ජවිපෙ පෙළපාලිය දේශපාලන සන්ධිස්ථානයක්; ජනාධිපතිවරණයේ මිතුරෝ මහ මැතිවරණයේදී ප්‍රතිවාදීහු වෙති

මැද්දේ තට්ටයෝ කට්ටයෝ ය.
(2010 පෙබරවාරි 17-W3Lanka)  විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙස ඉල්ලමින් පුංචි බොරැල්ලේ සිට ලිප්ටන් වටරවුම දක්වා දැවැන්ත පෙළපාලියක් පැවැත්වූ ජනතා විමුක්ති පෙරමුණ දිවයින පුරා පසුගිය සමයේ පැවති උද්ඝෝෂණවල එක් අවදියක් අවසන් කළේය. 


මෙම පෙළපාලියත් සමග ‍සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීම සඳහා වන උද්ඝෝෂණවල පාලනය ජවිපෙ මුළුමනින් ම සියතට ගෙන තිබේ. මීට පෙර දිවයින පුරා පැවති උද්ඝෝෂණ පොදු ස්වභාවයක් ගත් අතර එක්සත් ජාතික පක්ෂය නාමික වශයෙන් ඒවාට සහභාගි විය. සටන්කාමී සංස්කෘතියක් නැති එජාපය පරාජය හමුවේ පසුබැස මුළුගැන්වෙන තත්වයක සිටි අතර ජවිපෙ සමග පෑහීමට එයට අපහසු විය. 


එහෙත්, ඉදිරි මහ මැතිවරණයේදී අලියා ලකුණ අවධාරණය කිරීම හරහා ජවිපෙ බැහැර කර වෙන ම පෙරමුණක් යටතේ තරග කිරීමේ එජාප උපායමාර්ගය හමුවේ දැනට හුදකලා වී සිටින සරත් ෆොන්සේකා ඉදිරියෙන් තබාගෙන එජාපයට තරගයක් දී විපක්ෂ බලය අත්පත් කර ගැනීමේ උත්සාහයක් වෙත ජවිපෙ මේ වන විට යොමු වී ඇත. 


එක්සත් වන ලෙස එජාප සහ ජවිපෙ නායකත්වයන්ට පහළින් එල්ල වූ බලපෑම කෙරෙහි එජාප මෙන් ම ජවිපෙ නායකත්වය ද කටයුතු කළේ උපායශීලී ලෙස ය. මෙම එක්සත්භාවය ගොඩනඟා ගැනීමේ ඇත්ත උවමනාවක් දෙපක්ෂයේ ම නායකත්වයට නැත. එහෙත්, එජාපය ෆොන්සේකා අතහැර දැමීම හා පොදු විපක්ෂයක් ලෙස එක්ව ආණ්ඩුවට තරගයක් දීමට අකැමැත්තක් දක්වමින් ජාමෙ බේරාගැනීමේ ආරක්ෂණවාදී උපායමාර්ගයක් වෙත තල්ලු වීම සදාචාරාත්මක ප්‍රශ්නයක් ලෙස ඉස්මතු කිරීමට ජවිපෙ සමත් වී තිබේ. මෙම තත්වය හමුවේ ඉදිරි මහ මැතිවරණයේදී එජාපයට තියුණු ම තරගයට මුහුණ දීමට සිදු වන්නේ ආණ්ඩුවෙන් නොව ජවිපෙන් වීමට බොහෝ සේ ඉඩ තිබේ. 


විපක්ෂයේ බෙදීමත් සමග ආණ්ඩුව මහ මැතිවරණයේදී ඉතා පහසු ස්ථානයක සිටියි. එහි ඉල්ලීම වී තිබෙන්නේ තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබා ගැනීමයි.  

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා