ජවිපෙ දැන් දත කන්නේ රාජමේනියාව හා පවුල්වාදය යන මාරාන්තික රෝගවලින් පැසවා ඇතුළෙන් කුණු වෙමින් තිබෙන මේ ධනේශ්වර තුවාලය හොඳ කර දෙන්න ද?

(2009 අගෝස්තු 21 - W3Lanka) හීනෙන් නැගිට්ටා සේ හිටිහැටියේ ජවිපෙ මහින්ද රාජපක්ෂ රජයට කියා සිටින්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට රජය තමන්ට පොරොන්දු වී ඇති බැවින් දැන් වහා එය කළ යුතු බවයි. 


1994දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ නිහාල් ගලප්පත්ති අවසාන මොහොතේ අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස් වූයේ ද එවකට පොදු පෙරමුණේ ජනාධිපති අපේක්ෂිකා චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංග විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට තමන්ට පොරොන්දු වූ බව කියා ය. ඒ මීට පසළොස් වසකට පෙරයි.


විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන බවට වන පොරොන්දුව ද ඇමති මණ්ඩලය අර ගානට මේ ගානට බස්සනවා යි දෙන පොරොන්දු වැනි ම වූ තවත් එක් ඡන්ද පොරොන්දුවක් හෙයින් ජනතාව ඡන්දයෙන් පසු එසේ වනු ඇතැයි බලාපොරොත්තු වන්නේ නැත. ජවිපෙට ද 2005 සිට 2009 වන තෙක් එය අමතක ව තිබිණි.



එක් එක් දේශපාලන පක්ෂවලට අවශ්‍ය අයුරින් මැතිවරණ ක්‍රමය හෝ ව්‍යවස්ථාව හෝ කොටස් වශයෙන් සංශෝධනය කිරීමට රජය සූදානම් නැතැයි ද ජනතාව ඉදිරි මැතිවරණයකදී ලබා දෙන තුනෙන් දෙකේ ජනවරම අනුව රටට යහපතක් වන අයුරින් සියල්ල එකවර සංශෝධනය කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සූදානම් බව ද දේශපාලන විසැඳුමක් සඳහා ජාතික එකඟතාවකට එළැඹීමට ජනාධිපතිවරයා අදහස් කරන බව ද ඉදිරි ජනාධිපතිවරණයේ දී එය ජනතාවට ඉදිරිපත් කොට ඒ අනුව විසැඳුම් සොයන බව ද ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී 19දා පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

කාපු බීපු වෙලාවල්වලට කියන ඒවාත්, ඡන්දවලට පෙර ගහන ගිවිසුමුත් දෙක ම වැඩිය ගනං ගත යුතු ඒවා නොවේ. විධායක ජනාධිපතිකමේ රස දන්නා කිසිවෙක් එය අහෝසි නොකරති. එය චන්ද්‍රිකා බංඩාරනායකට, මහින්ද රාජපක්ෂට පමණක් නොව සෝමවංශට හා වීරවංශට ද පොදු ය. 


අල්ලේ නැටවිය හැකි රූකඩයක් කිරීමට හිතාගෙන මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමට ඡන්ද වර්ජනයෙන් උර දුන් එල්.ටී.ටී.ඊ. සංවිධානය දැන්  වළ පල්ලේ ය. ජවිපෙ වළ ගැට්ටේ ය. මේ දෙගොල්ලන්ගේ පදවලට නැටූ ජනතාව දැන් වළවල් වටේ ද නටති. 


ලංකාවේ විප්ලවය කිරීමේ කොන්ත්‍රාත්තුව තමන්ට ලැබී ඇතැයි සිතාගෙන සිටින ජවිපෙට නොතේරෙන කරුණක් වන්නේ ලංකාවේ පසුගාමී ධනවාදයට පැවැත්ම සඳහා විධායක ජනාධිපති නම් ව්‍යවස්ථානුකූල ඒකාධිපති ක්‍රමයත් මදි වී වැඩවසම් ස්වරූපී රජකෙනෙකුත් ඕනෑ වී තිබෙන බවයි.


ලංකාවේ ධනේශ්වර ක්‍රමයට තිබූ ලොකුම අභියෝගය වූ සුළුතර ජාතීන්ගේ රාජ්‍ය ප්‍රතිසංස්කරණ ඉල්ලීම පරාජය කිරීමට සිංහල දිළින්දන් පෙළගස්වමින් අත් උදව් සැපයූ ජවිපෙ දැන් දත කන්නේ රාජමේනියාව හා පවුල්වාදය යන මාරාන්තික රෝගවලින් පැසවා ඇතුළෙන් කුණු වෙමින් තිබෙන මේ ධනේශ්වර තුවාලය හොඳ කර දෙන්න ද?



පසුගිය මැතිවරණ ප්‍රතිඵල දෙස බැලීමේ දී ජවිපෙට ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට හෝ තවත් පක්ෂයකට සහය දීමට හෝ තරම් ඡන්ද පදනමක් නොමැති බැවින් මෙවැනි ඉල්ලීම් කරන බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇමැතිවරයා කියයි. 


ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ වණය සුව කර ගන්නට ඉඩ දී පීඩිත ජනතාවන්ට සිදු වි තිබෙන්නේ කුමක්දැයි සොයන්නට උත්සාහ ගන්නවා නම් ජවිපෙට පස්ස බිම ඇනී තිබෙන මේ මොහොත අර්ථාන්විතව පසු කර ගත හැකි වනු ඇත.

Comments

  1. මේ ලිපියෙන් පැහැදිලි වන එක් කරුණක් නම් ඔක්කොම එකගොඩේ බවයි. රාජපක්ෂකරණය වී ඇති ආණ්ඩුවත්, ඒ පසු පස ප්‍රතික්‍රියාකාරීව යන ජවිපෙත්, එයට එරෙහි ව ලියන ත්‍රී වීත් ඊට පසුව ලියන මමත් කරන්නේ මේ ක්‍රමය ආරක්ෂා කරගැනීම සදහා පැලැස්තරවාදීව වැඩ කිරීමයි. ලංකාවේ දේශපාලනය කිසි විටෙකත් පොදු ජනතාව සදහා සාර්ථක වී හෝ දිනා නැත. ඉතිං මේ කුණු වු දෙව පසුපස ලිවීම හෝ ක්‍රිටික් කිරීම ද එහිම එකක් බවට පත්වේ. පිලිතුරු හොයන්න වෙන ප්‍රශ්ණ ගණනකි. මොකද අපි කරන්නේ.....

    ReplyDelete
  2. මෙම අඩවියේ යම් වාමවාදී හැගවුමක් තියෙන නිසයි මේ කමෙන්ට් එක දාන්නෙ.
    විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන්න කියන එක ඉස්සරහට ගැනීමේ වැදගත්කම් කිහිපයක් තියෙනවා.
    මේ ඉල්ලීම ලේසියෙන් මග හැර යන්න පාලකයන්ට (ශ්‍රීලනිපයට)බැහැ.අනිත් එක මේ සටන් පාඨය සමාජයට ඒත්තු ගැන්විය හැකි මිනිසුන් ඒකරාශී කල හැකි කේන්ද්‍රයක්.රාජපක්ෂ ආන්ඩුව ජනප්‍රියත්වයේ උපරිමයේ ඉන්න වර්තමාන මොහොත තුල ඒකට අභියෝග කරන්න මේ වගේ සටන් පාඨයක් බොහොම තීරනාත්මක කරගන්න පුලුවන්.මීට පක්ෂව සමාජ මතය ගොඩනැගෙන්න ගත්තොත් ඒක මග හරින්න යන එක පාලකයන්ට අමාරුයි.මග හරින්න උත්සාහ දැරීම පවතින බල ව්‍යුහය සෙලවීමකට ලක්කරන්න ඉඩතියෙනවා.
    යම් හෙයකින් මේ ඉල්ලීම ඉදිරියේ ආන්ඩුව අවනත භාවයකට ආවොත් - විධායක ක්‍රමය අහෝසි කරන්න තීරනය කලොත්-ඒක සිස්ටම් එකට අනාගතයේදී බරපතල අවාසියක් බවට පෙරලන්න පුලුවන්.77න් පස්සේ සිස්ටම් එක ආරක්ෂා කිරීමේදී විධායක ක්‍රමය අතිශය තීරනාත්මක වුනා.ඒක ආපස්සට අගලකින් හරි තල්ලු කරනවා කියන්නේ වාමාංශික දෟෂ්ටියකින් බැලුවම සෑහෙන ඉදිරි පියවරක්.
    විධායක ක්‍රමයට විරුද්ධ බලවත් මතයක් හදනවා කියන්නෙ මේ නිසා කොයි අතින් බැලුවත්(ආන්ඩුව ඒක පිලිගත්තත් නැතත්)සාධනීය කාරනාවක්.
    ජවිපෙ වාමාංශිකයන් හා ජවිපෙ නොවන වාමාංශිකයන් සාම්ප්‍රදායික විදිහට එකිනෙකාට කුල මල කියාගන්න එක අඩුකරල අලුත් විදිහකට කල්පනා කරනවා නම් තමයි හොද

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා