බුදු හිමි, මහනායකවරු හා අලි

අජිත් පැරකුම් ජයසිංහ විසිනි
පසුගිය දින කීපය අලින් සම්බන්ධ සිදුවීම් නිසා අලි වැදගත්කමක් ගත්තේය. මෙම සිදුවීම් හුදු වනජීවී දෙපාර්තමේන්තුවට පමණක් අදාළ වන කාරණා නොවන දේශපාලනික වශයෙන් වැදගත් සිද්ධි ය. සමාජ යටිතලයේ පවත්නා අර්බුද රැසක් මෙම සිද්ධි ඔස්සේ හඳුනාගත හැකිය.

සීගිරියේ මිනීමරු අලින්ට විරුද්ධව ප‍්‍රදේශවාසීන් පිකටිං කළ අතර, අවසානයේදී වනජීවී දෙපාර්තමේන්තුව අලියකු අල්ලා ප‍්‍රදේශයෙන් පිටුවහල් කළේය. එහි අලි මිනිස් ගැටුමින් මරණ දෙකක් සිදු වූ අතර නිවාස හයකට වඩා අලින් විසින් කඩා බිඳ දමන ලදී. සීගිරියේ 1990 සිට ප‍්‍රකාශයට පත් කර තිබෙන අලි අභය භූමියක් තිබේ. එම අභය භූමිය තුළ ගම්මාන 18ක පෞද්ගලික ඉඩම් ඇත. දැන්, දැන් ඒවායේ ළඳු කැළෑ කපා දමමින් සංචාරක්‍ හෝටල්, නිකේතන හා නිවෙස් ආදිය ඉදිවෙමින් ඇත. ඒ සංචාරකයන්ට සීගිරි අප්සරාවන් හා අලින් පෙන්නා මුදල් උපයා ගැනීමටයි. තවත් ඉඩම්වල මිනිසුන්ගේ වගාවන් ය. අලින්ට කන්නට කෑම නැති වන්නේ ද, බවබෝග පාළු කරන්නට සිදු වන්නේ ද මිනිසුන් ජීවත් වන ප‍්‍රදේශවල සැරිසරන්නට සිදු වන්නේ ද ඒ හේතුවෙනි.


දෙහිවල සතුන් වත්තේ අලියකු අලි සෙල්ලම් පෙන්නීමට යන අතරතුර සිය ගොව්වාට පහර දී තුවාල සිදු කළේය. ස්වාභාවිකව, දිනකට සැතපුම් ගණනාවක් වනයේ සැරිසැරීමේ පුරුද්දක් ඇති මේ දැවැන්ත සතුන් පර්චස් කීපයක බිම්කඩක දම්වැල්වලින් බැඳ, හෙණ්ඩුවේ බලයෙන් මිනිසුන් කැමැති සෙල්ලම් ප‍්‍රදර්ශනය කරමින් මුදල් ඉපයීම සතුන් වත්තේ ආර්ථික පරමාර්ථයයි. නගරවල කොන්ක‍්‍රීට් වනාන්තරවල ජනයා මෙන් ම සීගිරියේ අලින්ගෙන් බැට කන මිනිස්සු ද බත් බැඳගෙන මේ අලි සෙල්ලම් බැලීමට එති.


‘මව් ඇතින්නියක් විලාප දෙද්දී කිරි බොන වයසේ පැටවුන් දෙදෙනා පින්නවලින් රැගෙන ගිහින්‘ යන සිරසින් දිවයින පුවත්පතේ ජුලි 28දා පුවතක් පළ විය. ජුලි 18දා රාත‍්‍රි පින්නවල අලි අනාථාගාරයේ කලබලකාරී තත්වයක් ඇති කරමින් මවු ඇතින්නන්ගෙන් වෙන්කොට බලහත්කාරයෙන් රැුගෙන යන ලද ළාබාල ඇත් පැටවුන් දෙදෙනෙකු මේ වන විට දළදා මාලිගා පරිශ‍්‍රයෙහි ගරාජයක් තුළ රඳවා ඇති බව දිවයින පුවත්පත වාර්තා කළේය.  එම පුවතින් කෝපයට පත් වූ මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ‍්‍රී සුමංගල සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම බුද්ධරක්�ත මහනාහිමිවරුන් 29දා දිවයිනට නිවේදනයක් එවා තිබිණි.


‘වර්තමානයේ හීලෑ ඇතුන්ගේ සංඛ්‍යාව 120 කට පමණ සීමා වී ඇති අතර, එයින් 90 දෙනකු පමණ වැඩිවිය පත් අලි ඇතුන් වෙයි. ඒ නිසා ආගමික මෙන්ම සංස්කෘතික වටිනාකමක් ඇති පෙරහැර මංගල්ලයන්ට යොදා ගත හැකි අලි ඇතුන් සංඛ්‍යාව අතිශයින් දුර්වල වී ඇත. මේ නිසා ඇති වී ඇති දුෂ්කරතාවන් හඳුනාගත් රජය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත මෙම ප‍්‍රදානය සිදුකරන බව රහසක් නොවේල යයි පවසන මෙම නිවේදනය තුළ මහනායක හිමිවරුන් සිය කෝපය ප‍්‍රකාශකරන්නේ මෙසේය. ‘අලි ඇතුන් මරා දමන විට දැඩි හඬක් නොන`ගන පරිසරවේදීහු ශ‍්‍රී දළදා මාලිගාවේ හා සෙසු දේවාලවල පෙරහැර මංගල්‍යයන්ට යොදා ගැනීම සඳහා ප‍්‍රදානය කිරීමට තෝරාගෙන තිබූ ඇත් පැටවුන් දෙදෙනා රැගෙන ඒම කෙරෙහි විරෝධය දැක්වීමේදී පෙනී යන්නේ ඔවුන් අපේ බෞද්ධ ආගමික සංස්කෘතික මංගල්‍යයන් සාම්ප‍්‍රදායික ලෙස පවත්වා ගෙන යැම නො ඉවසන පිරිසක් බවයි.‘


අප දන්නා තරමින් නම් පරිසරවේදීන් අලි ඇතුන් ඝාතනය කිරීමට එරෙහිව දැඩි විරෝධයක් දක්වා තිබේ. ලංකාවේ වල් අලින් පමණක් නොව හීලෑ අලින් පවා වඳ නොවී ඉතිරිව සිටින්නේ පරිසරවේදීන්ගේ හඬ නිසා ය. පරිසරවේදීන්ට යම් යම් ලේබල් ඇලවීමෙන් ඔවුන්ට එරෙහිව බෞද්ධ සැදැහැවතුන් කුපිත කළ හැකිය. බොහෝ පරිසර සංවිධාන රාජ්‍ය නොවන සංවිධාන වන බැවින් ඔවුන්ට සුපුරුදු එන්.ජී. ඕ ලේබලය වුව ඇලවීමට පුළුවන.


උචිතෝන්නතිය නැතිනම් යෝග්‍යතමයා පමණක් බේරෙන කැළේ නීතිය අනුව, වඩා ප‍්‍රබලයා වන මිනිසාට  ඕනෑනම් අලියා වඳ කර දැමීමට පුළුවන. එහෙත්, මිනිස් ශිෂ්ටත්වය යනු සොබාදහමේ තුලනය රැක ගනිමින් සිය ආධිපත්‍යයද පවත්වාගැනීමයි. අලින් මරා දැමීමට එරෙහිව නීති සම්පාදනය වී ඇත්තේ එහෙයිනි. පරිසරවේදීන් සත්ව හිංසනයට විරුද්ධ වන්නේ මෙකී මිනිස් ශිෂ්ටත්වය මත පදනම් වෙමිනි.

අලින් යදමින් බැඳ, හෙණ්ඩුවෙන් ඇණ විවිධ කටයුතු සඳහා යොදාගැනීම බුදුන් කිසි සේත් අනුමත නොකළ හිංසන ක‍්‍රියාවකි. එය එසේ නොවේ යයි තර්ක කළ නොහැක. එහෙත් ආගමක් යනු හැමවිටම එහි දාර්ශනික මූලධර්ම මත ම පිහිටා සංවර්ධනය වන්නක් නොවේ. හිංසනීය අන්දමින් අලින් පෙරහරේ යෙදවීම සිංහල බුද්ධාගමේ සියවස් ගණනක් තිස්සේ පැවති සම්ප‍්‍රදායකි. මෙකී පෙරහැර චාරිත‍්‍ර වටා දැන් ආගමික කාරණා පමණක් නොව තවත් සමාජ, ආර්ථික, දේශපාලනික සම්බන්ධතා රාශියක් ඇත. මෙම පසුබිම තුළ, සිංහල බුදු දහමට පෙරහරේ යන අලියා සම්බන්ධයෙන් බුදුන්ගේ දහම මත පදනම් වී අහිංසාවාදී විය නොහැක. කොහොමත් පරම අහිංසාවාදය කියා දෙයක් මිනිස් සමාජයෙහි පැවතිය නොහැක.  


හීලෑ අලින් හිමි කර ගැනීම ඇතැම් බෞද්ධ ආගමික හා ආර්ථික ප‍්‍රභූන්ගේ ශක්තිය ප‍්‍රදර්ශනය කිරීමේ මාධ්‍යයකි. එහෙත්, එසේ හිමි කරගන්නා අලියාට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා මුල්‍ය ප‍්‍රතිපාදන වෙන් කිරීමේදී මේ සෑම අයෙකුම නිර්ලෝභීව කටයුතු කරන බවක් නොපෙනේ. මිනිසුනට බඩ යටින් රිංගීමට ඉඩ දීම වැනි  ‘හි`ගන‘ වැඩවලින් පවා මෙකී ප‍්‍රභූන් මුදල් උපයන්නේ එහෙයිනි.


ගස් පෙරළීම, කොට ඇදීම වැනි කාර්යයන් සඳහා දැන් අලි ඇතුන් යොදාගැනීමට අවශ්‍ය නැත. හීලෑ අලින්ට දැන් හරිහමන් වැඩකට ඇත්තේ පෙරහරේ යාම පමණි. ප‍්‍රභූන්ගේ සෝබනය පෙන්වීම සඳහා අලින් යදමින් බැඳගෙන පන්සල්වල, වලව්වල තබාගැනීම වැළැක්වීමේ ශිෂ්ටත්වයක්වත් හෝ ඇති කරගැනීමට සිංහල බෞද්ධ සමාජය උනන්දු විය යුතුය.


පෙරහැර සඳහා අවශ්‍ය හීලෑ අලි ඇතුන් ඉඩකඩ හා වෙනත් පහසුකම් සහිතව රඳවා තබාගෙන රැුක බලාගැනීම සඳහා වෙනම ක‍්‍රමවේදයක් සැකසීමේ හැකියාව රජයට හා ආගමික සංස්ථාවන්ට තිබේ. ප‍්‍රභූන්ට සෝබනය සඳහා අලින් ඇති කිරීමට ඉඩ දීම මෙන්ම සත්වෝද්‍යානවල සීමිත ඉඩකඩක අලි ඇතුන් ප‍්‍රදර්ශනය කිරීම ද තහනම් කිරීම සඳහා ශිෂ්ට සිංහල බෞද්ධයන් පියවර ගත යුතු ය. ගරාජ තිබෙන්නේ වාහන ගාල් කිරීමට මිස අලි ඇතුන් ගාල් කිරීමට නොවේ.

Comments

  1. මේ අප අබිමුව දිස්වන්නේ ලංකාව මදින් මද විනාශ මුඛයට ඇද වැටෙන අයුරු ද? අහෝ ! කලෙක ප්‍රෞඪ ඉතිහාසයකට, සංස්කෘතියකට උරුමකම් කී දේශයකට සිදුවූ හදිය !

    ReplyDelete
  2. Divayina puwatha-2009-7-31

    ජනපතිට අලි දුක දැනේ

    ජගත් කණහැරආරච්චි

    පින්නවල අලි අනාථාගාරයේ සිටියදී මව් ඇතින්නන්ගෙන් වෙන්කොට දළදා මාළිගා පරිශ්‍රයට රැගෙන ගොස්‌ ඇති ලාබාල ඇත් පැටවුන් දෙදෙනා වහාම යළිත් පින්නවල අනාථාගාරයේ මව් ඇතින්නන් වෙත මුදාහරින ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අදාළ බලධාරීන්ට නියෝග කොට ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග ඊයේ (30 දා) සඳහන් කළේය.

    මේ අනුව වයස අවුරුදු 2 යි මාස 10 ක්‌ වන "රාජු" නමැති ඇත් පැටවා සහ වයස අවුරුදු 2 යි මාස 8 ක්‌ වයසැති "සින්දු" නමැති ඇත් පැටවා මෙසේ යළිත් පින්නවල සිටින මව් ඇතින්නන් වෙත යෑවෙන බව ද එම ආරංචි මාර්ග කියා සිටියේය.

    මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති මෙම ඇත් පැටව් ගනුදෙනුව පිළිබඳ ජනතා අප්‍රසාදය පළ වී තිබිණි.

    ReplyDelete
  3. ජනතා අප්රසාදය විකිනීම තුල ලකුණු දාගැනීම

    ReplyDelete
  4. මේ අලි කතාව, අපේ සමාජයේ මෑත කාලයේ සිදුවුනු බොහොම හොද පරීක්ෂනයක්. අපේ අලුත් පරම්පරාව දැන් සාම්ප්‍රදායීක ආගම් අයතනවලට වඩා ඉදිරියට ගිහිල්ලා තියෙන්නේ. ඉස්සර වාගේ, හාමුදුරුවෝ කී පලියට සියලු දේ පිලිගන්නේ නැහැ. මේ තත්වය පන්සල් දැනගෙන, තම තමන්ගේ බල සීමා ලකුනු කරගත්තේ නැත්තෙම්, අලුත් පරම්පරාවට ගැලපෙන පරිදි හැඩ ගැහුනේ නැත්තම්, ඉදිරියට පන්සල්වලටත් ජේසු පිහිටයී. මම කියන්නේ පෝප් වහන්සේ කරා වගේ ෆේස් බුක් අරින්නවත්, යූටූබ් චැනල් අරින්නවත් නොවෙයී. අලුත් පරම්පරාව අවන්කවම තකනා දේවල් ගැන මීට වඩා සන්වේදී විය යූතුයී. අපේ කාන්ඩෙ දැන්ට බලය එක්කාසු කර තියා ගැනීමට පාවිච්චි කරනා, "බටහිරට ඒරෙහිව - අපේ පරන සන්ස්කෘතිය" ප්‍රතිපත්තියෙන් යන්න පුලුවන් දුර බොහොම කොටයී.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා