නූතනත්වය හා ගතානුගතිකත්වය අතර විභේදනය නිර්මානය කරන මහින්ද
මේ වන විට ආණ්ඩුවත්, විපක්ෂයත් පැහැදිලිව හඳුනාගත නො හැකි අමුතුම පාලනයක් ලංකාවේ බිහි වී තිබේ. එය කෙතරම් අවුල් සහගත තත්වයක් ද යත් පාර්ලිමේන්තුවේ විපක්‍ෂනායක ධුරය හිමිවිය යුත්තේ කාටද යන්න තමන්ටද ගැටලුවක්‌ව ඇතැයි කතානායක චමල් රාජපක්ෂ මාර්තු 24 දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය. මේ පිළිබඳ කතා කරමින් ජවිපෙ නායක අනුර කුමාර පෙන්වා දුන්නේ මෙය හවුල් ආණ්ඩුවක් බවත්, ආණ්ඩුවට සම්බන්ධ වූ පක්ෂයේ ම කොටසක් විපක්ෂයේ ද සිටීම පාර්ලිමේන්තු සම්ප්‍රදායට හා ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර නැති බවත් ය. එහෙත්, 2005 සිට ම මේ තත්වය තිබිණි. විපක්ෂ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ආණ්ඩුව සමග එක් වී හවුල් ආණ්ඩුවක ස්වරූපයෙන් කටයුතු කරද්දී එජාපය විපක්ෂ නායක ධුරය ද හෙබවූයේ ය. මහින්දගේ දෑත් ශක්තිමත් කරන්නට ගිය එජාප මන්ත්‍රීවරු කිසිවෙක් තමන් එජාපයෙන් ඉවත් වූ බව නිල වශයෙන් පිළි ගත්තේ නැත. එදා තත්වයත් අද තත්වයත් අතර වෙනස වන්නේ එදා විපක්ෂ නායකයා එය අනුමත නො කිරීම හා අද විපක්ෂ නායකයා එය අනුමත කිරීම පමණි. මේ අනුමත කිරීම ද ඇත්තෙන් ම වචන පමණි. එදා මේ චමල් රාජපක්ෂට ම මෙවැනි ගැටලුවක් එදා ඇති වූයේ නැත. මහින්ද රාජපක්ෂගේ මූලික...