මේ සිස්ටම්එකටනම් ඔබම තමාය (උතුමාණන්ට විවෘත ලියුමක්)

සුබ උපන්දිනයක් වේවා!
මෙම ලේඛකයා කිසිකලෙක ඔබතුමාට ඡන්දයක් දී නැත. දැනටනම් දෙන්නට බලාපොරොත්තුවක්ද නැත. එයට හේතුව ඔබතුමාගේ ජාතිවාදයෙන් තෙම්පරාදු කරන ලද ධනවාදී හා ඒකාධිපතිවාදී දේශපාලන ප්‍රතිපත්ති අපට කිසිසේත්ම ගෝචර නොවීමයි.

සුළුතරයක් වන අප වැනි අයට ගැලපුණත්, නැතත්, ඔබේ ප්‍රතිපත්ති මේ රටේ බහුතරයක් වන දූෂිත ජනතාවට හොඳින් ගැලපේ. ඒ නිසා ඔබතුමා මේ රටේ ජනාධිපති ලෙස වැජඹෙනඑකට අප විරුද්ධවීමෙන් පලක් නැත.

ඔබතුමා මේ රටේ ජනතාවට ඉදිරියෙන් සිටිමින් ඔවුන්ට මග පෙන්වන නායකයකුට වඩා ඒ ජනතාව පස්සේ සිට උන් යන අත බලා, කෙවිටෙන් තළා රැළම ඒ පැත්තට දක්කමින් තමනුත් හයියෙන් හයියෙන් ඒ පැත්තට යන අපූරු ගොපල්ලෙකි.

ඔබතුමාට විරුද්ධ අය මොන මොනවා කීවත්, ඔබතුමා විසින් ලංකාවේ දැවැන්ත විප්ලවයක් සිදුකර තිබෙන බව පිළිගැනීමට සිදුවේ. මේ විප්ලවය කුමක්ද කියා හඳුනාගතයුතුය.

පසුගිය දිනවල ලංකාවේ සැරිසැරූ ලෝකබැංකු කළමනාකාර අධ්‍යක්ෂවරිය ඔබේ ආණ්ඩුවට ප්‍රශංසා කළාය. ඒ ලෝකබැංකුවට ලංකාව සම්බන්ධ කළ ප්ලග් ගැලෙව්වාය කී ඔබ රනිල් වික්‍රමසිංහටත් වඩා හොඳට ලෝකබැංකු වැඩසටහන හෙවත් ධනවාදය ලෝකබැංකුවේ ආධාරත් නැතිව ගිනි පොළියට ගත් ණයවලින් ඉදිරියට ගෙන යන නිසාය.

ලෝක බැංකුව අප්සෙට් වී සිටින බව පෙනෙන්නේ ඔබ විසින් නිර්මානය කර තිබෙන ආදායම් විෂමතාව නිසා මේ යන ගමන කඩකප්පල් වේද කියාය.

“It is very encouraging to see high growth in Sri Lanka, especially following the end of the war. However, the challenge for Sri Lanka is to sustain this impressive performance over the medium to long term and reduce inequality among provinces and income groups,” - WB Managing Director Sri Mulyani Indrawati

එහෙත්, ඇත්තෙන්ම ලෝකබැංකුවට අප්සෙට් ඔබගේ ආර්ථික ක්‍රමවේදය තුළ පෞද්ගලික අංශයට ආයෝජන ප්‍රජාතන්ත්‍රවාදය අහිමිවීම නිසා වන්නට පුළුවන.  එහෙත්, මෙහිදීද ඔබ අලුත්ම ක්‍රමයක් නිර්මානය කර තිබේ. මුදල් ඇත්නම්, ඔබේ පවුලේ කොටස‍ ගෙවූවිට ආයෝජකයාට සියලු පහසුකම් හා රාජ්‍ය අනුග්‍රහය ලබාගන්නට පුළුවන.ආයෝජකයින්ට ඔය ලිබරල් කතා අදාළ නැත. ඒ නිසා ධනවාදයට ඔබ සමග පෑල්වීමේ කිසිම අපහසුවක් මටනම් නොපෙනේ. 

එතරම් සල්ලි නැති සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකාරයෝනම් නන්නත්තාරය. ඔවුන්ට කරන්න තිබෙන්නේ ඔබේ භාණ්ඩාගාර බිල්පත්, ලංකා බැංකුවේ ණයකර වැනි ඒවායේ සිය මුදල් දමා පොළියෙන් සැනසීමයි. බිස්නස් ඔබට භාරයි. ඔබ කරන්නේ සියයට අටේ පොළියට ගත් ණය ගෙවන්නට සියයට 16ට ණය ගැනීමයි. (ලංකා බැංකුවේ ණයකර නිකුතුව බලන්න) හා, හා ඔහොම යං! ඔහොම යං!

ඔබේ හා ඔබේ දරුවන්ගේ සිහින අපට අපේ සිහින බවට පත්කරගන්නට සිදු වී තිබේ. ඒ සිහින සැබෑ වේද නැද්ද යන්න දන්නේ උඩ ඉන්න‍ දෙයියෝ පමණි. ඒ සිහින සැබෑ නොවුණොත් ඔබතුමාට හා පවුලේ අය කෙසේවෙතත් අපටනම් සිදුවන්නේ පොළවේ පස්කන්නයි. ඒ නිසා උතුමාණනි ඔය හම්බන්තොට පැත්තේ කරන දේවලින් මොකක් හෝ රටට වෙන්න ඔබතුමා දිගටම බලයේ ඉන්න.

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ලෝක බැංකුව සමග එක්ව ගෙනා 'යළි පුබුදමු ශ්‍රී ලංකා' ධනේශ්වර වැඩසටහනේ තර්කය වුණේ දුප්පත්කම නැතිකිරීමයි. ඔබතුමානම් අනේ එහෙම කියන්නේ නැත. ඔබතුමාට අනුව අපේ රටේ දුප්පත්කමක් නැහැනේ. මේවා කරන්නේ මෙහේට කොරලා ඉවරවෙලා මාලදිවයිනට පාරවල් හදාදෙන්න, උගන්ඩාවට ටෙක්නිකල් කොලීජි හදාදෙන්නය. 

ඔබේ බාලපුතා අභ්‍යවකාශ තරණය ගැන සිහිනදකිමින් සිටින අතර අපට අපේ දරුවාට කන්නදීම, පාසලකට දමාගැනීම, රැකියාවක් සොයාගැනීම පවා සිහින බවට පත්වී තිබේ. කන්න, බොන්න නැතත් ආරක්ෂාවක්වත් තිබෙනවානම් කමක් නැත. එහෙමඑකකුත් නැත.

"හැමෝම හිතන්නෙ අපට හැම දෙයක්ම තියනව කියල. ඒත් ඇත්තටම ගත්තොත් අපට මුකුත් නෑ. අපට කියල ගෙයක් වාහනයක් නෑ. පොඩි කාලෙ ඉඳලම ඉඳල තියෙන්නෙ රජයේ දේපළවල. රජයේ වාහන තමයි පාවිච්චි කරන්නෙ,"යි කියන ඔබේ පුතාට මුළු රටම ඔහුගේ වෙද්දී අපේ දරුවන්ට අනාගතයක් සොයාගෙන අපට බෝට්ටුවලින් ඕස්ට්‍රේලියා යන්නට සිදුවී තිබේ.

ඔබතුමන්ගේ මහේක්ෂ ආර්ථික ප්‍රතිපත්ති වන ධනවාදයේ, ධනවාදයේ හා ධනවාදයේ ආර්ථික වෘද්ධිය පහළට කාන්දුවීම අවමය. හේතුව කාන්දුවන දෙයක් තිබේනම් මග සිටින ඔබගේ බඩගිනිකාර, කෑදර ගෝලබාලයෝ එය උරාබෙන බැවිනි. ජනතාවට ඔබ විසින් දී තිබෙන බලාපොරොත්තුව වන්නේ එවැනි බඩගිනිකාර, කෑදර ගෝලබාලයකු වීමයි.අපේ වාමාංශික සහෝදරවරු අපි කරන්නේ මොනවාදැයි අසනමුත්, ඔබේ ක්‍රමයේ බඩගිනිකාර, කෑදර ගෝලබාලයකු නොවී මෙහෙම බ්ලොග් පඩංගුවක් ලියාගෙන අල්ලට සීනි රළක් දමාගෙන් කහට උගුරක් බී සැනසෙනඑකත් මාර අරගලයකි.

තමුන්නැහේ අර ඉස්සර කතා කළ ජාතිකවාදය දැන්නම් ක්‍රියාත්මක වන්නේ දෙමළ, මුස්ලිම් ජාතිකයන්ගේ කංකෙඳිරි ජාතික ඉල්ලීම් යටපත්කිරීමට පමණි. ධනවාදයේ ප්‍රවාහයට හසු වූ මේ සුළුතර ජාතිකවාදී ප්‍රවණතාද දැන් දුබල වී තිබේ. සුළුතර ජතිකවාදී ඉල්ලීම් දුබලවීමත් සමග දැන් ඔබතුමාගේ යටහත් සිංහල ජාතිකවාදීන්ටද යනඑනමං‍ අහිමිවී තිබේ. ජාතිකවාදයට ඔබතුමාගේ ධනවාදයෙන් එල්ලවන ප්‍රහාරය දෙස මම නම් සුබවාදී ඇසකින් බලමි.

ඉදිරිගාමී දැක්මක් සංවර්ධනය කරගැනීමට අසමත් වූ ප්‍රභාකරන්ගේ දෙමළ ජාතිවාදය විසින් දෙමළ ජාතියට විනාශයේ සුරතාන්තය අතපත් කරදුන් සංදර්භයක් තුළ ජාතිකවාදයට ලංකාවේ තවදුරටත් කළහැකි කිසිවක් ඉතිරිවී නැතිබව සිංහල ජාතිවාදීන් පවා තේරුම් ගතයුතුව තිබේ. 

කොහොමින් කොහොමහරි අපි අකැමැතිවුණාට දැන් ඔබතුමාගේ පවුල මේ රටේ පවතින අමුතු ක්‍රමයේ අත්තිවාරම වී හමාරය. මේ ක්‍රමය පවත්වාගෙන යන්නට නම්, මහින්ද, බැසිල්, ගෝටා ත්‍රිමූර්තිය අවශ්‍යය.  රනිල්, සෝමවංශ, සරත් ෆොන්සේකා වැනි වෙනත් ත්‍රිමූර්තියකින් එය ප්‍රතිස්ථාපනය කරන්නට බැරිය. 

මේ සිස්ටම්එකටනම් ඔබම තමාය.

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. අනුන්ගේ ලියුම් කියවන එක හරි නැහැනේ....

    ReplyDelete
  2. අපේ රටේ බහුතරයක් වන බත් කන ගවයන්ට ටක්කෙටම ගැලපෙන ගොපල්ලෙක් සෙට් වෙලා තියෙන්නෙ..

    ReplyDelete
  3. කට කට කට,.............. වැරදුන අත අත අත,ප්‍රදීප් ට කොරාපු දේ කොරෝගන්ඩද හදන්නේ?????????ගෝඩා ඇඩ්‍රස් එක දන්නැවයි ?????????

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා