තුන්වන මහින්ද පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු බලෙන් පැහැරගෙන යයි; පොලිසිය හා මහින්දලා අතර ගැටුම්

(2009 අගෝස්තු 26 - W3Lanka) ඇමති මහින්ද රත්නතිලක බලංගොඩ කල්තොට පොලිසියට කඩා වැදී එහි අත්අඩංගුවේ සිටි තම ගෝලයකු මුදාගෙන ගිය බවට එම පොලිසියේ ස්ථානාධිපතිවරයා ප්‍රදේශය භාර පොලිස් අධිකාරිවරයාට පැමිණිලි කර තිබේ. 


තම ආධාරකරුවකු කල්තොට පොලිසිය විසින් හේතු රහිතව අත්අඩංගුවේ තබා ගත් බවට ඇමතිවරයා ද පැමිණිල්ලක් කර තිබේ. කල්තොට පොලිසිය කියන්නේ අදාල සැකකරු පොලිසිය ඉදිරිපිටදීම පොලිස් කාන්තාවකගේ සිරුරේ යතුරුපැදියක් හප්පා ඇති හෙයින් අත්අඩංගුවට ගත් බවයි. 

පොලිස් කාන්තාවක‍ගේ ඇඟේ යතුරු පැදියක් හැප්පීම සාමාන්‍ය පුරවැසියකුට නම් භයානක ප්‍රතිඵල ගෙන එන සිද්ධියකි. අද කාලේ හැටියට එවැන්නකු පාතාල සාමාජිකයකු වී ආයුධ පෙන්නීමට ගොස් පොලීසියට පහර දී පැන යන්නට තැත් කරද්දී පොලිස් වෙඩි පහරින් මිය යන්නට වුව ද ඉඩ තිබේ. එහෙත් අදාල සැකකරු සාමාන්‍ය පුද්ගලයෙකු නොව ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බල කණුවක් වූ නාලන්ද එල්ලාවල ඝාතනය පිළිබඳ චෝදනා එල්ල වීමෙන් අනතුරුව පවා එම පක්ෂයේ නායකයා වන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් විශේෂ සැලකිලි ලබන්නට සමත් වූ යූඇන්පියෙන් සන්ධානයට කරණම් ගැසූ ඇමතිවරයකුගේ හිතවතෙකි.



"කාපිය පොලොස්" කියා ගමේ ව්‍යවහාරයෙන් පොලිසියට කියන්නට අපට සිදු වී තිබේ. බලෙන් මිනිසුන් පැහැර ගෙන යා හැකි එක ම අධිකාරිය පොලිසිය නො වන බව මෙම සිද්ධිය විසින් පොලිසියට ද පෙන්වා දී තිබේ. 


මහින්දලා එක්ක සුපුරුදු පොලිස් සෙල්ලම් භයානක ය. පළමු මහින්ද අඟුලානේ පොලිසිය විසින් මරා දමන ලද තරුණයන් දෙදෙනාගේ පවුල්වල අය අරලියගහ මන්දිරයට කැඳවා ලක්ෂ පහ පහ දුන්නේ ඝාතනයට සම්බන්ධ නිලධාරීන්ගේ මොනවද ඒවා ලාච්චුවේ තිබියදී ය. දෙවන මහින්ද හෙවත් මහින්ද සමරසිං‍හ ඇමතිගේ කාර්ය මණ්ඩලයේ සිටි පාතාල සාමාජිකයා ආයුධ පෙන්නන්නට එක්ක යාමට පොලිසියට බැරි විය.තුන්වන මහින්දහෙවත් මහින්ද රත්නතිලක සිය ගෝලයා පැහැරගෙන ගියේ පොලිසිය ඇතුළට ම ඇවිල්ලා ය.

පොලිසිය කෙළවා ගන්නේ මහින්දලා සමග හැප්පෙන්නට ගොසින් ය. මේ මහින්දලා සමග හැප්පීම බඩා මහින්දලා සමග හැප්පීම තරම් ලේසි නැත.


Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා