නුවර පෙරහරේ පහතරට නැටුම් නොනැටීම හා අගමැතිගේ විරෝධය

(2009 අගෝස්තු 16 - W3Lanka) අගමැති රත්නසිරි වික්‍රමනායක ‍පාලකයකුට වඩා කතිකයකු ලෙස සැලකීම බලතල රහිත අගමැති තනතුරට හා එකී තනතුර දරණ වයෝවෘද්ධ දේශපාලනඥයකු වන වික්‍රමනායක මහතාට කරන සාධාරණයකැයි සිතමු. 


කතිකයකු ලෙස එතුමා කරන කාර්යයේ හුවා දැක්විය හැකි වැදගත් අදහසක් මේ දිනවල එතුමා සිය ගම් ප්‍රදේශය වන හොරණදීත්, කලුතරදීත් කලාකරුවන් සම්බන්ධ උත්සව දෙකකදී ප්‍රකාශ කරන ආකාරය දකින්නට ලැබිණි. 


පහතරට කලාකරුවන් උළෙලවලදී ගැටබෙරය වාදනය කරනමුත්, නුවර පෙරහැරේදී පහතරට යක් බෙරය වාදනය නොවන බව ද, පහතරට කලාංග එයට එක් කරගෙන නැති බව ද, ජාතික උත්සවයකදී එවැනි භේද තිබිය නොහැකි බව ඔහු පැවසීය. 


අගමැති වික්‍රමනායක විසින් මේ ස්පර්ශ කර තිබෙන්නේ හුදෙක්ම කලාවට පමණක් සීමා වූ කාරණයක් නොවේ. උඩරට-පහතරට භේදය ද කුලභේදය හා ජාතිවාදය සේ ම සමාජ යටිතලයේ තවමත් සක්‍රියව පවතී. පහතරැටියකු වන වික්‍රමනායක මේ පහර දෙන්නේ දළදා මාළිගාව කේන්ද්‍ර කරගත් සංස්කෘතියේ උඩරට ආධිපත්‍යවාදයටයි.


"ලංකා සංස්කෘතික පුනර්ජීවනය පිළිබඳ ඇතැම් ප්‍රශ්න" මැයෙන් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් ලියා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ අර්ථ ශාස්ත්‍ර සංගමය මඟින් පළකරන ලද ‘සමාජ විග්‍රහය’ නමැති සඟරාවේ පළ කරන ලද ලිපියක් කතිකා වෙබ් අඩවියේ මෑතදී යළි පළ විය. එහි එක් තැනක සරච්චන්ද්‍රයන් මෙසේ පවසයි.

"බොහෝ ගැමි කලාවන් පැන නැඟුණේ චූල සම්ප්‍රදායයෙහි අඩංගු විශ්වාසයන්ගෙනි. මේ ඇදහීම් අනුව කළ යුතු යාග හෝම ආදිය උදෙසා පූජා විධි සමූහයක් අවශ්‍ය වෙයි. පූජාවන්හි දී කැරෙන නැටුම් ඒ හා කැරෙන බෙර වාදන දෙවියන් යකුන් නිරූපණය වී කරන බලි ඇඹීම හා වෙස් මුහුණු ඇඳීම වීදි (සංස්කෘත -වෙදි) තැනීම හා සැරසීම, දෙවියන් යකුන් ගැන සැහැලි ප්‍රබන්ධ කිරීම හා ගායනා කිරීම මේ පූජා විධිවල අංග වේ."

පන්සල් ආශ්‍රිතව දියුණු වී ඇති චිත්‍ර කලාවත් ප්‍රතිමා කලාවත් පද්‍ය හා ගද්‍ය වශයෙන් ඇති සියලු පැරණි පණ්ඩිත පි‍්‍රය කාව්‍යත් මහා සම්ප්‍රදායය තුළින් උපන් සේ ගත යුතු බව සරච්චන්ද්‍ර පවසයි.

ලාභය මත පදනම් වූ ධනවාදී විනෝද ව්‍යාපාර හේතුවෙන් අද සිදු වී ඇත්තේ මෙකී චූල සම්ප්‍රදායට අයත් ප්‍රාසාංගික කලාවන් මහා සම්ප්‍රදායනට වඩා වෙළඳපොල වටිනාකමක් අත්පත් කරගැනීමයි. චූල සම්ප්‍රදායෙන් මතු වූ ලංකාවේ ජන නැටුමේ අද වන විට මහා සම්ප්‍රදාය බවට පත් වී තිබෙන්නේ උඩරට නැටුමයි.

"නොදියුණු ප්‍රාකෘතික තත්ත්වය ඉක්මවා ගිය එකම ජනකලාව සමහරවිට උඩරට නැටුම් කලාව විය හැකිය. එහෙත් එය ලද දියුණුවට හේතු වූයේ ඊට භාරතීය පෞරාණික නැටුම් කලාවේ ආභාසය ලැබීම බව පෙනේ," යි සරච්චන්ද්‍ර පවසයි.


ලංකාවේ රාජ්‍ය පාලනය තුළ මල්වතු අස්ගිරි මහ නායක හිමිවරුන්ගේ නොනිල බලය වත්මන් ආණ්ඩු පාලන සමය තුළ ශීඝ්‍රයෙන් ඉහළ ගිය බව ආණ්ඩුවට සමීප අය පවසති. අගමැති රත්නසිරි වික්‍රමනායක වැනි පහතරැටියන්ට එයින් වූ රිදවීම ප්‍රකාශයට පත් වන තැනක් ලෙස අගමැතිවරයාගේ මෙම ප්‍රකාශය සැලකිය හැකිය. 



කෙසේ වෙතත්, සංස්කෘතික පුනර්ජීවනයක් අපේක්ෂා කරන අයට සංවාදයක් ඇරඹීම සඳහා නිමිත්තක් අගමැතිවරයා විසින් සපයා ඇතැයි අපි සිතමු. එහෙත්, ඉන් එහා ගිය වැදගත් අදහසක් අගමැතිතුමා විසින් පළ කර නැත. සරච්චන්ද්‍රයන්ගේ ලිපියේ ඇති අදහසකින් ම මෙය පැහැදිලි කර ගත හැකි ය. 


"අද ලංකාවේ සංස්කෘතික පුනර්ජීවනයක් කරතොත් එය කළ යුත්තේ මුලු මහත් ලෝකයෙහි චින්තන ක්‍රමයන් හා සංස්කෘතීන් ප්‍රයෝජන වන ලෙස උපයෝගී කරගත හැකි අය විසින් බවය. මෙහිදී සීමාන්තික දේශානුරාගය එතරම් පිහිට නොවනු ඇත. ලංකාවේ මෙවැනි ව්‍යාපාරයක් මෙහෙයවිය හැකි පන්තිය තවමත් ක්‍රමයෙන් නැඟෙමින් පවතී."

Comments

  1. රටට ආදරේ අයගේ නැටුම් සහ රටට ආදරේ නැති අයගේ නැටුම් කියල දෙකකුත් තව ටික දවසකින් එයිද දන්නේ නැහැ

    ReplyDelete
  2. සමාජයේ බොහෝ දෙනා නොදන්නවා වූනත් මෙය සත්‍ය සිදුවීමක්. එයට අපද පෞද්ගලිකවම මුහුණ දී තිබෙන අතර එය විශාල අසාධාරණයක්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා