සංවේදී වැලිඔය ප්‍රශ්නය

(2009 ජුලි 14)වැලිඔය ව්‍යාපාරය යටතේ මුලතිව් දිස්ති‍්‍රක්කයේ නැදුන්කර්නි ප‍්‍රදේශයේ ගොවි පවුල් 2500 ක් පදිංචි කරවීමට පියවර ගෙන ඇති බවද, එසේ පදිංචි කරවන එක් පවුලකට මඩින් අක්කරයක් ද, පොල් සිටුවීමට අක්කර භාගයක් ද ගෙවත්ත සඳහා අක්කරයක් ද ලබා දෙන බව මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ධර්මසිරි ද අල්විස් මහතා පැවසූ බව අද දිනමිණ පුවත්පත වාර්තා කළේය. 


නැදුන්කර්නි සම්ප්‍රදායිකව දෙමළ වැසියන් වාසය කළ කුඩා නගරයක් කේන්ද්‍ර කර ගත් ප්‍රදේශයකි. එහි වැසියෝඅද වන විට අවතැන් කඳවුරුවල වෙසෙති. මෙම ජනපදකරණයේදී ජනවාර්ගිකත්වය සැලකිල්ලට ගන්නා ආකාරය පිළිබඳ දිනමිණ වාර්තාවේ කිසිවක් සඳහන් නොවේ. 


එහෙත්, මෙය හුදු මහවැලි ව්‍යපාරයේ විෂය පථයට පමණක් සීමා වන කාරණයක් නොවන බවද, ජනවාර්ගික ගැටුම් තවදුරටත් තීව්‍ර නොවන පරිදි සියුම්ව මෙහෙයවිය යුතු දේශපාලනික කාරණා රැසක් ඇති සංවේදී ප්‍රශ්නයක් මෙහි ඇති බවද අපේ අදහසයි.

 
දෙමළ ජනයා අතර තම නිජබිම පිළිබඳ අනුරාගය ඇවිළවීම සඳහා දෙමළ ජාතිකවාදීන් විසින් ඔවුන් බියවැද්දීම පිණිස භාවිතා කරන ලද එක් ප්‍රධාන ක්‍රමයක් වූයේ ඔවුන්ගේ නිජබිම සිංහල ආක්‍රමණිකයන් විසින් ඩැහැ ගනිමින් තිබේය යන අදහස ව්‍යාප්ත කිරීමයි. 'සිංහල ජනපදකරණය' ලෙස හඳුන්වන ලද මෙම ක්‍රියාවලිය දෙමළ ජනයාගේ දැඩි විරෝධයට හේතු වූ අතර දෙමළ ජාතිකවාදීන් විසින් එය ආක්‍රමණික ක්‍රියාවක් ලෙස හඳුන්වා දෙන ලදී.



ඩී. එස්. සේනානායක අගමැති සමයේ ඇරඹුණු ජනපදකරණයේ මුල් යුගයේදී ගල්ඔය වැනි ව්‍යාපාරවල ජනතාව පදිංචි කිරීමේදී එම බිම්වල පැරණි පදිංචිකරුවන් එම නව ජනපදවලට අන්තර්ග්‍රහණය කෙරුණ අතර ජන අනුපාතය අනුව පදිංචි කිරීමක් ද දක්නට ලැබේ. එහෙත් පසුකාලීනව තත්වය වෙනස් වන්නට පටන් ගත්තේය.



1950 දශකයේ අගභාගයේදී පදවිය ජනපදයේ නැඟෙනහිර ප්‍රදේශවල පදිංචි කිරීමට නියමිතව තිබුණේ දෙමළ වැසියන් ය. එවකට එම ප්‍රදේශයේ සිටි තරුණ භික්ෂුවක් වූ පිහිඹියගොල්ලෑවේ ධම්මාලෝක හිමි සිංහල ජාතිවාදී දේශපාලනඥයන්ගේ අනුග්‍රහය ලබමින් ‍‍දෙමළ ජනයා පදිංචි කිරීමට එරෙහිව පදවි ජනපදයේ කලින් පදිංචිව සිටි සිංහල ජනයා උසිගන්වා දෙමළ ජනයා පදිංචි කිරීම වැළැක්වීය. ඒ සමගම බලහත්කාරයෙන් එම ඉඩම්වල සිංහල වැසියන් පදිංචි කරවන ලද අතර සමස්ත පදවි ජනපදයම සිංහල භූමියක් බවට පත් කරන ලදී. 

1980 දශකයේදී පදවි ජනපදයට නැඟෙනහිරින් වෙරළාසන්නයේ පිහිටි තෙන්නමරවාඩි වැනි සම්ප්‍රදායික දෙමළ  ගම්මානවල පදිංචිව සිටි දෙමළ ජනයාද පළවා හරින ලදී. 

මෙම ක්‍රියාවලිය ඔස්සේ උතුරු, නැඟෙනහිර දෙපළාත් මැදින් කැබිතිගොල්ලෑවේ සිට කෝකිලායි දක්වා සිංහල ජනපද තාප්පයක් ඉදි විය. ඩී. එස්. සේනානයක සමයේ ජනපදකරණ සැලසුම් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ප්‍රවණතා මැඬලීමේ අදහසක් පැවති බව සිතිය හැකිමුත් පසුකාලීන ජනපදකරණ වැඩසටහන සිංහල ජාතිවාදය ව්‍යාප්ත කිරීම සඳහා උපයෝගී කර ගන්නා ලද බව පෙනේ. 


විශේෂයෙන්ම, වැලිඔය ජනපදය බිහි කිරීමේදී එය පසුපස සිංහල ජාතිවාදී උවමනාවන් ක්‍රියාත්මක වූ බව එම ජනපදය පිහිටුවීමේ ලා ප්‍රමුඛ කාර්යභාරයක් කළ රාජ්‍ය නිලධාරියකු වූ හර්මන් මාලිංග බංඩාර විසින් පසු කලෙක ලියන ලද 'ස්වෛරී රාජ්‍යයක් උදෙසා' නම් පොතේ කරුණුවලින් හෙළි වේ. 

වැලිඔය ජනපදය පිහිටුවීමට පෙර මෙම ප්‍රදේශයේ දීර්ඝකාලීන බදු ඉඩම්වල පිහිටුවන ලද ඩොලර් ෆාම්, කෙන්ට් ෆාම්, සිලෝන් තියටර්ස් ෆාම් ආදී වූ ගොවිපළ තිබිණි. ගාන්ධියම් ව්‍යාපාරය නම් රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ජාතිවාදී කෝලාහල නිසා අවතැන්ව දකුණේ ප්‍රදේශවලින් පැමිණි ජනයා එම ගොවිපළවල පදිංචි කර තිබුණ අතර, උමා මහේෂ්වරන්ගේ ප්ලොට් සංවිධානය වැනි කණ්ඩායම්වල ක්‍රියාකාරික්වයද එහි පැතිරී තිබිණි. 1984දී, කුප්‍රකට ඩොලර් ෆාම්, කෙන්ට් ෆාම් සිංහල ජනපද වැසියන් ඝාතනය කිරීමද ඊට පිළිතුරු ලෙස ඔදියමලේ වැනි දෙමළ ගම්මානවල සිදු වූ අප්‍රකට ඝාතනද සමගින් මෙම කලාපය දශක දෙකකට අධික කාලයක් තිස්සේ ලේ කලාපයක් බවට පත් වීම ඇරඹිණි. පදිංචියට, ගොවිතැනට ඉඩමක් සොයා පැමිණි සිංහල දුප්පතුන් රැසක් මෙම කලාපයේදී මරු වැළඳ ගත්හ.



වැලිඔය ජනපදය පසු කලෙක මහවැලි ව්‍යාපාරයට අනුයුක්ත කර ගන්නා ලද අතර මහවැලි එල් කලාපයේ වැලිඔය නිම්නයේ මුල් සැලැස්මට අනුව අනුරාධපුරය, වවුනියාව, සහ මුලතිව් යන දිස්ති‍්‍රක්ක තුනටම අයත් ප‍්‍රදේශවල හෙක්ටයාර 39000ක ප‍්‍රදේශයක් කලාප හයකට බෙදා තිබේ.


එම කලාප 6 ට සම්පත්නුවර, ජනකපුර, කෝකිලායි, නැදුන්කර්නි, නයාරු වැනි ජනාවාස අන්තර්ගත වේ. එඉන් මෙතෙක් කලක් සංවර්ධනය කර ඇත්තේ කලාප දෙකක් පමණක් බව මහවැලි අධිකාරිය පවසයි. අනාරක්ෂිත තත්ත්වය යටතේ අනෙකුත් කලාප සංවර්ධනය කිරීමට නොහැකි වී තිබේ. සංවර්ධනය කළ එම කලාප දෙකේ දැනට ගම්මාන වශයෙන් නිකවැව, ඇතාවැටුණු වැව, ඇහැටුගස්වැව, කිරිඉබ්බන්වැව, ජනකපුර, කල්‍යාණිපුර ඇතැම් ප්‍රදේශ, නව මොණර වැව, නව ගජබාපුර යන ප‍්‍රදේශ ජනාවාස තත්ත්වයේ පවතී. ගජබාපුර ඇතැම් ප්‍රදේශ, මොනර වැව, හැළඹවැව, කම්බිලිවැව, කෝන්වැව, වෙහෙරවැව, කල්‍යාණිපුර යන ප‍්‍රදේශවල ජනතාව පදිංචි කරන ලදමුත් ඔවුහු එම ආරක්ෂක ප්‍රශ්න හේතුවෙන් ඉවත් ව ගොස් ඇත.


වසර 22 ක පමණ කාලයක් තුළ වැලිඔය ප‍්‍රදේශයේ ගොවි පවුල් 5000 ක් පදිංචිව සිටි අතර ඉන් පවුල් 3364 ක් නීත්‍යනුකූලව ලබා දුන් ඉඩම් වලත් අනෙකුත් පිරිස අනවසර ඉඩම් වලත් පදිංචිව ආරක්ෂක ප්‍රශ්න හේතුවෙන් ප්‍රදේශය අතහැර යමින් හා ආපසු එමින් ගොවිතැන් කටයුතුවල නිරතව සිටි බව මහවැලි අධිකාරිය පවසයි. 


Reblog this post [with Zemanta]

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා