මිහිඳු හිමියන් සැතපුණ යහන පුපුරවා නිදන් සොයන සිංහල බෞද්ධ ලංකාවේ පුරාවස්තුවලට බුදු සරණයි

(අගෝස්තු 11, 2009 - W3Lanka) මිහින්තලේ පුරාවිද්‍යා අධිරක්‍ෂිත කලාපයේ පිහිටි මිහිඳු මහරහතන් වහන්සේ වැඩ සිටියේ යයි සැලකෙන මිහිඳු ගුහාවේ ඉපැරැණි ශෛලමය යහනට පසුගිය අගෝස්තු 09දා නිධන් හොරුන් විසින් හානි සිදු කොට ඇත.

මෙය මිහිඳු හිමියන් සැතපුණ යහන බවට විශ්වාසයක් ඇත. එම යහනේ සිව් කොනේ පිහිටි ගෝලාකාර කැටයම් හතරෙන් තුනක්‌ නිධන් හොරුන් විසින් කඩා විනාශකොට ඇති බව පුරා විද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීහු පවසති. 

මෙම පුරාවිද්‍යාත්මක ස්ථානයට පූර්ණ ආරක්ෂාව සැලසීමට තරම් ප්‍රමාණවත් මුරකරුවන් සංඛ්‍යාවක් සේවයේ යොදවා නොමැති බව වාර්තා වේ.


ලංකාව පුරාම විශාල පුරාවස්තු ප්‍රමාණයක් තැන තැන විසිරී තිබේ. ඇතැම් ඒවා හඳුනාගෙන තිබෙන අතර තවත් සමහරක් හඳුනාගෙන පවා නැත. සංරක්ෂණය නොකළ පුරාවස්තු ප්‍රමාණය අතිවිශාල ය. මෙකී ඇතැම් පුරාවස්තු පිහිටා තිබෙන්නේ ජනශුන්‍ය, කැළෑබද ප්‍රදේශවලයි. මේවා මුර කිරීම සඳහා වෙනම සන්නද්ධ හමුදාවක් යෙදවීමට සිදු වන තරම් ඒවායේ සංඛ්‍යාව අධික ය. 

දැනට ලංකාවේ හමුදා පොලිසිවලට ආරක්ෂා කිරීමට සිදු වී තිබෙන 'ජාතික වස්තු' කන්දරාවට අමතරව පුරාවස්තුත් මුර කිරීමේ වගකීම භාර ගැනීමට ඔවුනට හැකියාවක් නැත. 


පුරාවස්තු ආරක්ෂා කර ගත හැක්කේ ජනතාව සබුද්ධික කිරීමෙනි. පුරාවස්තු යනු 'නිධාන' හෝ සුද්දන්ට විකුණා මුදල් සෙවිය හැකි වෙළඳ භාණ්ඩ නොව අනාගත පරම්පරා වෙනුවෙන් රැක ගත යුතු අතීත උරුමයන් බව වටහා ගත් ජනතාවකට පමණක් ඒවා රැක ගත හැකි ය. 


පසුගිය සමයේ නිදන් හාරමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයන් පිළිබඳ සොයා බැලීමේදී පැහැදිලිවම දැකිය හැකි කාරණයක් වන්නේ ඔවුන්ගෙන් අති බහුකරය සිංහල බෞද්ධයන් බවයි. මිහිඳු හිමියන් සැතපුණේ යයි විශ්වාස කෙරෙන යහනක් බිඳ ධන නිධාන සොයන මොවුන් බුදු දහමේ ගැඹුර ගැන කිසිවක් නොදන්නා බව සහතික ය. එසේම ලංකාවේ ශ්‍රේෂ්ඨත්වය විනාශ කර දැමීම අරමුණු කර ගත් ක්‍රිස්තියානි කුමන්ත්‍රණ මෙම පුරාවස්තු කොල්ලයන් පසුබිමේ ඇතැයි පෙන්වා දීමට සාක්ෂි නැත. මක් නිසාද යත් ඇතැම් පුරා වස්තු මංකොල්ලකාරයන් රටේ සිංහල උරුමය රැක දීම සඳහා නායකත්වය දුන් පුද්ගලයන් බව කවුරුත් පිළි ගන්නා හෙයිනි.



ලංකාවේ පාලකයන්, පුරා විද්‍යාඥයන්, ඉතිහාසඥයන් පමණක් නොව බෞද්ධ භික්ෂූන් ද කරන කටයුතු මෙම පුරාවස්තු සංහාරයට අත්වැල් සපයයි. අතීතය දෙස භෞතික (භෞතිකවාදී වීම අත්‍යවශ්‍ය නොවේ.) ඇසකින් හෙවත් ඇත්ත ඇති සැටියෙන් බලන්නට මහජනයා පුරුදු කරනවා වෙනුවට මොවුන් කරන්නේ අතීතය ගූඪත්වයට නැඟීමයි. නැතිනම්, අතීතයේ සිටියේ අප වැනි මිනිසුන් නොව, විශ්වකර්ම වැඩ කළ, අසාමාන්‍ය 'අපේ මුතුන් මිත්තන්' පිරිසකැයි අතිශයෝක්තියට නැඟීමයි. එසේ කරන්නේ අතීතයට මුවා වී වර්තමානයේ පටු අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීමටයි. 


ධන තෘෂ්ණාවෙන් ඇළලී ගිය, භාණ්ඩ වන්දනාව හිස් මුදුනින් වැළඳ ගත්, නමට පමණක් බෞද්ධයන් වන නූතන සිංහල බෞද්ධයන් බහුතරයක් සිතන්නේ අතීතයේ සිටි විශ්වකර්මයන් මහ පොළවේ අස්සක් මුල්ලක් නෑර රන් කාසි වළ දමා තිබේ ය කියාය. 


පුරාවස්තු ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් කළ යුතුව තිබෙන්නේ ඉකිහාසය ගූඪහරණය කිරීමයි. මෙය ඉක්මණින් කළ හැකි දෙයකැයි අපි නොසිතමු. පුරා විද්‍යාඥයන් ඉදිරිපත් වී පුරාවස්තුවල නිධාන නැතැයි ජනමාධ්‍යවලින් කී පමණින් එය සිදු වන්නේ නැත. මක් නිසාද යත්, ලංකාවේ ජනමාධ්‍ය හෝ විද්‍යාර්ථීන් හෝ ඇත්ත කියන්නන් ලෙස පිළිගැනීමට ජනතාව පොළඹවා ගත නොහැකි තරමට ඒ ඒ අයගේ කෙරුවාව හොඳ නිසා ය.





Comments

  1. පුරාවස්තු මංකොල්ලය පටන් ගත්තේ හා වර්ධනය කලේ දේශපාලඥයින් විසිනි. පුරාවස්තූන් හෝ පෙ!රානික දේවල් විනාශ කිරීම තරම් අපරාධයක් තවත් නැත. මේවා ආරක්ෂා කිරීමට ආණුඩ්වට බැරි බව ඉතාම පැහැදිල්ය. ඇතම් අවස්තාවන් වලදී හොරාගේ අම්මාගෙන් පේන ඇසීමට ද සිදුවේ. ඒ නිසා ජනතාවට හිමි මෙම වස්තූන් ආරක්ෂා කිරීමට ජනතා බලයක්ම අවශ්‍ය වේ. මෙය මතවාදීමය සහ පොදු සමාජ ව්‍යාපාරමය තත්වයක් බවට පත්ව තිබේ.

    ReplyDelete
  2. අපි කවුරැවත් අපේ ඇස් දෙකෙන් අපේ පුක දැකලා තියෙනවාද. හැබැයි කවුරැත් දන්නවා පුක තියෙනවා කියලා. මේවට CTB එකේ හොද කතාවක් තියෙනවා. ඒ තමයි අපේ පුකේ අපි අැරගෙන ගමට යන්න යනවෝ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා