ගබ්සාව නීතිගත කළ යුත්තේ ඇයි?


(2010 පෙබරවාරි 07-W3Lanka)  නීති විරෝධී ගබ්සා කිරීම් සම්බන්ධයෙන් ජාතික රෝහලේ වෛද්‍යවරයකුගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව අද ටයිම්ස් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කර ඇත. මෙම වෛද්‍යවරයා දැනටත් ඉන්නේ මෙම චෝදනාවට ම ඇප පිටයි. ඔහු විසින් කරන ලද ගබ්සාවකින් ගිලන් වූ කාන්තාවක් දැනට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබයි.
දිනකට ශ‍්‍රී ලංකාවේ 650-1000 අතර ගබිසා ප‍්‍රමාණයක් සිදු වන බව ශ‍්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ වෛද්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය ශ‍්‍රීන් විලත්ගමුව  පැවසූ බව පෙරඹර වෙබ් අඩවිය වාර්තා කළේය..
” වැඩිපුර ගබ්සා කරන පිරිස ඉන්නේ විවාහක පිරිස. මේකට හේතුව තමයි ඒ අය කියන විදියට පළවෙනි දරුවාට වයස නැහැ. නැත්නම් දරුවන් වයසින් වැඩියි. මෙය නීතියට විරුද්ධයි. එක කවුරුත් දන්නා කාරණයක්.” වෛද්‍ය විලත්ගමුව පැවසූ බව එම වෙබ් අඩවිය පවසයි. 
අපගේ අධ්‍යයනවලින් හඳුනා ගත් ගබ්සාවනට හේතු කීපයක් මෙසේ ය:
දූෂණයට ලක්වීම (ගබ්සාව නීත්‍යනුකූලව කර ගත හැකි වීමට ඉඩක් තිබේ.)
අවිවාහක ගැබ් ගැනීම්
දරුවන් අතර පරතරය අඩු වීම
දරුවන් අතර පරතරය වැඩි වීම හෙවත් ලොකු ළමයින් සිටියදී ළමයින් ලැබෙන්නට යාම. (මෙහිදී අම්මාත් තාත්තාත් සංසර්ගයේ යෙදී ළමයින්ට අසු වීම නිසා ඔවුන් වරදකාරී හැඟීමකින් පසු වන අතර, අපට කරන්නට එපා ය කියන ඒවා ඒගොල්ලන් කරනවායි වැඩි විය පත් දරුවෝ තරහින් සිටිති. ලංකාවේ සාමාන්‍ය පිළිගැනීම අනුව ලිංගික සංසර්ගය යනු අපේ පව්කාරකම නිසා කරන බාල වැඩකි.) 
රැකියා කරන මව්වරුන්ගේ දරුවන් රැක බලා ගන්නට කෙනෙකු නොමැති වීම
දරුවකු හදා වඩා ගැනීමට ආර්ථික ශක්තියක් නොමැති වීම
මවගේ රෝගාබාධ
ගැබ් ගැනීම මවගේ ජීවිතයට අනතුරුදායක වීම (මෙහිදී ගබ්සාව නීත්‍යනුකූලය ය)
ලැබෙන්නට යන දරුවා ආබාධිතයකු වීම
මව්පියන් දරුවන්ට ආදරය නො කිරීම
ලැබෙන්නට යන දරුවා තමා බලාපොරොත්තු වන ආකාරයේ ලිංගිකයකු නො වන බව ස්කෑන් මගින් හඳුනා ගැනීම
දරුවා නිසා මවගේ රූප ශෝභාව වියැකී යාම පිළිබඳ දක්වන නො කැමැත්ත
මව්පියන් වයසින් වැඩි වීම
මේ කිසිදු හේතුවක් එකී සංදර්භයන් තුළ අසාධාරණ හේතුවකැයි අපි නො සිතමු. මන්ද ලැබෙන්නට යන දරුවා සම්බන්ධ සියලු වගකීම් දරා ගත යුත්තේ මව්පියන් මිස නිති දමන ආණ්ඩුව, ගබ්සා මධ්‍යස්ථාන වටලන පොලිසිය හෝ නඩු අසා හිරේ දමන උසාවි නො වන හෙයිනි.
දරුවන් ගබ්සා කිරීම තහනම් කරන ආණ්ඩුව ළදරු කිරිපිටිවලින් පවා අධික බදු අය කරයි. 2005 මහින්ද චින්තනයෙන් ගැබිණි මව්වරුන්ට දෙනවා යයි කියූ පෝෂණ මල්ලට වූ දේ දන්නේ දෙවියන් පමණි. අධික බඩු මිළ නිසා පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීමට අවස්ථාව ජනතාවට නැත. රැකියා කරන මව්වරුන්ගේ දරුවන් රැක බලා ගැනීම සඳහා විධිමත් ස්ථාන රටේ නැත. ළමයාගේ අනාගතයට සාධනීය ලෙස බලපාන පාසලකට දරුවා ඇතුළත් කිරීම යුද්ධයකි. නිදහස් අධ්‍යාපනය නමට පමණි. මුදල් කොල්ල කෑම රජයේ හා පෞද්ගලික අධ්‍යාපනයේ ප්‍රධාන පරමාර්ථයයි. අධ්‍යාපනයේ අරමුණ ළමයින් විභාගවලින් අසමත් කිරීමයි. එසේ ඉවතට විසි වන ළමයින්ට අනාගතයක් නැත. 
අනෙක් පැත්තෙන් මේ සමාජයේ ඇති කුහක අදහස් නිසා සමාජයේ ලිංගික දැනුම ඉතා දුර්වල ය. සංසර්ගය යනු හොරෙන් කළ යුතු මහා වැරැද්දක් වැනි දෙයකැයි අදහසක් සමාජයේ පැතිර පවත්නා නිසා ලිංගික රසාස්වාදය හරියට විඳ ගැනීමට සමාජය දන්නේ නැත. අනවශ්‍ය ගැබ් ගැනීම් සිදු වීමට මෙම තත්වය ද එක් හේතුවකි. 
ගබ්සාව පිටුපස මෙවැනි සමාජ, ආර්ථික කාරණා සමුදායක් ම තිබේ. ගබ්සාව කොතරම් නීති විරෝධී වුණත් එය සිදු වන්නේ මෙම පසුබිම තුළයි. ලංකාවේ දිළිඳු, කුහක, නූගත් සමාජ තත්වය වෙනස් කිරීම සඳහා කිසිවක් කිරීමට අසමත්, දරුවන්‍ට නිසි අහරක්,අධ්‍යාපනයක්, ජීවිතයක් ලබා දීමට අසමත්, තමන්ගේ දරුවන්ට පමණක් සුබ අනාගතයක් තනන පාලකයන් ඇත්තෙන්ම කරන්නේ මුළු මහත් සමාජයක ම අනාගතය ගබ්සා කිරීමයි. එවැනි පිරිසක් ගබ්සාව පිළිබඳ නීති පවත්වාගෙන යාම විකාරයකි.  
ගබ්සාව නීතිගත කළ යුතු යයි අප කියන්නේ එබැවිනි. අඩු තරමේ අනාරක්ෂිත ගබ්සාවලින් සිදු වන ජීවිත හානි හෝ එමගින් වළක්වා ගත හැකි ය. 
දෙමව්පියන් විසින් ගබ්සා කරන්නට තීරණය කරන ලද දරුවන් බලෙන් හදා වඩා ගන්නට සැලැස්වීමෙන් එම දරුවන්ගේ අනාගත ජීවිතයට සිදු විය හැකි හානිය කෙරෙහි වගකියන්නට රජය හෝ ගබ්සාවට විරුද්ධ පිරිස් සූදානම් ද? 

Comments

  1. "සංසර්ගය යනු හොරෙන් කළ යුතු මහා වැරැද්දක් වැනි දෙයකැයි අදහසක් සමාජයේ පැතිර පවත්නා නිසා ලිංගික රසාස්වාදය හරියට විඳ ගැනීමට සමාජය දන්නේ නැත"

    ඒ කතාව නම් සම්පූර්ණ ඇත්ත.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා