මගේ රටට අයි. එම්. එෆ්. සරණයි - මගේ දැයට අයි. එම්. එෆ්. සෙවණයි

(2009 අගෝස්තු 06 - W3Lanka )


මේක හරි ෂෝක් ණයක් - සියඹලා පිට්ටනිය


"ඉතා පහසුම පොලී අනුපාතයකටයි මෙම සහන ණය මුදල ලබා ගෙන ඇත්තේ. ඩොලර් යුරෝ යෙන් යන මුදල් ඒකක එකතු වු පැසක් තුළ ඒ අවස්ථාවේදී ඉල්ලුමට පවතින පොලී අනුපාතයට සමානුපාතික පොලි අනුපාතයකට අනුවයි පොලිය තීරණය වන්නේ. 1.3 % ක් තමයි පළමු වාරිකයට පොලිය තීරණය වන්නේ.

"දෙවන හා තෙවැනි වාරිකත් ඊට බොහෝ සෙයින් සමාන වෙනවා. ලෝකයේ පවතින පොලී අනුපාතයන් එක්ක ගත් විට මෙය ඉතා ලාබදායක පොලී අනුපාතයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. මාස 20 ක් තුළ වාරික 8 කිනුයි මෙම ණය මුදල අපට ලැබෙන්නේ.

"මාස 20 අවසන් වෙන්නේ 2011 වසරේ මාර්තු මාසයේ. ඉන්පසුවයි මේ ණය ගෙවන්න පටන් ගන්න වෙන්නේ. මාස 20 අවසානයේ ණය සියල්ල ලබා ගත් පසුව ණය ආපසු ගෙවීම සඳහා වසරක සහන කාලයක් තිබෙනවා. එතැන් සිට (2012 සිට) වසර 4 ක කාලයක් තුළ මේ ණය මුදල ගෙවීම සඳහා කාලයක් ලැබී තිබෙනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය කෙළින් ම යන්නේ මහ බැංකුවේ විදේශ සංචිතවලටයි. මෙම මුදල් සංවර්ධන කටයුතු හෝ ප‍්‍රාග්ධන වියදම් ලෙස යොදා ගත නොහැකි බවත්, යොදා ගත හැක්කේ රටේ ගෙවුම් ශේෂය තුලනය කර ගැනීමට පමණයි. විදේශ වත්කම් ප‍්‍රමාණය ඉහළ යාම රටට ඉතා වාසිදායක වෙනවා. අපේ රුපියල ශක්තිමත් වෙනවා. ද්වි පාර්ශ්විකව හා බහු පාර්ශ්විකව අපේ රටට ලැබීමට නියමිත ලැබීම් ඉතා කඩිනමින් ලැබීමටත් මෙය හේතුවක් වනවා. එය විදේශීය ආයෝජකයින්ගේ පැමිණීමටත් බලපානවා. රටේ ආර්ථිකය වර්ධනය වෙනවා. වෙළඳාම වැඩි වෙනවා. කර්මාන්ත ඇති වෙනවා."
-රාජ්‍ය ආදායම් අමාත්‍ය, මුදල් හා ක‍්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ජුලි 28දා දිනමිණ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකදී

සහනාධාර කපන කොන්දේසි නැහැ


"කිසිදු සහනාධාරයක් කපා හැරීමට රජය එකඟ වී නැහැ. රජය මගින් ලබාදෙන පොහොර හා සමෘද්ධි සහනාධාර කපා හැරීමක්‌ කිසිසේත්ම සිදු වන්නේ නැහැ."
-ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ජුලි 31 දින කැබිනට් පුවත්පත් සාකච්ඡාවවේදී 

ඒ වුණාට මෙහෙන් යවපු ලියුමේ තිබෙන්නේ මෙහෙමයි

"වැඩසටහන යටතේ 2009 වසරට නියමිත ආදායම් පහත වැටුණොත් හෝ වියදම් ඉහළ ගියොත් හෝ වෙනත් ජංගම වියදම් සීමා කිරීමට අපි වහා කටයුතු කරන්නෙමු. මෙයට භාණ්ඩ හා සේවාත්, පැවරුමුත් වේ. නැතිනම්, සංචිත ඉලක්කය සපුරාගැනිම පිණිස ආදායම් වැඩි කරනු ඇත."

මෙහි පැවරුම් ලෙස හැඳින්වෙන වියදම් කාණ්ඩය යටතේ මේ වසරේ රු. බිලියන 194ක් වෙන් කර ඇති අතර, එයින් රු. බිලියන 150ක් වෙන් කර තිබෙන්නේ සමෘද්ධි, පොහොර සහනාධාර සහ විශ්‍රාම වැටුප් වෙනුවෙනි. 

මෙන්න අනෙක් කොන්දේසි



2009 වසරේදී අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 7%ක මට්ටමේ තබාගැනීම හා 2011 වන විට එය 5% දක්වා අඩු කිරීම 

ඒ වුණාට මහින්ද චින්තනයේ තියෙන්නේ කොහොමද?
රාජ්‍ය වියදම් සහ අයවැය පරතරය අඩු කිරීම පමණක්ම
දක්‍ෂ මූල්‍ය කළමනාකරණයේ ලක්‍ෂණයක් ලෙස සැළකිය
නොහැකිය. එහි වැදගත්ම ලක්‍ෂණයන් වන්නේ රාජ්‍ය වියදම්
අත්‍යවශ්‍ය ආර්ථික ප‍්‍රමුඛතා ක්ෂේත‍්‍රයන් වෙත යොමු කිරීම සහ
එම වියදම්වලින් උපරිම ප‍්‍රතිඵල ජාතික ආර්ථිකයට ලබා
දීමයි. මම එම ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කරමි.

අයවැය පරතරය අඩු කරන්නේ කොහොමද? 


"දැනට ආර්ථිකයේ පවතින තත්වය නොවෙනස්ව පැවතුණොත් 2009 වසර අවසානය වන විට අයවැය පරතරය 12%ක් පමණ විය හැකි බවයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි අනුව ලංකාව සිය වියදම් රු. ට්‍රිලියනයක මට්ටමේ තබා ගත යුතුයි. එහෙත්, වසරේ මුල් කාර්තුවේ රාජ්‍ය මුල්‍ය හැසිරවීම අනුව ගත් කල මෙම වියදම ‍රු. ට්‍රිලියන 1.2ක් දක්වා ඉහළ යා හැකියි. එසේ නම් රු. බිලියන 200ක හෙවත් රු. කෝටි 20,000ක වියදම් කපා හැරිය යුතුයි. රු. බිලියන් 200ක වියදම් කප්පාදුවක් යනු දළ දේශීය නිෂ්පාදිතයෙන් 4%ක මට්ටමේ කප්පාදුවක්. ඊට අමතරව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි සැපිරීම පිණිස දළ දේශීය නිෂ්පාදනයෙන් 1%ක මට්ටමින් ආදායම ඉහළ නැංවීමට ද රජය මේ වසරේ කටයුතු කළ යුතුයි." 
-ජාත්‍යන්තර රාජ්‍ය මුල්‍ය සංගමයේ සභාපති එන්. ආර්. ගජේන්ද්‍රන් ජුලි මස අගභාගයේදී පැවති සම්මන්ත්‍රණයකදී 

මෙහෙම කපනකොට කොහොම රිදෙයිද?


විදුලිබල මණ්‌ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව, දුම්රිය දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ව්‍යවසායවලට භාණ්ඩාගාරයේ ප්‍රතිපාදන ලබා දීම අත්හිටුවීමට රජය දැනටමත් කටයුතු කරමින් සිටියි. ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව සහ විදුලිබල මණ්‌ඩලය 2011 වෙද්දී ලාභ පාඩු නොමැති මට්‌ටම දක්‌වා ගෙන එන බවට කොන්දේසියක්‌ ද මෙම ණය මුදල වෙනුවෙන් පනවා තිබේ. 

තෙල් මිළ, විදුලි බිල ආදිය වැඩි නොකර මෙය කළ නොහැකියි. මේ දෙක වැඩි වන විට මිළ වැඩි නොවන කිසිම භාණ්ඩයක් සේවාවක් නැත. 


ආයෝජන මණ්‌ඩල පනත යටතේ අපනයන ඉලක්ක කර ගත් ආයෝජකයන්ට මෙතෙක්‌ ලබාදුන් අවුරුදු 15 ක බදු සහන කාලය අවුරුදු 3 දක්‌වා අඩු කරන බවට වූ කොන්දේසියකට ද රජය එකඟ වී තිබේ. මේ පිළිබඳව මහ බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ නන්දලාල් වීරසිංහ පවසන්නේ යුද්ධයට පෙර සමයේ ආයෝජකයන් ආකර්ශනය කර ගැනීම සඳහා ලබා දුන් සහන දැන් අවහ්‍ය නැති බවයි. ‍ලෝක ආර්ථික අර්බුදයත් සමග ඇති වී තිබෙන තත්වය තුළ ආයෝජකයන් ආකර්ශනය කරගැනීම වඩාත් දුෂ්කර වී තිබියදී මහ බැංකු නිලධාරීන්ගේ මෙම හිතලු කෙතරම් යථාර්ථවාදී වනු ඇද්දැයි සැක සහිතය. 

ආදායම වැඩි කර ගන්නේ කොහොමද?


මහ බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ නන්දලාල් වීරසිංහ පවසන්නේ බදු ව්‍යූහයන් යළි සකස් කිරීම සඳහා පත් කර ඇති කොමිෂම විසින් ආදායම් වර්ධනය කරන ක්‍රම යෝජනා කරනු ඇති බවයි. නිසැකව ම, ආදායම වැඩි කර ගැනීමට රජය අදහස් කරන්නේ 3% දක්වා වැඩි කරන ලද ජාතිය ගොඩනැඟීමේ බද්ද වැනි බදු අය කිරීම වැඩි කිරීම හා පොළී පිරිවැය අඩු කිරීම වැනි ක්‍රියාමාර්ගවලිනි. රටේ දැනට සිටින ආදායම් බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව 300,000කි. එම සංඛ්‍යාව ඉහළ නැංවීමටද රජය අදහස් කරයි. රජයේ ඉහළ නිලධාරීන් රැසකට මේ අනුව බදු ගෙවන්නන් බවට පත් වීමට සිදු වනු ඇත. මෙසේ පනවන බදු අවසානයේදී ගෙවී යන්නේ සුළු නිෂ්පාදකයන්ගේ හා පාරිභෝගිකයන්ගේ සාක්කුවෙනි. එහි බර වැඩියෙන්ම දැනෙන්නේ සමාජයේ දරිද්‍රම කොටස්වලටයි. 

ප්‍රශ්න එච්චරද?


නැහැ. රජය විසින් ඉදිරිපත් කරන ලද ණය සඳහා අභිලාෂය පළ කිරීමේ ලියුමෙහි ද අවතැන් වූවන්ගෙන් 80%ක් 2009 වසර අවසන් වන විට යළි පදිංචි කරන බව තහවුරු කර තිබේ. ඒ අනුව, 225,000ක් පමණ ජනයා මේ වසර අවසන් වීමට පෙර යළි පදිංචි කළ යුතුව තිබේ. එහෙත්, තතු දත් ආරංචි මාර්ග පවසන්නේ එවැනි සූදානමක් එම ප්‍රදේශවල නැති බවයි.


කෙසේ වෙතත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි අනුව ලංකාවට සංවර්ධන කටයුතු සඳහා විදේශ ණය ලබාගැනීම ද සීමා  කර තිබේ. මෙම වැඩසටහන ක්‍රියාත්මක වන මාස 20ක කාලය තුළ ලංකාවට විදේශ ණය ලබා ගත හැක්කේ ඩොලර් බිලියන 1.7ක් පමණි. පසුගිය මාස 20 තුළ ඩොලර් බිලියන දෙකක් ණයට ගත් ලංකාවට පවතින තත්වය තුල මෙම සීමාව රැක ගැනීම අසීරු ය. අගෝස්තු මාසයේදී ආපසු ගෙවීමට නියමිත කලින් දෑවුරුදු බැඳුම්කර යටතේ ගත් ණය ගෙවීම සඳහා අලුතෙන් ණය ගැනීමට රජය දැන් ඩොලර් මිලියන 150ක අලුත් ඩොලර් බැඳුම්කර නිකුත් කිරීමට කටයුතු යොදා ඇත. ගත් ණය පියවීම සඳහා ණය ගැනීමෙන් වැළකී සිටීමේ හැකියාවක් රජයට නැති බැවින් සීමා කරන්නට වෙන්නේ සංවර්ධන කටයුතු සඳහා ප්‍රාග්ධන ණය ලබාගැනීමයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලංකාවට ලැබෙන්නේ ඩොලර් බිලියන 2.6ක් පමණි. මෙම කාලය තුළ රජය විසින් ගෙවීමට තිබෙන ණය ප්‍රමාණය හා හෙජින් ගනුදෙනුවේ පාඩුව වූ ඩොලර් මිලියන 800 එකතු වූ විට ලැබෙන බිලියන 2.6ට වඩා වැඩි බව ආර්ථික විද්‍යාඥ හර්ෂ ද සිල්වා පවසයි. රජය දැනටමත් ඩොලර් මිලියන 500ක් ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපොළෙන් ණයට ගැනීම සඳහා HSBC හා JPMorgan යන සමාගම් සමග කටයුතු කරමින් සිටියි. 

හරි ෂෝක් නේද?









 

Comments

  1. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජකයකුවන බැවින් ඉන් ණය ලබාගැනීමේ කිසිම දොසක් නොමැත. සෑම ණයදෙන ආයතනයක් සේම ජාමූඅ ද තම මුදල් රැක ගැනීම සඳහා කොන්දේසි දැමීම සාධාරන කරුණකි. එම කොස්දේසිවල අරමුණ වනුයේ ප්‍රඥාගෝචර ලෙස අයවැය මෙහෙයවීම සඳහා පාලකයනට බලකීරීමයි.එම කොන්දේසි නොමැතිනම්, ජාමූඅ ට තම මුදලුත්, රටේ ජනතාවට ආර්ථිකයත් යන දෙකම නැතිවීයනු ඇත. අන්තිම මොහොතේ හෝ බුද්ධිය පහලවී ශ්‍රී ලංකාව වැටීමට තිබූ ප්‍රපාතයෙන් ගලවා ගැනීම ගැන පාලකයනට අපගේ කෘතවේදය පිරිනැමිය යුතුයයි සිතමි.

    ReplyDelete
  2. ඔහොම ස්තූතී කරලා තව උඩින් තිබ්බම , ඊලගට උන්ට විරුද්ධව විවේචනයක් කරත් හිරේ දාන සයිz එකක් එන්නේ.උන්ට විරුද්ධව පෝස්ටර් ගහුවයි කියලත් දැන් අත් අඩංගුවට ගන්නවනේ. හොදම වැඩේ තමයි අම්බ්ලන්ගොඩ පොලීසීයෙන් මේ සතියේ කරලා තියෙන්නේ. බෝම්බ ගහනවා කියලා පාතාලේ උන්ට වෙඩි තියලා මරන්න රජයෙන් දීපු නිදහස, පෝලීසීයේ උන් අදුරන පව්ලක පව්ද්ගලික පලි ගැනීමවලට යොදවලා. අවුරුදු 23ක කොල්ලෙක් හොරකමකට කියලා සැකපිට අත් අඩංගුවට අරන් පස්සෙ බෝම්බයක් ලග තියා ගත්තා කියලා අවුරුද්දකට හිරේ යවලා.ගමේ මිනිස්සු දන්නවා, එ කොල්ලා බෝම්බයක් දැකලවත් නෑ කියලා. රජයෙන් මිනිස්සුන්ගෙ ඇගේ පටවන නය බරයි, නිදහස සීමාකිරීමයි,විරැකියාවයි, උන්ගෙ පාතාලය අරක්ශා කර ගැනීමයි, දුශනයයි, පොලීසීයේ බලු වැඩයි උපරිම වෙලා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා