය (basic and advanced life support) ඉතාමත් දුර්වල සහ අසංවිධානාත්මක වීම.
5.පශ්චාත් මරණ පරීක්ෂණයක් නොතිබීම නිසා මරණයට හේතුව දැනගැනීමට නොහැකිවීම.
මල්ලිගේ මරණයට කිසිවකු පුද්ගලිකව වගකිව යුතු නොවේග හැමෝම තම උපරිම සහය ලබාදුනි. අපගේ සේවාවේ තිබුණාවූ සියලු අඩුලුහුඩුකම් එක පෙළට ඒක රේඛීයව සිට ගැනීම ඔහු මරණය කරා යොමු කළා. (cheese cake effect).
මගේ මල්ලිටනැවත ජීවයදීම මගේ අරමුණයි.
ඒ වෙනුවෙන් පහත තිබෙන බෙහෙත් නිසි තැන්වලට ලබාදී මේ සත්කාරයට දායකවන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිමි.
1.තම රෝග ලක්ෂණ අනුව තමා ගතයුතු ක්‍රියාමාර්ග විස්තර කරන එංගලන්තයේ NHS choice වෙබ් පිටුව වැනි වෙබ් පිටුවක් සිංහල දෙමල සහ ඉංග්‍රිසි බස්වලින් 25.03.2019 දින එලිදැක්වීම. ඒ සදහා රාජ්‍ය සහ රාජ්‍ය නොවන අනුග්‍රහය මා හට ලබාදෙන්න.
2.පහළ මට්ටමේ රෝහලකින් ඉහල මට්ටමක රෝහලකට රෝගියකු මාරු කර යැවීමේදි එකී දෙවැනි රෝහල දුර මත නොව රෝගියාට වුවමනා ප්‍රතිකාර ලබාදීමට පහසුකම්ඇති රෝහල බවට වග බලාගන්නා චක්‍රලේඛයක් නිකුත්කරවා ගැනීමට බලකිරීම.
3.රෝගී ප්‍රකිකාර කිරිමේදී උදව් කර ගත හැකි ගැලීම් සටහන් සහ ඇල්ගොරිදම් වසරක කාලයකින් නිම කිරීම. මේ සදහා පශ්චාත් උපාධි සඳහා පුහුණුවන වෛද්‍යවරුන් යොමු කරන ලෙස වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයට නියම කිරීම සහ බල කිරීම. රට පුරාම එම සටහන් අනුගමනය කරන ලෙස චක්‍රලේඛ නිකුත්කිරීම.
4.සංකීර්ණ රෝග තත්වයන්හිදී රෝගියා ඇතුළත්කොට පැය 4ක් ඇතුළත අදාළ සියලු අංශ මගින් රෝගියා පරීක්ෂා කොට රෝගියාගේ ප්‍රතිකාර සැලැස්ම තිරණය කිරීම.
උදාහරණ ලෙස මල්ලි මාතරට ඇතුලත් කළ මොහොතේ මුලික ප්‍රතිකාර ඒකකයතුළදි ශල්‍ය සහ කායික යන අංශ දෙකේම වෛදවරුන් විසින් පරීක්ෂා කොට පැය 24 ක්තුළ එන්ඩොස්කොපි පරීක්ෂාව කිරීම සඳහා මාතර පහසුකම් නොමැති නම් කරාපිටියෙන් උපදෙස් පැතිය යුතුය. ඒ අනුව කරාපිටිය වෙත ඒ මොහොතේම යැවිය හැකිව තිබූනි.
5.සංකිර්ණ රෝගීන් දිනපතාම විශේෂඥ හෝ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයා විසින් පරීක්ෂා කිරීම අනිවාර්ය කිරිම එසේ නොවන අවස්ථාවල විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බව දැනුවත් කිරීම.
6.පොරොත්තු සේවයේ යෙදන වෛද්‍යවරුන්ගේ උපරිම පොරොත්තු සේවා කාලය පැය 12ට සීමා කිරිම. එම කාලය තුළ ඔවුන් පහසුවෙන් හඳුනාගත හැකි නිල ඇදුමකින් රෝහල තුල සිටීම අනිවාර්ය කරන ලෙස රජයට බල කිරිම. එසේ කිරීමට අපහසු ආයතන සහ අවස්ථාවලදි ඒ සඳහා වෙන් වූ විශේෂ අවසරයක් ඇමතිවරයාගෙන් ලබාගතයුතු අතර ඒ බව ජනතාවට දැන ගැනීමට හැකිවන පරිදි කටයුතු කිරිමට බලකර සිටීම.එක් එක් ඒකකවල සිටියයුතු වෛද්‍යවරුන් ප්‍රමාණය නැවත විමසීම.
7.සෑම රෝහලකම on call advanced life support team අනිවාරය කළයුතු අතර ඔවුන් තමන්ගේ සාමාන්‍ය දෛනික කටයුතුවල යෙදෙමින් වුවමනා වූ විට සේවය ලබා දෙනු ඇත. එසේම එක්වරම නොපමාව ඔවුන් සේවයට ගෙන්වා ගන්නා ක්‍රමයක් ආයතනයට ගැලපෙන අයුරින් සකසා ගතයුතුය.
8.සියලුම සෞඛ්‍ය සේවකයනට වාර්ෂිකව Basic life support training ලබා දිය යුතුඅතර එසේ නොවන අයගේ වැටුප් වර්ධක අත්හිටවිය යුතුය.
9.සියලුම වෛද්‍යවරුන් වාර්ෂිකව නියමිත CPD points ලබාගත යුතු අතර ඒසේ නොවන විට වැටුප් වර්ධක හෝ ලියාපදංචිය තාවකාලිකව අත්හිටවිය යුතුය
10. සියලුම සෞඛ්‍ය සේවකයනට වාර්ෂික ඇගයීම් ක්‍රමයක් ආරම්භ කළ යුතුය.
11.බරපතල සිදුවීම වාර්තා කිරිම පරීක්ෂා කිරිම මගින් නැවත නොවීමට පිලියම් නිර්දේශ කිරිමේ ක්‍රමයක් සහිත no blame culture ස්ථාපිත කළ යුතුයි.
12. පෞද්ගලික හෝ දේශපාලන ඉල්ලිම් මත මරණ පරික්ෂණ නොපැවැත්වීම නීතිවිරෝධි යයි නම් කළ යුතුය.
බණ්ඩාරට ජීවයදීමේ කටයුත්ත වෙනුවෙන් පහත දේ කලහැක.
- බණ්ඩාරට ජීවයදීමේ ක්‍රියාවලිය මෙහයවීම උපදෙස් දීම නිරීක්ෂණය සංවිධානය සහ සම්බන්ධීකරණය වෙනුවෙන්වූ ආයතනයක් පිහිටුවීම ලියාපදිංචිය නීතිගත කිරීම සහ පවත්වාගෙන යාම.
- මේ කටයුත්තට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ලබාදිම වෙනුවෙන් නගර සභාව, ප්‍රාදේශීය සභාව, පළාත් සභාව, පාර්ලිමෙන්තුව, පක්‍ෂය, වෘත්තීය සමිතිය, සිවිල් සංවිධානය තුළ හඩ නැගීම.
- වෙබ්පිටුව සැකසීම mandatory training/appraisals/CPD diary and basic life support training සදහා කාලය සහ දැනුම යෙදවීම.අනුග්‍රාහකයන් සොයාදීම.
- කිසිම ආයතනයක් හෝ පුද්ගලයෙක් විවේචනය කිරිමෙන් වැළකී මළවුන්ගෙන් පාඩම් ඉගෙනගෙන ජීවිත රැක ගැනීමට ඔවුන්ට උදව් කිරීම.
මෙවන් විපතක් නැවත නොවීමට සැවොම මා හා එක්වන්න
ස්තුතියි

Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.