බලහත්කාර අනුකලනය ද? සැබෑ ලාංකික ජාතියක් ගොඩනැඟීම ද?

(අජිත් පැරකුම් ජයසිංහ)

රජය විසින් ‍පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන නව මැතිවරණ නීති යටතේ වාර්ගික හා ආගමික ප්‍රජාවන්ගේ අනන්‍යතාව ප්‍රකාශ කරන පක්ෂවලට තම නම සංශෝධනය කිරීමට හෝ නොඑසේ නම් ලියාපදිංචිය අවලංගු වීමට මුහුණ දීමට සිදු වනු ඇත. මෙම අලුත් නීති අනුව කිසිදු දේශපාලන පක්ෂයකට වාර්ගික හෝ ආගමික අනන්‍යතාවක් ප්‍රකාශයට පත් වන නමක් භාවිතා කළ නොහැකි වේ. යම් පක්ෂයක් එවැනි නමක් භාවිතා කරන්නේ නම් වසරක් ඇතුළත නම සංශෝධනය කර ලියාපදිංචිය සඳහා නැවත අයදුම් කළ යුතු ය.


වාර්ගික අනන්‍යතාව ප්‍රකාශ කරන නම් ඇති දේශපාලන පක්ෂ අතරින් බොහොමයක් සුළුතර ජාතීන් නියෝජනය කරන පක්ෂ වෙති. 'දෙමළ,' 'මුස්ලිම්' යන වචන දේශපාලන පක්ෂ රැසක නම්වල භාවිතා වන අතර, සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂය, සිහළ උරුමය හා ජාතික හෙළ උරුමය ආදී පක්ෂවල නම්වලින් බහුතර ජාතියේ වාර්ගික අනන්‍යතාව ප්‍රකාශයට පත් වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආදි කර්තෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බංඩාරනායක සිය දේශපාලන ගමන් මග හෙළි පෙහෙළි කර ගත්තේ ද සිංහල මහ සභාව නම් දේශපාලන ව්‍යාපාරයක් හරහා ය.


වත්මන් රජයේ ප්‍රතිපත්තිය වන්නේ සුළුතර ජාතීන්ගේ දේශපාලනඥයන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ දේශපාලනය කළ යුතු බවයි. යාපනය මහනගර සභා ඡන්දයේදී අමාත්‍ය ඩග්ලස් දේවානන්දාගේ නායකත්වයෙන් යුත් ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වෙනම තරග කිරීමට මුලින් අදහස් කළ ද රජයේ බලපෑම හේතුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස තරග කිරීමට පසුව සිදු විය.
එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් කැඩී වෙන් වී දෙමළ මහජන විමුක්ති කොටි හෙවත් ටී.එම්.වී.පී. ලෙස කටයුතු කළ කරුණා අම්මාන් ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වු අතර නැගෙනහිර මහඇමති පිල්ලෛයන්ගේ කණ්ඩායමේ ටී.එම්.වී.පී. සාමාජිකයන්ට ද එසේ කරන ලෙස දැඩි බලපෑමක් එල්ල විය. එහි ප්‍රතිඵලයක් ලෙස මඩකලපු නගරාධිපතිනි ශිවගීතා ප්‍රභාකරන් ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබා ගත්හ. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීන් ගණනාවකට ද ආණ්ඩුවට එක් වන ලෙස බලපෑම් ඇති බව වාර්තා‍ වේ. වතුකරයේ ප්‍රධාන දේශපාලන පක්ෂ ද ආණ්ඩුවට ගැට ගැසී ඇත.
බොහෝ කාලයක් ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක සමග දේශපාලනයේ යෙදුණු මුස්ලිම් ජනයා ප්‍රබල ලෙස වෙනම අනන්‍යතාවක් ප්‍රකාශයට පත් කරන තැනකට ගෙන ආ ඒ.එච්.එම් අෂරොෆ්ගේ අභාවයෙන් පසු කප්පිත්තකු නැති නැවක තත්වයට පත් වූ මුස්ලිම් දේශපාලනයට ද යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ධාරාවට එක් වන ලෙස දැඩි බලපෑමක් තිබේ. රටේ පවතින්නේ එසේ එක් නොවන්නන් දේශපාලනිකව නන්නත්තාර කරන අන්දමේ ක්‍රමයකි.


පක්ෂ ලියාපදිංචිය අවලංගු කිරීමේ බලතල ද මැතිවරණ කොමසාරිස්වරයාට නව නීතිවලින් හිමි වේ. ඒ අනුව, එක ළග මැතිවරණ දෙකකට තරග නොකළ දේශපාලන පක්ෂවල පිළිගැනීම අවලංගු කිරීමේ බලය ද මැතිවරණ කොමසාරිස්වරයාට ලැබේ. මෙම නව නීති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සිතීමේ, හෘදය සාක්ෂියේ හා ආගමික නිදහසේ අයිතිය තහවුරු කරන 10වන වගන්තියද, ප්‍රකාශනයේ, රැස්වීමේ හා සංවිධානය වීමේ හිමිකම තහවුරු කරන 14වන වගන්තිය ද උල්ලංඝනය කරයි.


ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂයේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, ප්‍රධාන ලේකම්, සභාපති, අගමැති අපේක්ෂක හෝ ජනාධිපති අපේක්ෂක වැනි ප්‍රධාන තනතුරකට සුළුතර ජනවර්ගයන් නියෝජනය කරන කිසිවකු කිසිදු දිනෙක පත් වී නැත. ජාතික මට්ටමේ දේශපාලන පක්ෂ අතරින් සුළු ජාතීන්ට අයත් මිනිසුන්ට පක්ෂයේ ප්‍රධාන තනතුරු ලබා දුන්නේ පැරණි වමේ පක්ෂ පමණි. වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂට 2004දී අගමැති තනතුර ලබාගැනීම සඳහා ඔහුගේ තරගකරුවකු වූ ලක්ෂ්මන් කදිරගාමර් නම් ජවිපෙ සහයෝගය පවා ලද දෙමළ ජාතිකයාට එරෙහිව සිංහල බෞද්ධකම එසවීමෙනි. රජය සුළු ජාතීන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුඩය යටට තල්ලු කරන්නට යන්නේ මෙවැනි පසුබිමක් තිබියදී ය.


එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකත්වයට ප්‍රභාකරන්ගේ අනුප්‍රාප්තිකයා‍ ලෙස පත් වූ කේ.පී. අල්ලා ගැනීමත් සමග රජය එහි ප්‍රතිසංවිධානය වීමේ හැකියාව ද අවම කර තිබේ. දෙමළ ඊලාම්වාදය පමණක් නොව, සියලු සුළු ජාතීන්ගේ ජාතිකමය වශයෙන් බලය ඉල්ලා සිටීමේ ප්‍රවණතා සියල්ල මර්දනය කර, සුළු ජාතික දේශපාලනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිර අඩස්සියට ගැනීම ජාතික ප්‍රශ්නයට ආණ්ඩුව විසින් ලබා දෙන යුද-දේශපාලනික විසඳුමේ එක් කොටසකි. රජය එසේ කරන්නේ රාජ්‍යයේ සිංහල බෞද්ධ ආධිපත්‍යවාදය තබා අඩු තරමේ දේශපාලන පක්ෂ ව්‍යූහයන් තුල පවතින එම තත්වය වෙනස් කිරීමට හෝ ප්‍රයත්නයක් නොදරමිනි.


එහි ආදීනව පිළිබඳ රජයේ ඇස් ඇරවීම‍ට යාපනය නගර සභාවේ හා වවුනියාව නගර සභාවේ ඡන්ද ප්‍රතිඵලය වුව සෑහේ. පළාත් පාලන ඡන්දයක් ඓතිහාසික එකක් වීමට යෝග්‍ය නොවුණත්, යාපනය මහ නගර සභාවට හා වවුනියාව නගර සභාවට පවත්වන ලද ඡන්දය එවැන්නක් බව ආචාර්ය දයාන් ජයතිලක අද The Island පුවත්පතට ලිපියක් ලියමින් පවසයි. එසේ වන්නේ මෙම මැතිවරණ වනාහි තිස් වසරක බෙදුම්වාදී යුද්ධය කැරැලිකරුවන්ට පරාජය ගෙන දෙමින් අවසන් වීමෙන් පසු දෙමළ දේශපාලන ජීවිතයේ මධ්‍යස්ථානවල පවත්වන ප්‍රථම මැතිවරණය මෙය වීම බව ඔහු කියයි.


එක්සත් ජනතා නිදහස් සන්ධානය වවුනියාවේදී ලද අන්ත පරාජය පිළිබඳ අදහස් දක්වමින් ඇමති ඩග්ලස් දේවානන්ද The Island පුවත්පතට පවසන්නේ තමන් කොටින්ගෙන් මුදාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ස්තුති පූර්වක නොවෙමින් තමන් කාලකන්නිභාවයට ඇද දැමීම පිළිබඳව පාර්ශ්විකව වගකිවයුතු දෙමළ ජාතික සන්ධානයට දෙමළ ජනයා ඡන්දය දීම පිළිබදව තමන් පුදුම වන බවයි. ඡන්දයට දින කීපයකට පෙර යාපනයේ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවති සංගීත ප්‍රසංගයකට ලක්ෂයකට අධික පිරිස් පැමිණි බව මාධ්‍ය වාර්තා කළේය. එහෙත් අගෝස්තු 08දා ඡන්දය දීමට පැමිණියේ 22,280ක් හෙවත් 22%ක් පමණ ප්‍රතිශතයකි. එයිනුත් ආණ්ඩුවට ඡන්දය දුන්නේ 10,602ක් හෙවත් දෙකෙන් පංගුවකට අඩු ප්‍රමාණයකි. දෙමළ ජනයාගේ විපතට ‍පාර්ශ්විකව වගකිව යුතු යයි රජය හඳුන්වන දෙමළ ජාතික සන්ධානය යාපනයේදී ඡන්ද 8008ක් ලබාගෙන දෙවන තැනට පත් වෙද්දී වවුනියාවේදී ඔවුහු විශිෂ්ඨ ජයක් වාර්තා කළහ. ප්ලොට් සංවිධානය දෙවන තැනට පත් වූ අතර සන්ධානය තුනට වැටිණි. මෙම මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳ එක් එක් පුද්ගලයන්ට තම තමන්ගේ දේශපාලනික න්‍යාය පත්‍රානුකූලව විග්‍රහ ඉදිරිපත් කළ හැකිය. එහෙත්, එක දෙයක් පමණක් ප්‍රතික්ෂේප කළ නොහැකිය. එනම්, ත්‍රස්තවාදයෙන් දෙමළ ජනයා මුදාගත් බව කියන රජය ඉන් පසුවත් උතුරේ දෙමළ ජනයා විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි. එසේම, යුදමය වශයෙන් පරාජය කරන ලද කොටි සංවිධානයේ බළල් අතකැයි කී දෙමළ ජාතික සන්ධානය කොටින්ගෙන් තොර පසුබිමක පවා තවමත් බලවත් බවයි.


දෙමළ ජාතික සන්ධානයෙන්, ප්ලොට් සංවිධානයෙන්, යාපනය මහනගර සභාවට තේරී පත් වූ ආනන්ද සංගරීගෙන් පමණක් නොව යාපනයේ ජයග්‍රහණය සන්ධානයට ලබා දුන් ඊ.පී.ඩී.පීයෙන්වත් ප්‍රකාශ වන්නේ ආණ්ඩුව බලාපොරොත්තු වන දෙය නොවේ. මෙම තත්වය තේරුම් ගැනීමට සිංහල ජනයා උනන්දු විය යුත් ය. සුළුජාතික දේශපාලනික ඉල්ලීම් මර්දනය කිරීම සදාකාලිකව එකම අයුරින් තබාගැනීම ආණ්ඩුවට අපහසු ය. මර්දනයේ හස්තය බුරුල් වූ සැණින් මතු වන්නේ ආවේගශීලී වෙන් වී යාමේ ප්‍රවණතා බව මහා රුසියානු ආධිපත්‍යය යටතේ තිබුණු ස්වයං පාලිත ජනරජයන් 1990 දශකයේදී සෝවියට් කොමියුනිස්ට් පාලනයේ බිඳවැටීමත් සමග විසිරී ගිය ආකාරයෙන් පැහැදිලි වේ.


ජාතීන් බලහත්කාරයෙන් අනුකලනය කළ නොහැක. ආණ්ඩුව බලාපොරොත්තු වන ආකාරයේ වාර්ගික බෙදීම්වලින් තොර දේශපාලන සංදර්භයක් රටේ ඇති වීමට නම්, පළමුවෙන් ම, අද පවතින සිංහල මූලික ශ්‍රී ලාංකික රාජ්‍යය  වෙනුවට ලාංකීය ජාතියක් සැබැවින්ම ගොඩනැඟීමේ බලවත් පරිශ්‍රමයකට රජය උර දිය යුතුව තිබේ.

Comments

  1. යුද්ධය ජය ගෙන බලහත්කාරයෙන් දෙමළ ජනතාව ජය ගන්නවාට වඩා දෙමළ ජනතාව ජයගෙන යුද්ධය ජයගත්තානම් හරිය. මෙය කිරීමට අබහසු දෙයක් සෙල පෙනුනද එය දැන් යුද්ධය ජයගත්තාට වඩා පහසුය.

    ReplyDelete
  2. ලංකාවේ දෙමල මුස්ලිම් ජනතාවට විශේෂ නිදහසක් අවශ්‍ය නැත. බලන්න මුස්ලිම් ජනතාවගේ විවහා නීතිය. බලන්න උතුරේ දෙමල ජනයාගේ භාසා අධිකාරි පනත. හරිනම් කරන්න ඕන සමහර අයතීන් කප්පාදු කිරීමයි. සිංහල ජනතාවට තමන්ගේ බිමේ ඕන තැනක යන්න පුළුවන්ද. සිංහල දෙමල මුස්ලිම් කොයි කවදත් සමගියි. මහ උනුත් සමගියි. මේක බිස්නස් එක.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා