රට ණය කරවන ප්‍රාතිහාර්ය හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය

අජිත් පැරකුම් ජයසිංහ විසිනි

2009 වසරේ රජය අපේක්ෂා කරන සමස්ත ආදායම රු. බිලියන 730කි. ‍එහෙත්, රජය විසින් ගෙවීමට තිබෙන ණය පමණක් රු. බිලියන 745කි. ජනාධිපතිට, අගමැතිට, ඇමතිවරුන්ට, ඔවුන්ගේ පවුල්වල අයට, කාර්ය මණ්ඩලවලට සැප දෙන්නත්, දැවැන්ත රාජ්‍ය සේවය නඩත්තු කරන්නත්, අධ්‍යාපනය හා සෞඛ්‍යය වැනි මහජන සුබසාධන සේවා පවත්වාගෙන යන්නත්, ගොවීන්ට පොහොර සහනාධාරය දෙන්නත්, දිළින්දන්ට සහනාධාර දෙන්නත්, පාරවල් වැනි යටිතල පහසුකම් නඩත්තු කරන්නත්, අලුත් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නත් මුදල් වෙනම සොයා ගත යුතු ය. ආදායමට වඩා වියදම් කරන ගෙදරක් ණය බරින් මිරිකී අන්තිමේදී බංකොලොත් වන බව කවුරුත් දනිති. එහෙත්, ලංකාවේ ආණ්ඩුව රටට කියන්නේ රජය එසේ කිරීම විශිෂ්ඨ චින්තනයක් බවයි. මන්ද, මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වන ආකාරයට වියදම් අඩු කරගෙන ආදායම් හා වියදම් අතර පරතරය අඩු කර ගැනීම වෙනුවට "විචක්ෂණ මහජන මුදල් කළමනාකරණයක් ඇති කරනු ලැබේ."

ටික කලකට ඉහතදී, රජයට හිතවත් දේශපාලක බෞද්ධ භික්ෂු නමක් වන ඇල්ලේ ගුණවංශ හිමි "ලෝක වෙළඳපොළේ මිළ ඉහළ යන විට ලංකාවේත් මිළ ඉහළ නංවන්නට නම් ආණ්ඩුවක් කුමටද?" යි ඇසූ කල ඇතැමෙක් එම ප්‍රකාශය හාස්‍යයට ලක් කළහ. එහෙත්, රටේ කෙරෙන සෑම ගනුදෙනුවකින් ම අධික ලෙස බදු අය කරන මෙවැනි ආණ්ඩුවකින් එවැනි කම්පන දරා ගැනීමේ කූලිච්චන් හෙවත් කුෂන් කාර්යභාරයක් බලාපොරොත්තු වීමේ කිසිදු අසාධාරණයක් නැත.

ඉහත කී "විචක්ෂණ මහජන මුදල් කළමනාකරණයට" ඉදිරි නොවැම්බරයේදී සිව් වසරක් සපිරේ. අනාගත පරම්පරා ගණනාවක් ණය කරමින් කොහෙන් හෝ මුදල් ණයට ගෙන අය වැය පරතරය පියවාගෙන, භාණ්ඩ ආනයනය සඳහා අවශ්‍ය විදේශ සංචිත ද පවත්වාගෙන යාමට රජය යම් කාලයක් යන තුරු සමත් විය. ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමට හේතු වූ තත්වය පිළිබඳ ලංකාවට ණය අනුමත කිරීම සඳහා කටයුතු කල නියෝජිත පිරිසේ ප්‍රධානියා වන බ්‍රයන් එයිට්කන් IMF Survey සමග සම්මුඛ සාකච්ඡාවකදී පවසන්නේ මෙසේයි. "ලංකාව වසර ගණනාවක් තිස්සේ ඉහළ අයවැය පරතරයක් පවත්වාගෙන යන රටක්. මෙම පරතරය පියවීම සඳහා ඔවුන් ජාත්‍යන්තර මුල්‍ය වෙළදපොළෙන් කෙටි කාලීන ණය ලබා ගත්තා. ලෝක මුල්‍ය අරමුදලත් සමග ජාත්‍යන්තර වෙළදපොළෙන් මුදල් ගලා ඒම ක්ෂණිකව නැවතුණා. මහ බැංකුව විනිමය අනුපාතිකය බිඳවැටීම පාලනය කිරීමට මැදිහත් වුණා. මෙමගින් ලංකාවේ ජාත්‍යන්තර විනිමය සංචිතවලට පීඩනයක් ඇති වුණා. ඒ හේතුවෙන් විදේශ විනිමය සංචිත තවමත් තිබෙන්නේ පහත් මට්ටමකයි."

ලංකාව මුහුණ දෙන වත්මන් ආර්ථික අර්බුදය ඇති කිරීමට හේතු වූ කාරණා තුනක් තිබේ. එනම්, අධික ලෙස ඉහළ ගිය යුද වියදම්, නාස්තිය හා බාහිර කම්පනයෝ වෙති. බාහිර කම්පනයන් යනුවෙන් අදහස් කරන්නේ ලෝක මුල්‍ය අර්බුදය විසින් ඇති කරන ලද තත්වය, විදේශ වෙළඳපොළවල භාණ්ඩ මිළ ඉහළ යාම හා ලංකා‍ව‍ට විදේශ ණය ලබාගැනීමට බැරි තත්වයක් නිර්මානය වීම යන ඒවායි. රු. කෝටි 30,000ක් පමණ වූ වෙළඳ ශේෂය හෙවත් ආනයන හා අපනයන වියදම් අතර හිඟය පියවා ගැනීම සඳහා මේ රජය අනුගමනය කරනු ලබන ක්‍රමවේදය වන්නේ විවෘත මුල්‍ය වෙලඳපොළෙන් ඉහළ පොලියකට ණය ගැනීමයි. එම ණය කල් පිරී ආපසු ගෙවන්නට සිදු වූ විට රජය තවත් ණයක් ගෙන කලින් ණය ගෙවා දමයි. ණය පැටවුන් ගසන්නේ මෙසේයි. ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ගිය අවුරුද්ද වන විට රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 81%ක මට්ටමට ඉහළ ගොස් තිබිණි. 2009 වසරේ මුල් මාස හතර තුළ රටට විදේශ ණය ලබා ගත නොහැකි විය.2007දී කාර්යාල වසා දමා සේවක මණ්ඩල හකුලාගෙන රටින් පිට වී යන්නට දොර පෙන්නූ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙපා මුල වැටී හිගමන් යදින්නට රජයට සිදු වන්නේ මෙම තත්වය තුළයි. පිටරැටියනට කඹුරන විදේශගත ලාංකික ශ්‍රමිකයන් ලංකාවට එවන මුදල් නොතිබිණි නම් ලංකාව හොම්බෙන් ගොස් බොහෝ කලකි.

වවුලාගේ මඟුල් ගෙදර ගියා නම් එල්ලී සිටින්නට සිදු වීම අරුමයක් නොවේ. රජයේ උමතු ආර්ථික චින්තනයට අනුව රු. කෝටි තිස්දාහක පමණ දැවැන්ත ණයක් 1%ක පමණ සහන පොලියකට දෙද්දී එය ආපසු අය කර ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කොන්දේසි පැනවීම පිළිබඳ පුදුම විය යුතු නැත. එම වැඩසටහන තුළ ලංකාවේ ධනවාදී ආර්ථිකය යම් විනයගත කිරීමක් සඳහා ද මුල්‍ය අරමුදල උත්සාහ කරන බව පෙනේ.

