නව මහින්ද චින්තනය තුළ ධනවාදයට එරෙහි අරගලය

අජිත් පැරකුම් ජයසිංහ විසිනි
ආණ්ඩුව පවසන්නේ තමන් සියලූ දෙය කරන්නේ මහින්ද චින්තන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අනුකූලව බවයි. විරුද්ධ පාක්ෂිකයෝ ද ආණ්ඩුවේ කාර්යයන් ප‍්‍රශ්න කරන්නේ ඒවා මහින්ද චින්තන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට කෙතරම් අනුකූල වේදැයි අසමිනි. දේශපාලනික හා පෞද්ගලික ලාභ පතා ජනාධිපතිවරයාට ප‍්‍රශස්ති ගායනා කරන්නන් මහින්ද චින්තනය උත්කර්ෂයට නඟන්නේ එයට කොමියුනිස්ට් ප‍්‍රකාශනයට තරම් වැදගත්කමක් දෙමිනි. එහෙත්, එහි ගැඹුර ඇස්වටයක් පොවන තරම්වත් නොවන බව අනුන්ව රැවටීමට උත්සාහ දරන කවුරුත් දනිති. එහෙත්, මහින්ද රාජපක්ෂ යුගයේ තත්කාර්යවාදී පාලනය හැඩගැසෙන චින්තනයක් රාජ්‍ය නායක ව්‍යූහයන්හි ගොඩනැඟෙමින් තිබේ. අප දකින පරිදි නම් මෙම අප‍්‍රකාශිත නව මහින්ද චින්තනය වඩා ගැඹුරු හරයකින් යුක්ත වේ.


නව මහින්ද චින්තනයේ ප‍්‍රධාන කුළුණු දෙක වන්නේ ගෝඨාභය රාජපක්ෂ රාජ්‍යාරක්ෂක දැක්ම හා බැසිල් රාජපක්ෂ ආර්ථික දැක්මයි. ඒ හා සමගාමීව පවතින අනෙක් වැදගත් සාධකය වන්නේ විදේශ බලපෑම් මඟහැර ගැනීමේ රාජ්‍ය තාන්ත‍්‍රික උපායමාර්ගයයි. රටේ දේශපාලනික ගමන් පථය තීරණය කරන ප‍්‍රධාන සාධක වන්නේ මේවායි.
 

දෙමළ ජාතික අරගලය පොඩිපට්ටම් කර දැමීමෙන් පසු මහින්ද රාජපක්ෂ පාලනයට දේශීය වශයෙන් සැලකිය යුතු අභියෝගයක් නැත. එයට හේතුව නම්, ප‍්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ බටහිර හිතවාදී නව ලිබරල්වාදී ධනේශ්වර චින්තනය ලාංකීය පොළව මත තීරණාත්මක ලෙස පරාජය කිරීමට රජය සමත් වීමයි. ලෝක බලවතුන්ගේ ගැටුම් අතර උපායිකව සීරුමාරු වෙමින්, රාජ්‍ය ස්වාධීනත්වය ද යම් දුරකට රැුකගෙන, උපරිම වෙළඳපොළකරණයකට හෝ රාජ්‍ය අංශය පූර්ණ ලෙස හකුළා පෞද්ගලික අංශය සංවර්ධනයේ යන්ත‍්‍රය බවට පත් කිරීමේ උපායමාර්ගයකට හෝ තල්ලූ නොවෙමින්, සම්මතයන්ගෙන් පිට පැන ආර්ථිකය හැසිරවීමේ නව ක‍්‍රමවේදයක් රජය සොයාගෙන තිබේ.
 

ලංකාවේ ජනමතය හැඩගැස්වීමෙහි ලා අතිශය වැදගත් කාර්යභාරයක් මෑත යුගයේදී ඉටු කළ ජනතා විමුක්ති පෙරමුණ සතුව රජයේ දැක්මට විකල්ප මතවාදයක් තිබේ ද යන්න සැක සහිත ය. ජවිපෙ විසින් ප‍්‍රශ්න කරමින් තිබෙන රජයේ ප‍්‍රධාන ගැටළු වන්නේ දූෂණය හා ප‍්‍රජාතාන්ත‍්‍රික හිමිකම් පැහැර ගැනීමයි. එහෙත්, වෙළඳ ධනවාදය සාමාන්‍යයෙන් ම කොමිස් මත පදනම් වන දූෂිත ක‍්‍රමයක් වන අතර, දැවැන්ත රාජ්‍ය සේවයක් ද පටලා ගත් විට සිදු වන්නේ මෙකී දූෂිතභාවය තවත් ඉහළ යාමයි. ජවිපෙ රාජ්‍ය සේවය තවත් පුළුල් කිරීම වෙනුවෙන් පෙනී සිටින පක්ෂයකි. ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතිවාසිකම් අහිමි කිරීමේ මුල යුද්ධයයි. 

2004දී ජවිපෙ හා ශ‍්‍රිලනිපය අතර සන්ධාන ගිවිසුම අත්සන් තැබීමෙන් පසු සුළුතර ජාතීන් හිමිකම් දිනාගැනීම සඳහා කළ අරගලය යුද්ධයෙන් යටපත් කර දැමිය යුතු යයි ජවිපෙ කළ යෝජනාව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ස්ථිර කරන ලදී. බලය බෙදාගැනීම ජාතීන්ගේ ප‍්‍රශ්නයට විසඳුම ලෙස අතීතයේදී පිළි ගත් ශ‍්‍රීලනිපය ඒකීය රාජ්‍යවාදය තුළ තහවුරු කළේ ජවිපෙයි. යුද්ධය විසින් හකුළවන ලද ප‍්‍රජාතාන්ත‍්‍රික රාමුව යළි පිහිටුවන ලෙස ඉල්ලා සිටින ගමන් ම සුළුතර ජාතීන්ගේ හිමිකම් ලබා නොදෙන ලෙසත් ඉල්ලීම පරස්පර විරෝධී වේ.

රජයේ යුද-දේශපාලනික උපාය මාර්ගයෙහි ප‍්‍රධාන සාධකයක් වන්නේ කැරැලිකාරී විභවයන් මර්දනය කර තබාගැනීමයි. පශ්චාත් එල්.ටී.ටී.ඊ. සමයේ යුද්ධෝපායික සැලැස්ම තුළ විමුක්ති කොටින්ගේ, මුස්ලිම් සටන්කාමීන්ගේ, ජවිපෙ හෝ වෙනත් සිංහල බලවේගයක හෝ පමණක් නොව රජයෙන් ස්වාධීන පාතාලයකට හෝ ඉඩක් ලබා නොදීම රජයේ අරමුණයි.


අනෙක් පැත්තෙන්, දිවයින පුරා දැවැන්ත ධනේශ්වර සංවර්ධනයක් ඔස්සේ විශේෂයෙන් සුළු ජාතීන්ගේ වෙන් වී යාමේ විභවයන් හා පොදුවේ පීඩිතයන්ගේ කැරලිකාරී ප‍්‍රවණතා පරාජය කිරීම රජයේ ආර්ථික ඉලක්කයයි. ඒ සඳහා සිවිල් යුද සමයේ ඇණහිට තිබුණු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති යළි ආරම්භ කර තිබේ. දැවැන්ත මාර්ග සංවර්ධනයක්, බලශක්ති හා සන්නිවේදන ජාලයක් ඔස්සේ කොළඹ කේන්ද්‍රීය රාජ්‍යයෙන් දුරස්ථ වී තිබෙන ප‍්‍රදේශ යළි ඈඳාගැනීම අපේක්ෂා කෙරේ. එසේම, ධනේශ්වර ප‍්‍රාග්ධනයට හා වෙළඳපොළට දෙමළ ජනයා බහුතරය ලෙස ජීවත් වන ප‍්‍රදේශ විවෘත කිරීමෙන් සිදු වන සංවර්ධනය ඔස්සේ දෙමළ ධනේශ්වර පංතියක් බලසතු වීමත්, එම සංවර්ධනය පහළට කාන්දු වීමෙන් දෙමළ පීඩිත ජනයා වැඩි වැඩියෙන් ධනවාදය සමග සම්බන්ධ වීමත් රජය අපේක්ෂා කරන බව නිරීක්ෂණය කළ හැකිය. 


මේ සඳහා රජය අතිවිශාල වශයෙන් විදේශයන්ගෙන් ණය ගැනීම කරගෙන යයි. කලින් පැවති ආණ්ඩුවල ප‍්‍රතිපත්තිය වූ රාජ්‍ය අංශය හැකිළීම හා පෞද්ගලික අංශය සංවර්ධනයේ යන්ත‍්‍රය බවට පත් කිරීම වෙනුවට දැවැන්ත, අකාර්යක්ෂම රාජ්‍ය අංශයක් නඩත්තු කිරීමේ ප‍්‍රතිපත්තියක වත්මන් ආණ්ඩුව පිහිටා තිබේ. රාජ්‍ය සේවය හරහා සමාද්ධිය සලස්වා ගන්නා පාර්ලිමේන්තු, පළාත් සභා, ප‍්‍රාදේශීය සභා ආදී දේශපාලක පැළැන්තියත්, ආණ්ඩුවට ශක්තිය සපයන ප‍්‍රධාන පංතිමය බලවේගය වන රාජ්‍ය සේවයේ හා පෞද්ගලික සේවා ආර්ථිකයේ ඉහළ හා පහළ මධ්‍යම පංතික නිලධාරි තලයත් සතුටු කර තබාගැනීමට මෙම ප‍්‍රතිපත්තිය ඔස්සේ ආණ්ඩුවට හැකියාව ලැබේ. එහෙත්, මෙම දැවැන්ත අකාර්යක්ෂම රාජ්‍ය සේවය නඩත්තු කිරීමේ බර අවසානයේදී දරා ගැනීමට සිදු වන්නේ රටේ නිෂ්පාදනයට සම්බන්ධ වන ඇඟලූම් කම්කරුවන්, වතු කම්කරුවන්, විදේශයන්ට සංක‍්‍රමණය වූ කම්කරුවන් ආදිය ඇතුළත් පීඩිත පංතියටයි.


ධනවාදයට එරෙහි ලාංකීය අරගලය පණ ගැන්වීමට සිදු වන්නේ මෙකී සංදර්භය තුළයි. ධනවාදයට එරෙහිව සටන් කිරීමේ උපායමාර්ගික ප‍්‍රවේශයක් ලෙස ජාතිකවාදය සරණ ගිය සිංහල හා දෙමළ දිළින්දන්ගේ ව්‍යාපාර වන ජවිපෙට, එල්.ටී.ටී.ඊ.යට හා වෙනත් අයට දැන් තම ප‍්‍රවේශය පිළිබඳ යළි සලකා බැලීමට සිදු වී තිබේ.


Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා