2009-08-29

මහින්දට එදිරිව මධ්‍යම පංතිය; අරගලය යළි දකුණට

අජිත් පැරකුම් ජයසිංහ

ප්‍රධාන වශයෙන් සියයට හතළිහක වැටුප් වැඩි වීමක් ද ආලවට්ටම් වශයෙන් නව විදුලි බල පනත ඉල්ලා අස් කර ගැනීම ඇතුළු තවත් සටන් පාඨ ද ඉදිරිපත් කරමින් බලාගාර සේවකයන් ද ඇතුළුව සමස්ත ලංකා විදුලි බල මණ්ඩලයේ ම කාර්ය මණ්ඩලය අගෝස්තු 28දා එක් දින වැඩ වර්ජනයක් දියත් කරන්නට නියමිත බව මේ සටහන තබන මොහොත වන විට ලංකා විදුලි සේවක සංගමය දැනුම් දී ඇත. විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති 50ක් පමණ තිබියදී මෙම වර්ජනයට සහභාගි වන්නේ සමිති අටක් පමණක් බැවින් එය සාර්ථක නො වනු ඇති බව විදුලි බල හා බලශක්ති ඇමති ඩබ්. ඩී. ජේ. සෙනෙවිරත්න පවසයි.

ලංවිම සේවකයන්ට අවසන් වරට වැටුප් වැඩි කිරීමක් ලැබී ඇත්තේ 2006දී ය. 2009දී මීළඟ වැටුප් වැඩි වීම ලැබිය යුතු මුත් විදුලි බල හා බල ශක්ති ඇමතිවරයා පවසන්නේ රාජ්‍ය දෙපාර්තමේන්තු, සමාගම්, ව්‍යවස්‌ථාපිත මණ්‌ඩලවල සේවකයන්ට 2009 වසර සඳහා වැටුප් වැඩි වීම් ලබා නො දීමට රජය තීරණය කර තිබෙන නිසා නියමිත වැටුප් වැඩි වීම ලංවිම සේවකයන්ට ලබා දිය නොහැකි බවයි. 2006න් පසු රජයේ හා රාජ්‍ය ව්‍යවසායවල සේවකයන්ට වැටුප් හා දීමනා ලබා දුන් අවස්ථාවලදී ලංවිම සේවකයන්ට ඒවා ලබා නොදුන්නේ 2009දී නියමිත වැටුප් වැඩි විමත් සමග ඒවා ලබා දෙන බවට පොරොන්දු වෙමින් බව වෘත්තීය සමිති කියති.ලංකා විදුලිබල මණ්‌ඩලයේ සේවකයන්ට වසර තුනකට වරක්‌ වැටුප් වැඩි කළ යුතු වුව ද, 2008 වසරේ අග භාගයේදී කැබිනට්‌ මණ්‌ඩලය රැස්‌වී 2009 වසරේදී රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයන්ගේ වැටුප් වැඩි නොකර සිටීමට තීරණයක්‌ ගත් බව ද ඇමැතිවරයා පවසයි. මීට අදාළ චක්‍රලේඛය සියලු රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන, මණ්‌ඩල හා සංස්‌ථා වෙත එවා තිබෙන බව ද ඇමැතිවරයා කීවේය.

මේ වන විට ලංවිම දිනකට රු. කෝටි පනහක පාඩුවක් ලබයි. ලක්ෂ 36ක් වන දිවයිනේ විදුලි පාරිභෝගිකයන්ට සේවය සැලසීම සඳහා 14,000ක සේවක පිරිසක් ලංවිමේ සිටිති. දිවයිනේ වෙනත් ඔනෑම රාජ්‍ය ව්‍යවසායක සේ මෙහි ද සිටින සේවකයන් අතර ජීවිත අනතුරු මැද විදුලි කම්බි අතපත ගාමින් අව් වැසි නො බලා වෙහෙසෙන කම්කරුවන් වැනි අත්‍යවශ්‍ය කාර්යයන්හි යෙදෙන වෘත්තිකයන් සේ ම විවිධ වකවානුවලදී දේශපාලකයන් විසින් පුරවන ලද හරි හමන් වැඩක් නැතිව පඩි කන විශාල පිරිසක් ද වෙති. රැකියා සුරක්ෂිතභාවය, කුසලතා නො මැතිව රැකියාවල යෙදීමට හැකි වීම, සාපේක්ෂ වශයෙන් අඩු වැඩ ප්‍රමාණයක් කිරීමට ඇති අවස්ථාව වැනි කාරණා නිසා ලංකාවේ මධ්‍යම පංතිකයන් බොහෝ දෙනෙකුගේ සිහිනය වන්නේ රජයේ රැකියාවක් කිරීමයි.

ලංකාවේ ධනවාදී ක්‍රමයේ විශේෂ ලක්ෂණයක් වන්නේ දේශපාලන බලය බොහෝ දුරට මධ්‍යම පංතිය අත තිබීමයි. මේ මධ්‍යම පංතිය පැවැත්ම තහවුරු කර ගන්නේ රාජ්‍ය සූරාකෑමෙන් පංගුවක් අනුභව කරමිනි. විශේෂයෙන් ම වත්මන් පාලක රෙජිමයේ බලය දරා සිටින ප්‍රධාන කුළුනු වන්නේ රාජ්‍ය සූරාකෑමෙන් විශාල ප්‍රතිශතයක් ගිලින අමාත්‍ය, මන්ත්‍රී, පළාත් සභික, පළාත් පාලන සභික දේශපාලකයන් හා ඔවුන්ගේ කාර්ය මණ්ඩල, රජයේ දෙපාර්තමේන්තු, සමාගම්, ව්‍යවස්‌ථාපිත මණ්‌ඩල ආදියෙහි සේවකයන් සහ පෞද්ගලික සේවා ආර්ථිකයේ බැංකු, සන්නිවේදන වැනි අංශවල සේවය කරන පිරිස් ආදියෙන් සැදුම් ලත් මධ්‍යම පංතික බලවේගය විසිනි. භාණ්ඩ වන්දනාව පරිභෝජනය ආගම කර ගත්, අඩුවෙන් වැඩ කර, වතු කම්කරුවන්, ඇගලුම් කම්කරුවන් හා මැද පෙරදිග වහල් ශ්‍රමිකයන් වැනි සැබෑ වැඩ කරන ජනයා විසින් නිෂ්පාදනය කරනු ලැබූ අතිරික්ත ශ්‍රමයෙන් වැඩියෙන් පඩි ගැනීම සඳහා කරන සටන් වෘත්තීය අරගල ලෙස නම් කරගෙන සිටින මේ සමාජ පංතිය සතුටු කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. ප්‍රගතිශීලී සමාජ බලවේගයක් නො වුණ ද මෙම පංතියේ පහළ ස්ථරය පීඩිත සමාජ බලවේගයකි.

පරිප්පු, සීනි, සුදුළූනු වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිළ මේ දිනවල වේගයෙන් ඉහළ යමින් තිබේ.  රජය ටින් මාළු කිලෝවකට රුපියල් 85 ක්‌, සීනි කිලෝ වකට රුපියල් 16 ක්‌, පෙට්‍රල් ලීටරයකට රු. 50කට වැඩි ගණනක්, දුරකථන ඇමතුමක මිළෙන් 32%ක් ආදී වශයෙන් අධික බදු අයකරමින් කරන ප්‍රධාන කාර්යයක් වන්නේ ගෙවන බදුවලට සාපේක්ෂව අවම මහජන සේවයක් සපයන මෙකී අකාර්යක්ෂම වූ ද, කරටියේ සිට මුදුන් මුල දක්වා ම දූෂිත වූ ද දැවැන්ත රාජ්‍ය අංශය නඩත්තු කිරීමයි. එහෙත් වැඩි වන බඩු මිළ මෙම මධ්‍යම පංතියේ පහළ ස්ථරවල භාණ්ඩ සිහින බිඳ දමා ජීවිත දුෂ්කර තත්වයට පත් කර තිබේ. ජවිපෙ මෙකී මධ්‍යම පංතියේ පහළ තලයේ දේශපාලන දැක්ම හැසිරවීමෙහි ලා අතිශය දක්ෂ ය. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට එසවීම සදහා මෙම බලවේගය බලමුළුගැන්වූයේ ද ජවිපෙ විසිනි. ජවිපෙ දැන් නැවතත් මේ පංතියේ නාඩි අල්ලන්නට පටන් ගෙන තිබේ. ආණ්ඩුවත් එක්ක හැප්පනේන එපා යයි ජනාධිපතිවරයා පැවසූ බව විදුලිබල ඇමතිවරයා කී බව කියන ලංකා විදුලි සේවක සංගමයේ රන්ජන් ජයලාල් එය බරපතල ප්‍රකාශයක් බව ද පවසයි. ජවිපෙ විසින් උස්සා දෙන ලද බෝලයෙන් ඩෑෂ් ගැසූ ජනාධිපතිවරයා දැන් බෝලය උස්සා ගැනීමට හෙවත් මේ පංතියේ සහාය දිනා ගැනීමට වෙනත් ක්‍රම සොයන්නට සූදානම් බව මෙයින් අපට හැ‍ඟේ.

කෙසේ වෙතත්, රජය මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. මේ වසරේ රු. කෝටි 85,000ක් වෙතැයි අපේක්ෂා කරන ලද රාජ්‍ය ආදායම කෝටි 10,000කින් පමණ අඩු විය හැකි බව මහ බැංකු මූලාශ්‍ර උපුටා දක්වමින් පසුගිය ඉරිදා ලංකාදීප පුවත්පත වාර්තා කළේ ය. මෙම සංදර්භය තුළ මේ වසරේ තබා ලබන වසරේවත් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම පහසු වන්නේ නැත. ‍ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය ලබා ගැනීම සඳහා 2009දී රාජ්‍ය අය වැය පරතරය දළ දේශීය නිෂ්පාදනයෙන් 7% දක්වා අඩු කිරීමට රජය එකඟ වී තිබේ. රාජ්‍ය ආදායම් හීන වන තත්වයක් තුළ ආදායම් වැඩි කර ගැනීම සඳහා තව තවත් බදු ඉහළ නැංවීම හැර අන් විකල්පයක් රජයට නැත. එහි ප්‍රතිඵලය වන්නේ තව තවත් බඩු මිළ ඉහළ යාමයි. එසේ කර හෝ අයවැය ඉලක්ක සපිරීම අතිශය දුෂ්කර ය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉදිරි වාරික ලබා ගැනීම සදහා රජය‍ට බොහෝ කනිපින්දම් ගසන්නට සිදු වන බව නිසැක ය. කොටි සංවිධානය පරාජය කර අලුතෙන් ඈඳා ගන්නා ලද ප්‍රදේශ නිෂ්පාදනයට හා වෙළඳපොළට යා කර ගැනීම ආර්ථික වර්ධනය සඳහා බලාපොරොත්තු තැබිය හැකි එක් සාධකයකි. එහෙත්, බිම් බෝම්බ ඉවත් කිරීම, නව ආරක්ෂක සැලසුම් යටතේ දෙමළ ජාතිකවාදයට ඉඩක් නො තබමින් අවතැන් වූ ජනයා යළි පදිංචි කිරීම හා එම පළාත්වල නිෂ්පාදනය නැංවීම සඳහා කාලය අවශ්‍ය ය. එසේ ම යටිතල පහසුකම් සංවර්ධනය සඳහා විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය ය. ආයෝජකයන් හා සංචාරකයන් ආකර්ශනය කර ගැනීම ද ක්ෂණික ව කළ නො හැක. රජය යුද්ධය ජයගැනීමේ ප්‍රතිලාභයක් ලෙස ආර්ථිකයේ වේගවත් වර්ධනයක් අපේක්ෂා කළ හැකිමුත්, ලෝක මුල්‍ය අර්බුදය, ආනයනවල මිළ ඉහළ යාම, අපනයන ආදායම් අඩු වීම, යුරෝපා සංගමයෙන් ජී.එස්.පී ප්ලස් බදු සහන ලැබේ ද නො ලැබේ ද යන කරුණ, රාජ්‍ය අංශයේ අකාර්යක්ෂමතාව, රජයේ අධික ණය ගැනීම් නිසා බැංකු පද්ධතියෙන් ආර්ථිකයට ඵලදායී දායකත්වයක් නො ලැබීම, අසීමිත දූෂණය ආදී හේතු මත සමාජයේ දිළිඳු කොටස්වලට සහනදායී තත්වයක් ඇති වේ යයි අපේක්ෂා කිරීම දුෂ්කර වේ.

රාජ්‍ය දේශපාලනයේ ආධිපත්‍යය ධනපති පංතිය අතින් ගිලිහී තිබේ. ජාතිවාදය, ආගම්වාදය, ගම උත්කර්ෂයට නැඟීම, බටහිර විරෝධය, ප්‍රාචීනවාදය, ඉන්දීය විරෝධය හා මධ්‍යම පංතික ක්‍රම විරෝධය වැළඳ ගත් වත්මන් පාලනයේ අසම්මත දේශපාලනයට මුහුණ දීමට සිදු වන්නේ කිසිදු දේශපාලන න්‍යායධරයකු විසින් මෙතෙක් විග්‍රහ කර නැති අභියෝග රැසකටයි.

කොළඹ රජය උතුර සහමුලින් ම පාහේ පරාජය කර තිබේ. මෑත අනාගතයේදී උතුර රජයට තර්ජනයක් වේ යයි සිතිය නොහැකි ය. දැන් අරගලය දකුණට මාරු වී තිබේ. උතුර අනෙකා කරගෙන හෙවත් දෙමළ ජාතිකවාදය අනෙකා කරගෙන බලවත් වූ දකුණේ සිංහල-මූලික අතරමැදි පංතියට දැන් යළි තම ප්‍රතිමල්ලවයා තමන් අතරින් ම හමු වෙමින් තිබේ.