2001-2004 රනිල් වික්‍රමසිංහ රජය සමයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලංකාවේ ආර්ථික ව්‍යූහයේ දැවැන්ත හැඩගැස්වීමකට අරඇන්දේ මෙරට පාලකයන් එවැන්නක් ඉල්ලා සිටි බැවිනි. ඔවුන්ගේ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති අනුව, සහනාධාර දැඩි ලෙස සීමා කර, පෞද්ගලික අංශයට හා වෙළඳපොලට ප්‍රමුඛත්වය දීමෙන් ලෝකයේ දිළිඳුභාවය තවත් වැඩි වූ බව දැන් ඔප්පු වී හමාර ය. එහෙත්, ඔවුන් විසින් රෝපණය කරන ලද නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති මේ වන විට ලොව පුරා මුල් ඇද තිබේ. සමාජවාදී යයි කියන චීනය නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති වඩා හොඳින් අනුගමනය කරන්නට පටන් ගැනීමත් සමාජවාදී විකල්ප ගොඩනඟා ගැනීමට පීඩිත පංතීන් අසමත් වීමත් හේතුවෙන් නව ලිබරල් ධනවාදයට අභියෝගයක් අද ලෝකයේ නොමැත. ලංකාව වැනි පරිවාරයේ දිළිඳු රටවල ධනවාදය ශිෂ්ඨ කිරීමට අද දියුණු ධනේශ්වර රටවලට උවමනාවක් නැත. ඒ සඳහා ආර්ථික බරපැණ දරාගැනීමේ හැකියාවක් අර්බුදයට ලක් වී තිබෙන එම රටවල ආර්ථිකයන්ට ඇත්තේ ද නැත. පරිවාරයේ රටවල බලයට එන සමාජ අගතීන්ගෙන් පෝෂිත, තැනේ හැටියට ඇණේ ගසන, තත්කාර්යවාදීන්, වාර්ගික හා ආගමික උන්මත්තකයන්, ඒකාධිපතීන් වැන්නන්ට ඕනෑ කුදයක් ගසා ගැනීමට ඉඩ දී සිටින ලෝක බලවත්තු තම මිලිටරි ආධිපත්‍යයට ප්‍රශ්නයක් වන විට පමණක් එම රටවලට බලපෑම් කරති. ලෝක බල තුලනයේ මහා පෙරළියක් ලෙස හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි ආයතනවල ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් වීමක් ලෙස අපේ පාලකයන් දකින්නේ මෙයයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පොහොර සහනාධාරය, සමෘද්ධිය, පිං පඩි, විශ්‍රාම වැටුප් ආදිය කපන්නැයි කොන්දේසි පනවා ඇති බව විපක්ෂ දේශපාලන පක්ෂ චෝදනා කරයි. කැබිනට් ප්‍රකාශක අනුර ප්‍රියදර්ශන යාපා ජුලි 31 දින ප‍්‍රකාශ කළේ පොහොර හා සමෘද්ධි වැනි කිසිදු සහනාධාරයක් කපා හැරීමට රජය එකඟ වී නැති බවයි. මෙය අර්ධ සත්‍යයකි. රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟ වූ කොන්දේසි අතර මෙවැනි සහනාධාර කප්පාදු කිරීම් පිළිබඳ ඇත්තෙන්ම ඍජුව සඳහන් වන්නේ නැත. එහෙත්, රජය විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත ලබා දෙන ලද අභිලාෂය ප්‍රකාශ කිරීමේ ලිපියේ සිව්වන වගන්තිය අනුව, "වැඩසටහන යටතේ 2009 වසරට නියමිත ආදායම් පහත වැටුණොත් හෝ වියදම් ඉහළ ගියොත් හෝ වෙනත් ජංගම වියදම් සීමා කිරීමට අපි වහා කටයුතු කරන්නෙමු. මෙයට භාණ්ඩ හා සේවාත්, පැවරුමුත් අයත් වේ. නැතිනම්, සංචිත ඉලක්කය සපුරාගැනිම පිණිස ආදායම් වැඩි කරනු ඇත." මෙහි පැවරුම් ලෙස හැඳින්වෙන වියදම් කාණ්ඩය යටතේ මේ වසරේ රු. බිලියන 194ක් වෙන් කර ඇති අතර, එයින් රු. බිලියන 150ක් වෙන් කර තිබෙන්නේ සමෘද්ධි, පොහොර සහනාධාර සහ විශ්‍රාම වැටුප් වෙනුවෙනි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කටයුතු කරන්නේ "බොලාට සහනාධාර දෙන්න සල්ලි තිබෙනවා නම් අපට මොකද? අපේ සල්ලි ටික විතරක් ආපසු දියල්ලා," යන ආකල්පයෙනි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි ඉටු කිරීමට අවශ්‍ය ආර්ථික විනය ඇති කර ගැනීමේ හැකියාවක් මේ රජයට නැත. එහෙයින් මෙම ණය මුදල හා සම්බන්ධ ඉදිරි වාරික හත ලබා ගැනීම ද පහසු නැත. මෙම ණය මුදලේ අවශ්‍යතාව හීන වී ගොස් ඇති බවට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පුන පුනා කියන්නේත්, අගෝස්තු 03දා ජාතික රූපවාහිනියේ ජනමතය වැඩසටහනේදී අමාත්‍ය සරත් අමුණුගම ඉදිරි කාලයේදී ආර්ථිකය යහපත් වුවහොත් ‍ණය මුදලේ ඉදිරි වාරික අවශ්‍ය නොවන බව කියන්නේත් ඉහත කී පෙරහරේ කස පිපිරවීම් ලෙසයි.

නාස්තියේ හා දූෂණයේ උල්පත් වන රජයේ සේවය හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත නොකර රජයේ වියදම් අඩු කිරීම සඳහා කළ හැකි දේ වන්නේ අධ්‍යාපන, සෞඛ්‍ය වැනි සමාජ සුබසාධන වියදම් හා සහනාධාර කැපීමයි.  එයත් කරන්නේ නැතිනම් වියදම් කැපීමට බැරි ය. දෙමළ අරගළය මර්දනය කර ලබා ගත් යුදමය ජයග්‍රහණය විසින් ඇති කර තිබෙන මර්දනීය සාමය පමණක් මේ මොහොතේදී රටට යම් වාසියක් වී තිබේ. අප යුද්ධය සදහා වියදම් කර ඇති මුලු මුදල රුපියල බිලියන 23000 ක් වෙතැයි නියෝජ්‍ය මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මෑතදී ප්‍රකාශ කළේය. මේ වනවිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් අනුමත කර ගෙන ඇති මුලු ණය ප්‍රමාණ‍ය වන රු බිලියන 299 මෙන් එය 75 ගුණයකි. ඉහළ කොත්මලේ ජලාශය සදහා වැය වන මුදල රු. බිලියන 30 කි. නොරෙච්චෝලෙයි තාප විදුලි බලාගාරය සදහා වැය වන මුදල රු බිලියන 51 කි. රුපියල් බිලියන 23000 කින් කොපමණ දේ කරන්නට තිබිණිද? මෙම යුද වියදමින් යම් ප්‍රතිශතයක් ඉතිරි කර ගැනීමට හැකි වීම රජය අත ඇති එකම වාසියයි.

2009 වසර සඳහා රජයේ ආදායම් තක්සේරුව රු. බිලියන 855කි. 2008 අවුරුද්දේ අයවැය යෝජනාවලින් අපේක්ෂා කරන ලද ආදායම සහ සැබැවින්ම ලැබුණු ආදායම අතර රු. බිලියන 95ක පරතරයක් තිබිණි. මේ අවුරුද්දේත් එසේම සිදු විය හැකි ය. බදු එකතු කිරීමේ ව්‍යූහයන් ශක්තිමත් කළ විට සිදු වන්නේ බදු ගෙවන්නන් මත පීඩනය වැඩි වීම පමණි. එයින් බදු ගෙවන්නන්ගේ ආදායම් වැඩි වන්නේ නැත. ආර්ථික අර්බුදය හමුවේ බොහෝ සමාගම් දැඩි දුෂ්කර තත්වයකට පත්ව සිටින තත්වයක් තුළ පෞද්ගලික අංශයෙන් තවත් බදු සූරාගැනීම කෙසේ වෙතත්, අපේක්ෂා කරන මට්ටමට ළඟා වීම පවා දුෂ්කර ය.

ජාත්‍යන්තර රාජ්‍ය මුල්‍ය සංගමයේ සභාපති එන්. ආර්. ගජේන්ද්‍රන් ජුලි මස අගභාගයේදී පැවති සම්මන්ත්‍රණයකදී පෙන්වා දුන්නේ දැනට පවතින තත්වය නොවෙනස්ව පැවතුණොත් 2009 වසර අවසානය වන විට අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 12%ක් පමණ විය හැකි බවයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි අනුව 2009 වසරේ අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 7%ක් මට්ටමක තබා ගත යුතු අතර 2011 වන විට එය 5% දක්වා අඩු කර ගත යුතුය. රජයට මෙකී කොන්දේසි සැපිරීමේ ආර්ථික විනයක් තිබේද යන්න සැක සහිතය. එසේම, මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව බලයට පත් වූ මේ ආණ්ඩුවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි සපිරීම සඳහා අවශ්‍ය රළු ක්‍රියාමාර්ග ගැනීම පිණිස ජනවරමක් ද නැත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි අනුව ලංකාවට සංවර්ධන කටයුතු සඳහා විදේශ ණය ලබාගැනීම ද සීමා  කර තිබේ. මෙම වැඩසටහන ක්‍රියාත්මක වන මාස 20ක කාලය තුළ ලංකාවට විදේශ ණය ලබා ගත හැක්කේ ඩොලර් බිලියන 1.7ක් පමණි. පසුගිය මාස 20 තුළ ඩොලර් බිලියන දෙකක් ණයට ගත් ලංකාවට පවතින තත්වය තුල මෙම සීමාව රැක ගැනීම අසීරු ය. අගෝස්තු මාසයේදී ආපසු ගෙවීමට නියමිත කලින් දෑවුරුදු බැඳුම්කර යටතේ ගත් ණය ගෙවීම සඳහා රජය දැන් ඩොලර් මිලියන 150ක අලුත් ඩොලර් බැඳුම්කර නිකුත් කිරීමට කටයුතු යොදා ඇත. තවත් ඩොලර් මිලියන 500ක් ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපොළෙන් ණයට ගැනීම සඳහා HSBC හා JPMorgan යන සමාගම් සමග රජය කටයුතු කරමින් සිටියි.

ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය උවමනා වූයේ ආර්ථික සුරක්ෂිතභාවය ලෝකයට ප්‍රදර්ශනය කිරීමටයි. එවිට විවෘත මුල්‍ය වෙළඳපොළෙන් වැඩි පොලියට ණය ගැනීම අපහසු වන්නේ නැත. ණය අරගෙන පරණ ණය ගෙවිය හැකිය. ණය ගන්නට අපහසු තරමට ආර්ථිකය කඩා වැටෙන විට තවත් මොකක් හෝ දහං ගැටයක් ගසනු ලැබේ. රට පටවා තිබෙන ගෘහ සේවිකා ගැහැණුන් රටට මුදල් එවන තාක් කල් දේශපාලකයන්ට, පවුල්වලට, හෙංචයියන්ට හා නිලධාරීන්ට තම සැප සම්පත් අහිමි කර ගැනීමට අවශ්‍ය වන්නේ නැත. මිනිසුන් ජීවත් වීම සඳහා ගොවිතැනක් බතක් කර ගත් විට, මාළුවකු අල්ලා ගත් විට කුමන කුමන හෝ උප්පරවැට්ටි යොදා බදු ලෙස ඔවුන්ගෙන් මුදල් සූරා ගත හැකිය. බඩගින්න නිවා ගන්නට ශ්‍රමය විකුණනවා හැර කරන්නට අන් දෙයක් නැති කම්කරුවන් දකින ධනපතීහු එවුන්ගෙන් ලාභ ලැබීම පිණිස නිෂ්පාදන සඳහා ආයෝජනය කරති. ඒවායින් ද රජයට බදු අය කර ගත හැකිය. සහනාධාර ලෙස තමන්ට ලැබෙන්නේ සූරා ගත් ප්‍රමාණයෙන් සොච්චමක් බව වටහා ගැනීමට උවමනාවක් ජනතාවට ද නැත. මේ අතර, පරම්පරා ගණනක් ඉදිරියටත් ගෙවා ගත නොහැකි ණය කන්දරාවක් බ්ලුමැන්ඩල්හි කුණු කන්ද සේ ගොඩගැසෙමින් තිබේ. අපේ පාලකයන් දිවා රෑ බාල් නටන්නේ එය මතයි. ලංකාව පුංචි ප්‍රාතිහාර්යයක් යයි කියැවෙන කෝටි ගණනක් වැය කර සකසන ලද ප්‍රචාරක පාඨය නව සංචාරක ඇමති නන්දන ගුණතිලක විසින් අතහැර දමන ලද්දේ ලංකාව සම්බන්ධයෙන් පුංචි යයි කීම වැරදි යයි කියමිනි. සත්තකින්ම මේ කරන වැඩ නම් පුංචි පුංචි ප්‍රාතිහාර්යයන් නොවේ. පරම්පරා හතක් වළේ වැටෙන ඒවා ය.

Comments

  1. ජනතාව ණය උනාට පාලකෙයා් ණය ෙවන්ෙන් නෑෙන් මල්ලී..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා