2009-07-29

ඩාන්සින් තරු හා නැටුමේ සුන්දරත්වය

(2009 ජුලි 29 - W3Lanka) "ප‍්‍රවීණ ප‍්‍රාසාංගික කලාකරුවෙකු වන මයිකල් ජැක්සන් ආරම්භ කළ නර්තන ශෛලිය, ඉතා විදග්ධ නර්තන ශෛලියක් දක්වා නූතනයේ දියුණු වී තිබෙනවා. බෝල්රූම්, හිපොප්, චාචා වැනි විදේශීය නර්තන ශෛලීන් ද තිබෙනවා. නමුත් ලෝකයේ කිසිදු රටක කිසිසේත්ම ගණන් නොගන්නා, කිසිදු නර්තන සම්ප‍්‍රදායකට අයත් නොවන චලනයන් සහිත දැගලිලි තමයි අපේ රටේ නර්තනය කියා මිනිස්සු රවටන්න නාලිකා පාවිච්චි කරන්නේ. අඩුම තරමේ මේවා විනිශ්චයට යන අයත් විදේශීය නර්තන නොව දේශීය නර්තනය පිළිබඳවත් නොදන්නාකම තවත් හාස්‍යයට කරුණක් මෙන් ම මෙරට නර්තන කලාවේ බරපතල ඛේදවාචකයක්" යයි සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මුදියන්සේ දිසානායක පෙරඹර වෙබ් අඩවිය‍ට පවසා තිබේ. 


රූපවාහිනී නාලිකා විසින් කලාකරුවන්ට මුදල් නොගෙවා නොමිළේ වැඩ සටහන් සකසා ගැනීම පිණිස අලුතෙන්ම සොයාගෙන තිබෙන ක්‍රමවේදය වන 'සටාර්' වැඩසටහන්වල නර්තනය සඳහා වෙන් වූ අංශයක් ද තිබේ. 

යෞවනයන්ට දී තිබෙන 'සුපිරි තරු' හීනය රූපවාහිනී චැනල්වලට කෙතරම් ලාභදායීද යත්, එම වැඩසටහන් සඳහා අවශ්‍ය බොහෝ වියදම් දරා ගන්නේ මෙම 'තරු' විසිනි. මෙය ගොනාට ඇන්දීමට වඩා සමාන වන්නේ අන්න රෙද්ද කියා පෙන්වීමටයි. රෙද්ද දුටු සැණින් 'තරු' ඒවා කපාගෙන මසාගෙන ගොනාට ඇඳගෙන එති. රස්සාවල්, අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන ප්‍රැක්ටිස් කර, තමන්ගේ වියදමින් ඇදුම් මසාගෙන, වාහනවලට වියදම් කරගෙන කොළඹ ඇවිත් රූපවාහිනීවලට නොමිලේ දී හිස් අතින් ගෙදර යන මේ 'තාරකා' විසින් කරන දේ අතින් කා හරක් බැලීමක් වැනිය. (මේ පිළිබඳ පසු අවස්ථාවක වෙනම කතා කරමු.) 


මෙම නර්තන තාරකා වැඩසටහන් විනිශ්චය සඳහා එන ඇතැමුන්ට තිබෙන සුදුසුකම වන්නේ 'පාටීස්වලට එහෙම ගියාම නටන එකයි.' ටිකක් දන්න එක්කෙනෙක් සිටින විට, ඔහු හෝ ඇය කියන දේ අනුව වචන ටිකක් අල්ලාගෙන කුමක් හෝ කියාගැනීමට පුළුවන.



නැටුම යනු සාමාන්‍ය රසිකයන් වන අපට තේරෙන අන්දමට නම් මිනිස් සිරුරේ රිද්මයානුකූල චලනයෙහි සුන්දරත්වයයි. නැටුම,  රිද්මයානුකූල ශාරීරික ව්‍යායාම හා සර්කස් යනු අපට තේරෙන අන්දමින් නම් එකිනෙකට හාත්පසින්ම වෙනස් ක්ෂේත්‍රයි. මෙම 'ස්ටාර්' වැඩසටහන්වල නැටුම් පකීර්ලාගේ ඇගයීමේ ක්‍රමවේද අනුව නම් අපට සිතෙන්නේ මේ තුනම එකක් ය කියායි.

ඊටත් වඩා හාස්‍යජනක වන්නේ මෙම නැටුම් වැඩසටහන් නිෂ්පාදනය කරන ආකාරයයි. මිනිස් සිරුරේ රිද්මයානුකූල චලනය ප්‍රේක්ෂකයාගේ නෙතට හසු කර දෙනු වෙනුවට ඔවුන් කරන්නේ අත පය, බඩ, ආදිය වෙන වෙනම ප්‍රදර්ශනය කිරීමට උත්සාහ දැරීමයි.


මාධ්‍ය මගින් විය යුත්තේ කලාවෙන් මිනිසාගේ පහත් රුචිකත්වයන් ඇති කිරීම නොවන බව  පෙන්වා දෙන මුදියන්සේ දිසානායක මහාචාර්යවරයා  සමාජ අවශ්‍යතාවයන්ට සරිලන පරිදි උසස් රසඥතාවක් වඩවන පරිදි එය යොදා ගැනීම මාධ්‍ය ආයතනවල වගකීමක් බව පවසයි.