රජුනුත් එපා! ජනරාල්වරුනුත් එපා! අපට ඕනෑ සිවිල් පාලකයන්


අජිත් පැරකුම් ජයසිංහ -

සරත් ෆොන්සේකා යුද්ධයේ ශූරයෙකි. රාජපක්ෂවරු දේශපාලයෙහි නිපුණයෝ වෙති. මෙම සටහන ලිවීමට මොහොතකට පෙර මම ඩී.බී.එස්. ජයරාජ් රාජපක්ෂලා සහ ෆොන්සේකා අතර ගැටුම පිළිබඳ අනගි ලිපියක් කියැවීමි. එය කියැවූ මට සිතුණේ රාජපක්ෂවරු සරත් ෆොන්සේකාට එරෙහිව මාධ්‍ය මෙහෙයුම කෙතරම් සියුම් ලෙස සැලසුම් කරමින් සිටින්නේ ද යන්නයි. ඩී.බී.එස්. ජයරාජ් වැනි දෙමළ සමාජයේ මෙන් ම ඉංග්‍රීසි හා සිංහල භාෂාවලින් මාධ්‍ය පරිහරණය කරන්නන් අතර ද ජනප්‍රිය පුද්ගලයකු සරත් ‍ෆොන්සේකා පිළිබඳ ඝනීභූත වී තිබුණු මාධ්‍ය භාවිතාව දිය කිරීම ආරම්භ කිරීම හා චෝදනා පිරි ෆොන්සේකාගේ ඉල්ලා අස් වීමේ ලිපියට පසුව පිළිතුරු දෙන බව කී ජනාධිපතිවරයා ඇතුළු පාලක පිරිස තවමත් නිහඬව සිටීම අහඹු සිදු වීම් යයි සිතිය නො හැකිය. ජනාධිපති පදවිය අපේක්ෂා කරන සරත් ෆොන්සේකා ඉදිරියේ ඇත්තේ යුද්ධයෙන් ප්‍රභාකරන් පරාජය කිරීමටත් වඩා දුෂ්කර අභියෝගයක් බව මෙවැනි සියුම් මාධ්‍ය මෙහෙයුම් ඔස්සේ ප්‍රකාශ වේ.


සරත් ෆොන්සේකාගේ සහායකයන් විසින් ඔහු තුළින් මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව ලෙලවීමට සැරසෙන ප්‍රබල ම අවිය වන 'දූෂණයෙන් තොර නිකැළැල් චරිතය' පිළිබඳ ප්‍රශ්න කිරීමක් පවා ඩී.බී.එස්. ජයරාජ්ගේ ලිපියෙහි තිබේ. දූෂණය රාජපක්ෂ පාලනයේ ප්‍රධාන ම ගැටළුව ලෙස ඉස්මතු කෙරුන ද ඇත්ත වශයෙන් ම ගතහොත්, දූෂණය නැති කළ හැකි පාලනයක් ඇති කිරීම සඳහා අවශ්‍ය දේශපාලන අමුද්‍රව්‍ය ලංකාවේ නැත. දැනට බිහි‍ වෙමින් තිබෙන එක්සත් ජාතික පෙරමුණ වැනි සන්ධානවල මුල් පුටු හොබවන්නේ දූෂණයේ කප්පිත්තෝ ය. මෙම සන්ධානවල ප්‍රධාන ඉලක්කය වී තිබෙන්නේ නව දේශපාලන බලවේග කරළියට ගෙන ඒම නොව දැනට ආණ්ඩුවේ සිටින පල් හොරුන්ට කල් යල් බලා පිල් මාරුවට පසුබිම සකසා දීමයි.


නායකයන් විසින් පෙන්නුම් කරන අල්පේච්ඡ ජීවිත හේතු කරගෙන දූෂණයේ නො යෙදෙන බවට ජනතාව අතර යම් විශ්වාසයක් දිනාගෙන ඇති ජවිපෙ සරත් ෆොන්සේකාගේ ජනාධිපති අපේක්ෂකත්වයට සහාය දැක්වීම සුවිශේෂ ය. එහෙත්, ජවිපෙ මූලික උවමනාව වන්නේ ඉදිරි මහ මැතිවරණයකදී සිය ආසන සංඛයාව බරපතළ අන්දමින් කඩා වැටී දුබල තත්වයකට පත් වීම වළක්වාගෙන බලයක් සහිතව ප්‍රධාන ධාරාවේ දේශපාලනය තුළ රැඳී සිටීම මිස අන් යමක් නොවේ. රටට පෙර පක්ෂය පිළිබඳ සිතීම හා රටට හෙණ ගැසුවත් කමක් නැත කියා පක්ෂය ගොඩ දා ගැනීමට ක්‍රම සෙවීම දූෂණයක් නො වන්නේ කෙසේදැයි ජවිපෙ පැහැදිලි කළ යුතු ය.


සරත් ෆොන්සේකා දැඩි උන්නතිකාමයකින් හා මමංකාරයකින් යුත් පුද්ගලයකු බව පෙන්වා දීම අප ඉහත සඳහන් කරන ලද ජයරාජ්ගේ ලිපියෙහි අරමුණයි. එසේ ම ගෝඨාභය රාජපක්ෂගේ වෘත්තිකභාවය හා මහින්ද රාජපක්ෂ‍ ජනාධිපතිවරයාගේ දේශපාලන නායකත්වය ජයරාජ් විසින් අගය කරනු දක්නට ලැබේ. දැන් රට ඉදිරියේ ඇති ප්‍රශ්නය වන රාජපක්ෂ ද ෆොන්සේකා ද තේරීමෙහිදී එක් කලෙක රාජපක්ෂ තෝරා ගන්නැයි රටට කී ජවිපෙ ම දැන් ෆොන්සේකා තෝරා ගන්නැයි කියමින් සිටිති. ජවිපෙට අනුව 2009 මැයි 18 ප්‍රභාකරන්ගේ පරාජයෙන් පසු ලංකාවේ තිබෙන ප්‍රධාන ගැටළුව රාජපක්ෂවරුන්ගේ පාලනයයි.


විස්තෘත රාජපක්ෂ පවුලේ හා නෑදෑ හිතවතුන්ගේ සීමාන්තික උන්නතිකාමය ලංකාවේ දේශපාලනය වසා පැතිරෙමින් ඇති දැවැන්ත ගැටළුවක් බව සත්‍යයකි. රජ පවුලක් සේ තමන් උත්කර්ෂයට නඟා ගනිමින් ලාංකීය ගැමි සමාජයේ පසුගාමිත්වයන් මත යැපෙමින් බලයෙන් වැඩෙමින් සිටින රාජපක්ෂ රෙජීමය වෙනස් කිරීම සඳහා ජවිපෙ සහ එක්සත් ජාතික පක්ෂය විසින් යෝජනා කරමින් සිටින්නේ මේ රාජ විකාරවලට වඩා භයානක හමුදා මනසක් වීම මෙහි ඇති බරපතල ම ගැටළුවයි. සරත් ෆොන්සේකාගේ හමුදා දිවිය ඔප වී ඇත්තේ දැඩි මිලිටරි ආඥාදායකත්වයකිනි. කොටි සංවිධාන‍යට එරෙහි යුද්ධය දිනා ගැනීමෙහිදී මෙය ලංකාවේ රජයට මහෝපකාරී වූ බවට කිසිදු විවාදයක් නැත. කොටි සංවිධානයේ පරාජයේ ප්‍රධාන කුළුණු දෙකක් වන්නේ ඔහුගේ යුද නායකත්වය හා රාජපක්ෂවරුන්ගේ දේශපාලන නායකත්වයයි. යුද්ධය දිනීම සඳහා මෙම දෙපාර්ශවය ම උපරිමයෙන් සිය සායකත්වය සපයා තිබේ. දැන් ඇත්තේ පශ්චාත් යුද කාලීන දේශපාලන නායකත්වය වෙනුවෙන් මේ දෙපාර්ශ්වය ම යළි යුද වැදීමයි. 


පශ්චාත් යුද කාලීන ලංකාවේ සාමය හා සංවර්ධනය චිරස්ථායී කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග ගැනීමට රජය අසමත් වී තිබෙන බව සත්‍යයකි. දැන් විපක්ෂය සූදානම් වන්නේ එහි මුළු වගකීම ම රාජපක්ෂ පාලනය පිට පැටවීමටයි. එහෙත්, වන්නියෙන් අවතැන් වූ සිවිල් වැසියන් ඔවුන් අතර සැඟවී සිටින කොටි සාමාජිකයන් හඳුනා ගැනීමේ මුවාවෙන් දීර්ඝකාලීනව සිර කඳවුරුවල රඳවා ගැනීමේ හා ඒ ඔස්සේ රජය හා දෙමළ ජනතාව අතරත්, රජය හා ජාත්‍යන්තර ප්‍රජාව අතරත් අර්බුදයක් ඇති කිරීමේ වගකීමෙන් විශාල පංගුවක් දැන් විපක්ෂයේ පොදු අපේක්ෂකයා වීමට යෝජිත සරත් ෆොන්සේකාට ද හිමි වේ. හමුදාව තුන් ලක්ෂයක් දක්වා වැඩි කර ලක්ෂයක් වන්නියේ රැඳවීමට හා එහි ජන විකසනය වෙනස් වන පරිදි හමුදා පවුල් පදිංචි කිරීමට උවමනා වූයේ ඔහුටයි.


ලංකාවේ සාමය හා සංවර්ධනය චිරස්ථායී කළ හැක්කේ හුදෙක් ම දූෂණය නැති කිරීමෙන් නොවේ. දූෂණය ධනවාදයේ ඓන්ද්‍රිය ලක්ෂණයකි. ධනේශ්වර යහපාලනයකින් සිදු වන්නේ දූෂණය යම් තරමකට පාලනය කිරීම පමණි. ලංකාවේ සාමය හා සංවර්ධනය සඳහා වඩාත් අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමයි. ජාතීන් අතර ඇති ගැඹුරු විරසකයන් සමනය කළ හැක්කේ රාජ්‍යය තුළ සුළුතර ජාතීන්ට සම අවස්ථා ලැබෙන රාජ්‍ය ප්‍රතිසංස්කරණයකිනි. ජන ජීවිතය සාමාන්‍ය තත්වයට පත් කළ හැක්කේ ආරක්ෂක අංශවල ප්‍රඩණ්ඩ හැසිරීම්වලට හේකු වන හදිසි නීතිය ඇතුළු මර්දන නීති හැකිළීමෙනි. ජනතාව සවිබල ගැන්වීමට නම් විධායක බලතල අඩු කර ව්‍යවස්ථාදායකය ශක්තිමත් කල යුතු ය. පළාත් පාලන පද්ධතිය විධිමත් කළ යුතු ය. සිවිල් පරිපාලනයේ කාර්යක්ෂමතාව නැංවිය යුතු ය. නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කළ යුතු ය.


විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස හමුදාවේ හිටපු ජනරාල්වරයකු පත් කිරීම හරහා මෙම කාර්යයන් සාධනය වන්නේ කෙසේ ද යන්න විපක්ෂ දේශපාලන පක්ෂ විසින තවමත් පැහැදිලි කර දී නැත. රජුන් පළවා හැරීමට ජනරාල්වරුන් තෝරාගැනීම ඉඟුරු දී මිරිස් ගැනීමක් නො වන්නේ කෙසේදැයි විශේෂයෙන් ම ජවිපෙ විසින් පැහැදිලි කර දිය යුතු වේ. මේ රටේ ජනතාවට අද අවශ්‍ය වී ඇත්තේ රජවරු හෝ ජනරාල්වරු නොව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සිවිල් පාලකයින් ය.


Comments

  1. ‍මෙ‍ කියන්නෙ සහතික ඇත්ත, හුග දෙනෙක්ට කික්ක වුනක්!

    යසකාව්

    ReplyDelete
  2. Article eka agaya kala Yuthui. But getaluwa thiyenne lankawe minissunge parinatha Political habit ekak nethi kamai. Owun ithamath prathamika sadaka salaka bala thamai vote karanne. ex: Mahinda Rajapakse sarama adeema and Ranil fullkit adeema.

    Rate Hetiyatai palakayo....

    "Deyak Wenam Sudussatama labiya yuthumaya"

    Lankawe Neme???????

    ReplyDelete
  3. ඇත්ත, රනිල් තමා ජනාධිපතිකමට සුදුසුම.

    ReplyDelete
  4. ඔක්කොම රජවරු වෙන්නයි බලාපොරොත්තුව.
    ලංකාවේ දේශපාලනයේ ඔය කියන සිවිල් වැසියන් නෑ.
    ඔක්කොම බොරු කාරයො විතරයි දේශපාලනයේ ඉන්නෙ. බොරු නොකොරොත් දේශාපාලනෙ ඉන්නත් බෑ.
    ඒ ගොඩට සරත් ෆොන්සෙකත් එකතු වෙන්නයි යන්නෙ. ඒක එයාගෙ කැමැත්ත.

    ReplyDelete
  5. good political review. It doesn't say that Ranil is the most suitable man and he is not. Even he does not believe he is so..that is why he told yesterday that he is directly supporting Sarath Fonseka. People should decide whether we need a military government or a Democratic government.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා