Posts

Showing posts from July, 2009

සොබා මේ රාත්‍රි හරි අගේ - කවදදෝ ඔයා එන්නේ

අජිත් පැරකුම් ජයසිංහ විසිනි මෙය මොහොමඩ් රාෆි ගායනා කරන, නව්ෂාඩ් සංගීතවත් කළ, ශකීල් බදායුනි ලියූ සොහානි රාත් දල් චුකී ගීයේ ඡායානුවාදයකි. ගීයේ තනුව අනුව පද පෙළ සකසා ඇත. ගායනා කිරීමට උත්සාහ කරන්න. අදහස් කියන්න. (වානිජමය භාවිතය සඳහා අවසර ලබා ගත යුතුය) සොබා මේ රාත්‍රි හරි අගේ කවදදෝ ඔයා එන්නේ ලෝකයේ හැම තැනම පාට වී කවදදෝ ඔයා එන්නේ සොබා මේ රාත්‍රි හරි අගේ කවදදෝ ඔයා එන්නේ රසාරේ මිහිර සිහි තබා ගියා සිතන්නත් කලින් වාගේ ආකහේ තරු එළිය නිවුණා හාත්පස අඳුරටම දී හැම පහනකම දැන් තෙල් සිඳී කවදදෝ ඔයා එන්නේ සොබා මේ රාත්‍රි හරි අගේ කවදදෝ ඔයා එන්නේ එනතුරා බලා ඉඳ මෙමා// වියෝගයෙන් පසාරු වී// නිශාව වර්ණ වී ඉවර සේ  මේ සොඳුරු වසන්තේ හමාවී සුළඟ දුකින් වාගේ කවදදෝ ඔයා එන්නේ  සොබා මේ රාත්‍රි හරි අගේ කවදදෝ ඔයා එන්නේ මුල් ගීතය පද මාලාවේ ඉංග්‍රීසි පරිවර්තනය සමග මෙතැනින් පිවිස බලන්න.

බුදු හිමි, මහනායකවරු හා අලි

Image
අජිත් පැරකුම් ජයසිංහ විසිනි පසුගිය දින කීපය අලින් සම්බන්ධ සිදුවීම් නිසා අලි වැදගත්කමක් ගත්තේය. මෙම සිදුවීම් හුදු වනජීවී දෙපාර්තමේන්තුවට පමණක් අදාළ වන කාරණා නොවන දේශපාලනික වශයෙන් වැදගත් සිද්ධි ය. සමාජ යටිතලයේ පවත්නා අර්බුද රැසක් මෙම සිද්ධි ඔස්සේ හඳුනාගත හැකිය. සීගිරියේ මිනීමරු අලින්ට විරුද්ධව ප‍්‍රදේශවාසීන් පිකටිං කළ අතර, අවසානයේදී වනජීවී දෙපාර්තමේන්තුව අලියකු අල්ලා ප‍්‍රදේශයෙන් පිටුවහල් කළේය. එහි අලි මිනිස් ගැටුමින් මරණ දෙකක් සිදු වූ අතර නිවාස හයකට වඩා අලින් විසින් කඩා බිඳ දමන ලදී. සීගිරියේ 1990 සිට ප‍්‍රකාශයට පත් කර තිබෙන අලි අභය භූමියක් තිබේ. එම අභය භූමිය තුළ ගම්මාන 18ක පෞද්ගලික ඉඩම් ඇත. දැන්, දැන් ඒවායේ ළඳු කැළෑ කපා දමමින් සංචාරක්‍ හෝටල්, නිකේතන හා නිවෙස් ආදිය ඉදිවෙමින් ඇත. ඒ සංචාරකයන්ට සීගිරි අප්සරාවන් හා අලින් පෙන්නා මුදල් උපයා ගැනීමටයි. තවත් ඉඩම්වල මිනිසුන්ගේ වගාවන් ය. අලින්ට කන්නට කෑම නැති වන්නේ ද, බවබෝග පාළු කරන්නට සිදු වන්නේ ද මිනිසුන් ජීවත් වන ප‍්‍රදේශවල සැරිසරන්නට සිදු වන්නේ ද ඒ හේතුවෙනි. දෙහිවල සතුන් වත්තේ අලියකු අලි සෙල්ලම් පෙන්නීමට යන අතරතුර සිය ගොව්වාට පහර දී තුවාල

සභාපතිට පාඩුවේ ඉන්න නොදුන්නොත් චිත්‍රපට සංස්ථාව වහනවා - ජනාධිපති ලේකම්

Image
(2009 ජුලි 31 - W3Lanka) ‘තමුසෙලාට CTB එකට සතොසට හා සළුසලට කරපු දේ චිත‍්‍රපට සංස්ථාවටත් කරගන්න  ඕනද?  ඕනවට වඩා දැඟලූවොත් ඔය කෙහෙල්මල වහල දානවා. සභාපතිට පාඩුවේ ඉන්න දීපල්ලා යනුවෙන් පවසා ජනාධිපති ලේකම්වරයා චිත්‍රපට සංස්ථාවේ ප්‍රශ්න පිළිබද සාකච්ඡා කිරීමට ජනාධිපති කාර්යාලයට ගිය පාලක පක්ෂයේ වෘත්තීය සමිති නියෝජිත පිරිසකට බැනවැදී එලවාගෙන ඇති බව යුනියන්ස් ලංකා වෙබ් අඩවිය පවසයි මෙම බැනුම් ඇසීමට සංස්ථාවේ උපදේශක ටී.එම්. සංඝදාස ද සහභාගී වී ඇත. චිත‍්‍රපට සංස්ථා සේවකයන්ගේ දීමනා අතිකාල කප්පාදු කර ඇති අතර වර්තමාන සභාපති ජයන්ත ධර්මදාස මහතාගේ පරිපාලන දුර්වලතා හේතුවෙන් සංස්ථාව පාඩු ලබමින් තිබෙන අතර ඒ මත සේවක අයිතීන් ද කපා හැරීමට එහි පාලනයට සිදුව ඇත

ලංකාවේ ජනගහණයෙන් 10%ක් ආබාධිතයෝ

Image
(2009 ජුලි 31, W3Lanka) ලංකාවේ ජනගහණයෙන් 10%ක් හෙවත් සෑම දසදෙනෙකුගෙන්ම එක් අයෙක් ආබාධිතයන් බව ආබාධිත පුද්ගලයන් සඳහා මධ්‍යස්ථානයක් බත්තරමුල්ලේ  විවෘත කරමින් කම්කරු සබඳතා සහ මිනිස් බල උපයෝගිතා ඇමති ආතාවුද සෙනෙවිරත්න පැවසීය.  ඔවුන් ඵලදායී පුරවැසියන් බවට පත් කිරීම පිණිස රජයේ තනතුරුවලින් 3%ක් ආබාධිතයන් සදහා වෙන් කිරීමට තීරණය කර ඇති බව ද ඇමතිවරයා පැවසීය.  ලංකාවේ ආබාධිතයන් සංඛ්‍යාව මෙතරම් වැඩි වීමට යුද්ධය ද හේතු වන්නට ඇත.මෙම ආබාධිතයන්ගෙන් වැඩි දෙනෙක් අන්ත දිළින්දන් බවට ද පත් වෙති. කෙසේ වෙතත්, ලංකාවේ සමාජ-ආර්ථික කටයුතුවලදී ආබාධිතයන්ගේ ප්‍රශ්න ගැන දක්වන අඩු අවධානය වෙනස් කිරීමට මෙම සංඛ්‍යාලේඛන පදනම් කර ගත යුතුව තිබේ .

'ඍජු' ස්රුජු කියා ශබ්ද කරන උතුරුමැද පළාත් අධ්‍යාපන ලොක්කන්ගේ 'බාසා වෙලුකම්'

(2009 ජුලි 30 - W3Lanka) මේ දිනවල රටේ අවධානයට ලක් වී තිබෙන පාසල්වල වාර විභාග ප්‍රශ්න පත්‍ර පිළිබඳව කතිකාවට සහභාගි වෙමින් උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් 2009 මධ්‍ය වාර පරීක්‍ෂණය සඳහා නවවන‍ ශ්‍රේණිය සදහා ලබා දුන් ප්‍රශ්න පත්‍ර නිදසුන් ලෙස ගන්නා එප්පාවල රත්න බී. ඒකනායක පවසන්නේ එම ප්‍රශ්න පත්‍රවල භාෂාමය වැරදි පමණක් 48ක් ඇති බවයි. ප්‍රශ්න පත්‍රයේ පටන් ගත් තැනම අංක II වගන්තියේ "පිලිතුරෙන් - හා සැසදෙන" යන වචන දෙකම වැරදිය. ඒ වචන පිළිතුරෙන් හා සැසඳෙන ලෙස නිවැරදි විය යුතුය. එහි IIIවගන්තියේ "පිලිතුරු- භාර දෙන්න" යන වචන දෙකත් වැරදිය. ඒ වචන පිළිතුරු - බාරදෙන්න ලෙස නිවැරදි විය යුතුය. අංක 01 ප්‍රශ්නයේ වාන ප්‍රන්ත - සන්න යාසි යන වචන දෙකම වැරදිය. එය වියයුත්තේ වානප්‍රස්‌ථ - සන්‍යාසි යනුවෙනි. අංක 06 ප්‍රශ්නයේ "බමුනා" යන වචනය වැරදිය. එය නිවැරදි විය යුත්තේ "බමුණා" යනුවෙනි. අංක 07 ප්‍රශ්නයේ II කොටසේ "කලනොහැකි" වචනය වැරදිය. එය "නොකළහැකි" යනුවෙන් නිවැරදි විය යුතුය. අංක 08 ප්‍රශ්නයේ "ආනිසංස" වචනය වැරදිය.

අපරාධ අනුරූපණය කරන පරිගණක ක්‍රීඩා චීනයේ තහනම්

Image
(2009 ජුලි 30 - W3Lanka) ලංකාවේ 'සුචරිතවාදී' ආණ්ඩුව වැඩිහිටියන්ට පමණක් වූ චිත්‍රපට වැඩිහිටියන්ටත් තහනම් කරන්නට කටයුතු කරමින් සිටියි.  රහස් පොලිසියේ මහත්වරුන් බලා තිබෙන 'කාමුක' දර්ශන අඩංගු වෙබ් අඩවි 12ක්ද තහනම් කර ඇත. රජය විවේචනය කරන වෙබ් අඩවිවලට බාධා පමුණුවා තිබෙන්නේ නීති විරෝධී අන්දමිනි.  බොහෝ දේවලදී දැන් දැන් ලංකාවට ගුරූපදේශ දෙන චීනය මේ සතියේ ලංකාවට ආදර්ශයට ගත හැකි වැඩක් කළේය.  චීන රජය තමන්ට පාලනය කළ නොහැකි කිසිදු ආකාරයක සංවිධානය වීමකට මහජනයාට ඉඩ දෙන්නේ නැත. පසුගිය සඳුදා සිට සංවිධානාත්මක අපරාධ අනුරූපණය කරන පරිගණක ක්‍රීඩා ද තහනම් කර තිබේ. “Godfather,” “Gangster” සහ “Mafioso Hitman,” වැනි ජනප්‍රිය පරිගණක ක්‍රීඩා රැසක් මේ අනුව තහනම් කර තිබේ.  ලංකාව ද මෙය අනුගමනය කිරීම ඇත්තෙන් ම නරක නැත. මක් නිසා ද යත් ඝාතන, පහර දීම්, දූෂණය කිරීම් ආදී ක්‍රියා මනසින් කරවන මෙබඳු ක්‍රීඩා සමාජයේ යහපැවැත්මට අහිතකර යයි තර්ක කළ හැකි බැවිනි.  ඒ සමගම පරිගණක ක්‍රීඩාවල නොව හැබෑ ලෝකයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවන් ද මර්දනය කළ යුතුය. දැන් කරන පරිදි තෝරා ගත් පාතාල අපරාධකරුවන් පමණක් නොව,

එකමත් එක රටක, සිනමාව ගැන පූර්ව අභ්‍යාසයක්

Image
X කණ්ඩායම චිත‍්‍රපටයකට උචිත තේමාවක් තෝරාගැනීමම අද දවසේ දුෂ්කර කාර්යයකි. ඒ, උචිත තේමාවන්වල හිඟයක් පවතින නිසා නොව, චිත‍්‍රපටි නිපදවන බොහෝ අය තේමාවක් තෝරා නොගෙනම චිත‍්‍රපට නිපදවන නිසාය.  කෙසේ වුවත් ‘එකමත් එක රටක’ ‘චිත‍්‍රපටය’ සඳහා තෝරාගෙන ඇති තේමාව, හොඳ සිනමා කෘතියක් නිර්මාණය කිරීම සඳහා උචිත තේමාවකි. එහෙත් එම තේමාව උපයෝගී කොට ගනිමින් ටෙලි නාට්‍යක කොටස් කිහිපයක්, වාර්තා වැඩසටහනක කොටස් කිහිපයක්, සිනමාත්මක රූප රාමු කිහිපයක්, රංගනය පුහුණු වීමේ වැඩමුළු කිහිපයක් ආදී ලෙස විවිධ වැඩසටහන්වල කොටස් එකතු කිරීමෙන් චිත‍්‍රපටයක් නිර්මාණය නොවේ.  මේ සියල්ල අවසානයේ නැවත සලකා බලා, විවේකීව සමාලෝචනයේ යෙදෙමින් චිත‍්‍රපටයේ වැඩ ආරම්භ කළ යුතුව ඇත. අවාසනාවකට ලංකාවේදී බොහෝ විට පූර්ව අභ්‍යාසයන්ම නිර්මාණාය බවට පත්වන නිසා බිහිවිය යතු කලා කෘතිය කිසිදිනක බිහි නොවේ. ඒ නිසාම ‘එකමත් එක රටක’ පූර්ව සිනමා අභ්‍යාසයෙන් පසුව සිනමා කෘතියක් බිහි නොවීම අනිවාර්යයකි. ඒ නිසාම අපිට පූර්ව අභ්‍යාසය ගැන පමණක් කථා කිරීමට සිදු වී තිබේ. සනත් ගුණතිලකට හොඳ, විදග්ධ ගැඹුරු සිනමාව කියූ සැනින් මතකයට නැඟෙන්නේ විරාගයයි. ප‍්‍රශස්ථ රංගනය කියූ වි

ඩාන්සින් තරු හා නැටුමේ සුන්දරත්වය

Image
(2009 ජුලි 29 - W3Lanka) "ප‍්‍රවීණ ප‍්‍රාසාංගික කලාකරුවෙකු වන මයිකල් ජැක්සන් ආරම්භ කළ නර්තන ශෛලිය, ඉතා විදග්ධ නර්තන ශෛලියක් දක්වා නූතනයේ දියුණු වී තිබෙනවා. බෝල්රූම්, හිපොප්, චාචා වැනි විදේශීය නර්තන ශෛලීන් ද තිබෙනවා. නමුත් ලෝකයේ කිසිදු රටක කිසිසේත්ම ගණන් නොගන්නා, කිසිදු නර්තන සම්ප‍්‍රදායකට අයත් නොවන චලනයන් සහිත දැගලිලි තමයි අපේ රටේ නර්තනය කියා මිනිස්සු රවටන්න නාලිකා පාවිච්චි කරන්නේ. අඩුම තරමේ මේවා විනිශ්චයට යන අයත් විදේශීය නර්තන නොව දේශීය නර්තනය පිළිබඳවත් නොදන්නාකම තවත් හාස්‍යයට කරුණක් මෙන් ම මෙරට නර්තන කලාවේ බරපතල ඛේදවාචකයක්" යයි සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මුදියන්සේ දිසානායක පෙරඹර වෙබ් අඩවිය‍ට පවසා තිබේ.  රූපවාහිනී නාලිකා විසින් කලාකරුවන්ට මුදල් නොගෙවා නොමිළේ වැඩ සටහන් සකසා ගැනීම පිණිස අලුතෙන්ම සොයාගෙන තිබෙන ක්‍රමවේදය වන 'සටාර්' වැඩසටහන්වල නර්තනය සඳහා වෙන් වූ අංශයක් ද තිබේ.  යෞවනයන්ට දී තිබෙන 'සුපිරි තරු' හීනය රූපවාහිනී චැනල්වලට කෙතරම් ලාභදායීද යත්, එම වැඩසටහන් සඳහා අවශ්‍ය බොහෝ වියදම් දරා ගන්නේ මෙම 'ත

ටයිල් ඇල්ලීම හා ටයිල් වීම

Image
(2009 ජුලි 29 - W3Lanka) කළුබෝවිල රෝහලේ ගෙබිම මත අතුරා ඇති ලිස්සනසුළු ටයිල් මත ඇද වැටී මෑත දිනෙක උකුළු ඇටය බිඳ ගත් කාන්තාව ද සමග මේ වන විට ටයිල් මත ලිස්සා යාමෙන් අනතුරු සිදු වූ සංඛ්‍යාව 50කට අධික බව වාර්තා වේ.  ලංකාවේ රජයේ රෝහල් ඇතුළු බොහෝ ස්ථානවල තිබෙන පොදු ගැටළුවකි, මේ ටයිල් ප්‍රශ්නය. කළුබෝවිල රෝහලේ අල්ලන ලද ලිස්සන ටයිල් ගලවා අලුතෙන් ටයිල් අල්ලන බව දැන් එහි අධ්‍යක්ෂ කියයි.  ටයිල් ඇල්ලිල්ල ආශ්‍රයෙන් ග්‍රැෆික් තාක්ෂණයට එක් වූ වචනයක් වන 'ටයිල් කිරීම' යන්නෙන් අදහස් වන්නේ රූපයක කොටස් වෙන වෙනම ගෙන එකට පූට්ටු කිරීමයි. සිමෙන්ති කැඩිල්ල, ටයිල් ඇල්ලිල්ල, ටයිල් ගලවා නැවත ඇල්ලිල්ල ආදී කාර්යයන් සමග කොන්ත්‍රාත්, කොමිස්, මාටියා ආදී තවත් දේ ටයිල් වී තිබේ.  ටයිල් ඇල්ලිල්ල ද වර්තමාන බහුභාණ්ඩික සමාජයේ එක්තරා පිස්සුවකි. තැන නොතැන නොබලා ටයිල් අල්ලාගෙන ටයිල් මත වැටේ යයි බියෙන් පණ බයේ පා නඟන මිනිසුන් විසින් සංකේතවත් කරන්නේ වත්මන් සමාජයයි.

අහිංසක පාසල් සිසුවියන් සිය දිවි නසා ගනිද්දී ජනමාධ්‍යවලින් කොලීජියට එක හැන්දක්; මහ විදුහලට තව හැන්දක්

(2009 ජුලි 28, W3Lanka) ජංගම දුරකථනයක් හා සම්බන්ධ සිද්ධියක් හේතුවෙන් ධනවත්, වංශවත් පවුල් සඳහා වෙන් වූ කොළඹ පෞද්ගලික කොලේජ් එකක සිසුවියක ගෙල වැල ලාගෙන මිය ගිය කණගාටුදායක පුවත වාර්තා කිරීමේදී ජනමාධ්‍ය කෙතරම් පරිස්සම් සහගත වීද යත්, කිසිදු ජනමාධ්‍යයක මෙම පාසලේ නම සඳහන් වූයේ නැත. පාසලේ නම "කොළඹ ප්‍රධාන පෙළේ පාසලක්" ය. මේ හේතුවෙන් මෙම සිද්ධිය වුණේ අසවල් පාසලේ ය, අසවල් පාසලේ ය යයි වෙනත් බාලිකා පාසල් සම්බන්ධ කර කටකතා ද පැතිර ගියේය. එහෙත්, එම සිද්ධිය හා සමාන්තරව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාසලක සිසුවියන් දෙදෙනෙක් කණේරු ඇට කා දිවි තොර කර ගැනීම පිළිබඳ කණගාටුදායක සිද්ධිය වාර්තා කිරීමේදී එවැනි වගකිව යුතු ආකාරයකින් කටයුතු කිරීමට මාධ්‍යවලට උවමනාවක් නොතිබිණි.  නිදසුනක් ලෙස දිනමිණ පුවත්පත ජුලි 27දා එම සිද්ධිය වාර්තා කළේ මෙසේ ය.  "කනේරු ඇට කෑ ............පාසල් සිසු සිසුවියන් හය දෙනෙකුගෙන් දෙදෙනකු මිය ගොස් ඇති බව පොලිසිය කියයි. මියගොස් ඇත්තේ ...........මහා විද්‍යාලයේ 10 වැනි වසරේ ඉගෙනුම ලැබූ .............සිසුවියෝය. තවත් සිසුවියක් හා සිසුහු තිදෙනෙක් දඹුල්ල රෝහලේ ප‍්‍ර

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ගන්න එකඟ වූ කොන්දේසි මොනවාද?

Image
(2009 ජුලි 28 - W3Lanka) සන්ධාන ආණ්‌ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙම ණය ලබාගෙන ඇත්තේ ඒ සඳහා වන කොන්දේසි හෙළි නොකරන ලෙස එම මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටිමින් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලම කියා සිටින්නේ යයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ දැදිගමදී 25දා පැවති රැස්වීමකදී පැවසීය. රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීමේදී එකඟ වූ කොන්දේසි අනුව, සෑම වසරකදීම හමුදාව ඇතුළු ආරක්‍ෂක අංශයේ වියදම් ද ඇතුලු රජයේ වියදම් අඩු කළ යුතු බවද රාජ්‍ය ආදායම වැඩි කිරීම සඳහා බදු ඉහළ නැංවිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වෙබ් අඩවිය කොන්දේසි ලෙස පැහැදිලිව දක්‌වා තිබෙන බව ද ඔහු පවසයි. මෙවැනි ණය මුදලක්‌ ලබාගැනීමේදී ඊට ඇතුළත් ප්‍රතිපත්ති හා ලියකියවිලි සියල්ල පාර්ලිමේන්තුවට හෙළිකිරීම සම්ප්‍රදායක්‌ බව ද, 2001 වසරේ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය ණය ලබාගත් අවස්‌ථාවේදී හා 2003 වසරේ එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුව ණය ලබාගත් අවස්‌ථාවේදී ද අදාළ වෙබ් අඩවිය මගින් තොරතුරු ඉදිරිපත් කළ බව ද වික්‍රමසිංහ පැවසීය.  මීට පෙර එච්. එස්‌. බී. සී. බ

ඉදිරියේදී කලා නිර්මාන(වල) මැකුවොත් හිරේ

Image
(2009 ජුලි 28 - W3Lanka)  (ඡායාරූපයේ දැක්වෙන්නේ සීගිරියේ අඩ නිරුවත් බිතු සිතුවමකි) අපේ සදාචාරවත් සංස්කෘතික අමාත්‍යාංශය රටේ සුචරිතය ඇති කිරීමේ පියවරක් ලෙස 'වැඩිහිටියන්ට පමණයි' ලේබලය යටතේ ලංකාවේ චිත්‍රපට ප්‍රදර්ශනය නැවැත්වීමට කැබිනට් අනුමැතිය ලබාගැනීමට යන  බව  වාර්තා වේ.  ශී‍්‍ර ලංකාව තුළ සිදු වෙමින් පවතින සංස්කෘතික සෝදාපාළුව වළක්වා සදාචාරවත් සමාජයක් බිහි කිරීමේ අරමුණෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මේ පියවර ගෙන ඇති බව සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා සීගිරිය වදුල හෝටලයේ ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. 'වැඩිහිටියන්ට පමණයි' ලේබලය ඇලවෙන්නේ නිරුවත්, අඩ නිරුවත් දර්ශන හා ලිංගික හැසිරීම් හා සම්බන්ධ දර්ශන ඇතුළත් චිත්‍රපටවලටයි. ගැහැනියක හා පිරිමියෙකු සරාගී ලෙස එකිනෙකා සිපගැනීම පවා අසභ්‍ය කටයුත්තක් ලෙස සැලකෙන අතර මෙම දර්ශන අඩංගු චිත්‍රපට සිනමා ශාලාවල ප්‍රදර්ශනය කිරීම, ඒවා අඩංගු වීඩියෝ විකිණීම, ළඟ තබාගැනීම හා බැලීම නව නීති රීති යටතේ තහනම් වීමට නියමිත වන අතර, එසේ කර හසු වන අයට සිර දඬුවම් නියම වනු ඇති බව දැනගන්නට තිබේ. එස

කොළඹ පාසලේ සිසුවියට මරණය රැගෙන ආවේ ජංගම දුරකථනයද?

(2009 ජුලි 28, W3Lanka) පසුගිය දිනෙක කොළඹ ප්‍රධාන පෙළේ යයි කියාගන්නා පාසලක සිසුවියන් දෙදෙනෙක් සිය දිවි නසා ගැනීමට තැත් කර රෝහල්ගත කරන ලද අතර වැසිකිළියක ටයි පටියකින් ගෙල සිර කරගැනීමට උත්සාහ කළ සිසුවිය පසුව කණගාටුදායක අන්දමින් රෝහලේදී මිය ගියාය. මෙම සිසුවියන් දෙදෙනා සිය දිවි නසා ගැනීමට තැත් කළේ පාසලේ ශිෂ්‍ය නායිකාවන් විසින් ඔවුන්ගේ බෑග පරීක්ෂා කර ජංගම දුරකථන දෙකක් සොයාගැනීමෙන් පසුව බව වාර්තා වී තිබේ. ජංගම දුරකථනය එක් අතකින් සමාජ ප්‍රශ්නයක් බව සැබෑ ය. එහෙත්, දුර බැහැර සිට කොළඹ පාසලකට එන, පංති යන, ක්‍රීඩා කරන සිසුවකුට, සිසුවියකට එය ආරක්ෂක උපකරණයක් ද වේ. ජංගම දුරකථනයෙන් කෙල්ලන්‍ට, කොල්ලන්ට ලව් කළ හැකි වීම හා "කාමුක" චිත්‍රපට බලන්නට හැකි වීම පිළිබඳ පාසල්වල විදුහල්පතිවරු, ගුරුවරු තැවෙති. ලව් කිරීම සඳහා කොපි පොත පවා පාවිච්චි කළ හැකි ය. ඕනෑ නම් එහි පිටුවල අසභ්‍ය වචන ලිවීමට හෝ පිංතූර ඇඳීමට ද පුළුවන. එසේ නම්, කොපි පොත ද "භයානක" ය. පිහියෙන් පාං කපන්නත් බෙලි කපන්නත් දෙකම හැකි ය. කරන දේ තීරණය වන්නේ එය අත දරන්නාගේ සිතුවිලිවලිනි. පාසලෙන් විය යුත්තේ දරුවන්ගේ මනස යහපත් ආකාරයට

බේරුවල මුස්ලිම් ගැටුමට හේතුව ඉස්ලාම් ආගමික මූලධාර්මික ගැටළුවක්

Image
(2009 ජුලි 26, W3Lanka) පුද්ගලයන් දෙදෙනෙකුට මරු කැඳවමින් හා 40දෙනෙකුට පමණ තුවාල සිදු කරමින් බේරුවල මුස්ලිම් පල්ලි දෙකක දායකයන් අතර ඇති වූ ගැටුම පිටුපස ඇත්තේ ශුද්ධ වූ නබිතුමාගේ ඉගැන්වීම්වලට පටහැණි මූලධාර්මික කාරණා බව දැනගන්නට තිබේ. මෙම ගැටුම ඇති වන්නේ බේරුවල බුහාරි පල්ලියේ හා රහුමාන් පල්ලියේ දායකයන් අතර ය. මෙහි ප්‍රතිඵලය ලෙස සෙනසුරාදා පාන්දර රහුමාන් පල්ලියට ගාල්ලේ සිට පැමිණි මැරයන් යයි කියන පිරිසක් ගිනි තබා තිබේ. සිද්ධිය පිළිබඳ සත්‍යය වටහා ගත නොහැකි තරමට විවිධ අදහස් විවිධ පුද්ගලයන් විසින් පළ කෙරෙමින් තිබේ.  සම්ප්‍රදායිකව මුස්ලිම් කාන්තාවන්ට පල්ලි යාමේ තහනමක් නැත. එසේම ඔවුන්ට පල්ලි යාම අනිවාර්ය ද නැති අතර නිවසේ සිට ආගම ඇදහිය හැකි ය. බුහාරි පල්ලියේ තෙදිනක් තිස්සේ පැවැති පූජාවකට කාන්තාවන්ට සහභාගි වන්නට නොදීම හේතුවෙන් ඇති වූ මත ගැටුමක් දුරදිග ගොස් මෙම කණගාටුදායක සිද්ධිය ඇති කර තිබෙන බව ඇතැම් ආරංචි මාර්ග පවසයි.  තවත් සමහරු පවසන්නේ මෙය තව්හීඩ් මුස්ලිම් නිකායට අයත් මහගොඩ රහුමාන් පල්ලියේ අනුගාමිකයන් පිරිසක් බුහාරි පල්ලියේ 135වන වාර්ෂික පූජෝත්සවය හා දානය අතරතුර එතනට කඩා වැදී කලබල ඇත

සුදු වැද්දා, සුදු ගෝනා ලියූ දොස්තර ස්පිට්ල් පිළිබඳ මතකය රැඳි පොල් වත්ත කට්ටි කඩා වකිණීමේ සැලැස්මක්

Image
(2009 ජුලි 26, W3Lanka) සුදු වැද්දා, සුදු ‍ගෝනා යන නම්වලින් පරිවර්තනය වූ `Wild White Boy’ සහ `Where the White Sambur Roams’ යන ලොව පුරා ජනප්‍රිය නවකතා ලියූ, වැදි ජනතාව පිළිබඳ හැදෑරීම් කළ මානව විද්‍යාඥයකු ලෙස ද ප්‍රසිද්ධ දොස්තර ආර්. එල්. ස්පිට්ල් හට හිමිව තිබී පසුව වෙනත් අය අතට පත් පොල් ඉඩමක් කට්ටි කඩා විකි‍ණීමේ උත්සාහයක් ව්‍යර්ථ කිරීමට පොල් සංවර්ධන මණ්ඩලයේ ම ඉහළ නිලධාරීන් උත්සාහ දරමින් සිටින බව වාර්තා වේ. එහෙත්, මීට පෙර එම මණ්ඩලයේ සිටි බලධාරීන් මෙම කට්ටි කඩා විකිණීම සඳහා අනුමැතිය ලබා දී තිබෙන අතර, වෙන්දේසිය කරන ද ෆිනෑන්ස් සමාගම දැනටමත් ඉඩම් කට්ටි කීපයක් අලෙවි කර හමාර ය. මෙම සුවිසල් ඉඩම පිහිටා ඇත්තේ කිරිබත්ගොඩ, මාකොළ ප්‍රදේශයේ, හෙයියන්තුඩුව තරුණ සේවා මධ්‍යස්ථානයට යන පාරේ ය. 1880දී ලංකාවේ උපන් බර්ගර් ජාතික දොස්තර ස්පිට්ල් මිය ගොස් ලබන සැප්තැම්බර් 03දාට හතළිස් වසක් පිරෙයි. ඔහුට සම්බන්ධ වැදගත් සිහිවටනයක් වන මෙම ස්ථානය යම් ආකාරයකට සංරක්ෂණය කිරීම වැදගත් වේ.

දිවයිනෙන් ලංකා‍දීපෙන් "කාමුක" වෙබ් අඩවිවලට ප්‍රචාරය

(2009 ජුලි 25 - W3Lanka) දිවයින හා ලංකාදීප පුවත්පත් අසභ්‍ය වෙබ් අඩවි 12කට පුළුල් ප්‍රචාරයක් ලබා දී තිබේ. ඒ ළමයින්ගේ හා වැඩිහිටියන්ගේ අසභ්‍ය ලිංගික දර්ශන අන්තර් ජාලය හරහා ප්‍රචාරය කළ වෙබ් අඩවි 12 ක්‌ වහාම අත්හිටුවන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් නිශාන්ත හපුආරච්චි මහතා ඊයේ (24 දා) ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා වෙත නිකුත් කළ නියෝගය පිළිබඳ පුවත වාර්තා කළ සදාචාර විරෝධී ස්වරූපයෙනි. මෙම වෙබ් අඩවි ක්‍රියාත්මක වීම 1983 අංක 22 දරන ප්‍රකාශන ආයතන (සංශෝධන) පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්‌ බවද පෙන්වා සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අදාළ වෙබ් අඩවි තහනම් කරන ලෙසට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයාට නියෝගයක්‌ නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය. දිවයින හා ලංකාදීප පුවත්පත් මෙම වෙබ් අඩවිවල ලැයිස්තුවක් පළ කර තිබේ. මෙම වෙබ් අඩවි කිසිවක් මේ දක්වා තහනම් කර නොමැති අතර, ඒවාට පිවිසෙන සංඛ්‍යාව වේගයෙන් ඉහළ ගොස් තිබේ. උදෑසන 7.30ට පමණ මෙම එක් වෙබ් අඩවියකට 130ක් පමණ පිරිසක් පිවිස සිටියහ. වෙබ් අඩවි වාරණය කළත්, ඒවා බැලිය හැකි ක්‍රම පිළිබඳව දන්නෝ දනිති.

ජනකාන්ත මනකාන්ත රූකාන්ත නැවතත් වේදිකාවේ

Image
වික්ටර් අයිවන් විසින් ලියන ලද 'චෞර රැජින' කෘතිය කියවන කෙනෙකුට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංගගේ මනෝ ස්වභාවය පිළිබඳ යම් අවබෝධයක් ලබා ගත හැකිය. ඇගේ කාලයේ කරන ලද වික්‍රම අතරින් එකකි, රූකාන්ත හා චන්ද්‍රලේඛා යුවලට අඩන්තේට්ටම් කිරීම. සංවේදී කලාකරුවකු වූ රූකාන්ත එයින් අතිශය භීතියට පත් විය. බොහෝ නිර්මානවලින් අප පිනවන්නට සිටි ඔහු රටින් පිටමං කර නිව්යෝක්හි දේවස්ථානයක ඕගන් වාදනයට යැවූ මේ රට සැබැවින් ම අවාසනාවන්ත ය. අමරදේවයන් විසින් වරෙක 'ජනකාන්ත මනකාන්ත රූකාන්ත' ලෙස හදුන්වනු ලැබූ රූකාන්ත සිව් වසරකට පසු ලංකාවේ ප්‍රසංගයක් පවත්වයි.  රූකාන්ත චන්ද්‍රලේඛා ලයිව් ඇට්‌ ස්‌ටේඩියම් ප්‍රසංගය - අගෝස්තු 14 වැනිදා පස්‌වරු 7.00 ට කොළඹ සුගතදාස ගෘහස්‌ත ක්‍රීඩාංගණයේදී.

උඩතලවින්නේ නීතිය හා හතරෙ කොලනියේ කැළෑ නීතිය

Image
(2009 ජුලි 25- W3Lanka) පහත කොළ පාටින් පළ වන්නේ 2001 වසරේ දෙසැම්බර් මස 05 වැනි දින මහ මැතිවරණ දිනයේ දී මහනුවර උඩතලවින්න ප‍්‍රදේශයේ දී මුස්ලිම් තරුණයන් දස දෙනකු මරාදැමීම පිළිබඳ මරණ දඬුවමට ලක්ව සිටි වරදකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කිරීම පිළිබඳවයි. රතු පාටින් දැක්වෙන්නේ අම්පාර මධ්‍යම කඳවුර 4 කොලනියේදී දොළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යාවක වධ දී දූෂ්‍යකර ඝාතනය කළ සැකකරුවකු ප‍්‍රදේශවාසීන් විසින් පොලුමුගුරුවලින් පහරදී මරාදැමීම පිළිබඳවයි. මෙම වාර්තා දෙකම අද දිනමිණ පුවත්පතෙනි. කොළ පාටින් දැක්වෙන්නේ නීතිය ක්‍රියාත්මක වන හැටි ය. රතු පාටින් දැක්වෙන්නේ කැළෑ නීතිය ක්‍රියාත්මක වන හැටි ය. ලංකාවේ මේ දෙකම ක්‍රියාත්මක වේ. කොයි එක වඩා හොඳදැයි තීරණය කිරීම අපහසු ය. ඉකුත් 22 වැනිදා මධ්‍යම කඳවුර හතර කොලනියේදී වී මෝලක් පිටුපස වේලීගිය වගුරු බිමක ළඳු කැලෑවකදී දැරිය දූෂ්‍ය කර දසවධ දී පිහියෙන් ඇන බෙල්ල කපා මරාදමා තිබියදී සොයාගෙන තිබේ . මහාධිකරණය සිය තීන්දුව දීමේදී ඇසින් දුටු සාක්කි සලකා බලා ඇත. එම ඇසින් දුටු සාක්කි පරස්පරතාවෙන් යුතු අතර පිළිගත නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ති

ස්වීඩනය ලංකාවේ තානාපති කාර්යාලය වසා දමයි

Image
(ජුලි 25, 2009 - W3Lanka) 1980 දශකයේදී ලංකාවේ ප්‍රධානතම සංවර්ධන ආධාරකරුවකු වූ ස්වීඩනය ලංකාවේ සිය තානාපති කාර්යාලය වසා දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව 2010 මාර්තු 31දා සිට එම තානාපති කාර්යාලය වසා දැමීමට නියමිත ය.  පසුගිය අප්‍රේල් මාසයේදී ලංකාව දෙමළ කැරැළිකරුවන්ට එරෙහිව අවසන් සටන දියත් කරමින් සිටියදී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් සහ ප්‍රංශ විදේශ ඇමති බර්නාඩ් කවුච්නර් සමග එක්වීමට අපේක්ෂා කළ ස්වීඩන් විදේශ ඇමති කාල් බ්ලිඩට් හට ලංකාව විසින් වීසා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික විරසකයක් ඇති විය. ලංකාව බ්ලිඩ්ට් හට වෙනම චාරිකාවක් සදහා ඇරැයුම් කළත් එය භාර ගැනුණේ නැත. වර්තමානයේදී යුරෝපා සංගමයේ සභාපතිත්වය හොබවන්නේ ස්වීඩනයයි.

උතුරට විදුලිය

(2009 ජුලි 24, W3Lanka ) ගැටුම් පැවති සමයේ බිඳ දමන ලද උතුර පළාතට විදුලිය සැපයීමට අවශ්‍ය අධි සම්ප්‍රේෂණ විදුලි රැහැන් පද්ධතීන් ජපානයේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මගින් යළි ඉදිකිරීමට බලාපොරොත්තු වන බව ද ඒ සඳහා ලබන සැප්තැම්බර් මාසයට පෙර ටෙන්ඩර් කැඳවන බව ද විදුලිබල හා බලශක්‌ති අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු මහතා පවසයි.

ප්‍රශ්න පත්‍ර ප්‍රශ්නය ගැන ප්‍රශ්න පත්‍රයක්

Image
(2009 ජුලි 24, W3Lanka) ඊයේ පාර්ලිමේන්තුවේදී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක හෙළි කළ වසර මැද වාර විභාග ප්‍රශ්න පත්තර සෙල්ලම් කීපයක් මෙසේ ය.  උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව 09 ශ්‍රේණිය සඳහා සිසු දරුවන්ට ලබා දුන් බුද්ධ ධර්මය 1 ප්‍රශ්න පත්‍රයේ 16 වැනි ප්‍රශ්නය: "මෘත ශරීර ස්‌වභාවය, යහපත් දේශනා විලාසය, නිවන් අවබෝධය යන කරුණු අනුව බුදුන් වහන්සේ හඳුන්වන විශේෂ නාම වන්නේ...? (පිළිතුරු හතරක්‌ දී ඇත) 'මෘත' යනු 'මනා' නම් වචනය වැරදි ලෙස මුද්‍රණය කිරීමකි. එම ප්‍රශ්න පත්‍රයේ 23 වැනි ප්‍රශ්නය: "ශ්‍රී ලංකාවේ මුලින්ම "දේපිඨක ධර්මය ග්‍රන්ථාරූඪ කළේ කොහේද." "දේපිඨක" යන්න  "ත්‍රිපිටකය" ලෙස නිවැරදි විය යුතුය. උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව අටවැනි ශ්‍රේණිය සඳහා දුන් බුද්ධ ධර්මය ප්‍රශ්න පත්‍රයේ 26 වැනි ප්‍රශ්නය: "ගන්න හිතන දෙනු නොහිතන - ටිකක්‌ දීලා හු ක් ගන්න" මෙහි 'හු ක්' යන්න 'හුඟක්' ලෙස නිවැරදි විය යුතු ය. හු ක් ගන්න යනු පාර්ලිමේන්තුවේ සඳහන් කළ නොහැකි අසභ්‍ය වදනක් බව අනුර කුමාර

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය නිදහස් වනවාත් සමගම එක්සත් ජනපද නිලධාරියෙක් ලංකාවේ

Image
(2009 ජුලි 24, W3Lanka) එක්සත් ජනපදයේ උවමනාව මත ප්‍රමාද කරමින් තිබුණේ යයි කියන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මුදා හැරීමට එම සංවිධානය සූදානම් වන අතරතුර එක්සත් ජනපදයේ ජනගහණ, අනාථයන් හා සංක්‍රමණය පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් එරික් පී. ෂ්වාට්ස් හෙට (25) ලංකාවට පැමිණීමට නියමිත ය.   ඔහු අවතැන් කඳවුරු බලන්නට යන බව හා රජයේ ඉහළ දේශපාලනයන් හා නිලධාරීන් ද, සිවිල් සමාජ සංවිධාන නියෝජිතයන් ද හමු වී සාකච්ඡා කරන බව තානාපති ආරංචි මාර්ග පවසයි.  2005 - 2007 සමයේ සුනාමියෙන් පසු නැවත ගොඩනැඟීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු ලෙස ෂ්වාට්ස් ලංකාව සමග කටයුතු කර ඇත.  ලංකාව හා චීනය අතර සබඳතා වර්ධනය වීම පිළිබඳ බටහිර සහ එක්සත් ජනපදය අසතුටින් සිටින අතරතුර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය නිදහස් කිරීම හා එක්සත් ජනපද ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරියකු ලංකාවට පැමිණීම දේශපාලනික වශයෙන් වැදගත් කාරණා ලෙස සැලකිය හැකිය. 

යුද්ධයෙන් පස්සේ ඉඩම් කොල්ලයක්

Image
(2009 ජුලි 24, W3Lanka) කොටි සංවිධානයත් සමග හමුදා සටන් අවසන් වීමත් සමග ලංකාවේ ඊසානදිග ප්‍රදේශවල ඉඩම් කොල්ලයක් ආරම්භ වී තිබෙන බව වාර්තා වේ.  පදවි ජනපදයට නැගෙනහිර දෙසින් ‍කෝකිලායි කලපුව දක්වා ඇති හිස් බිම් තීරයේ මෙම ඉඩම් කොල්ලය සිදු වන අතර, ‍පදවි ජනපදයේ ‍ඇතැම් ධනවත් පුද්ගලයෝ ඉඩම් බුල්ඩෝසර් කර අක්කර 10, 20 අල්ලා වැටකොටු බඳිමින් සිටින බව ප්‍රදේශයෙන් වාර්තා වේ.  මෙම කරුණ පිළිබඳව අප පදවි-ශ්‍රීපුර ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් විමසූ විට ඔහු කීවේ මෙම ප්‍රදේශය අයත් වන්නේ සම්පත්නුවර සහකාර ප්‍රාදේශීය ලේකම්වරයාට බවයි. ඔහුගෙන් විමසූ විට පැවසුවේ මේ පිළිබඳව මහවැලි එල් කලාපයේ නේවාසික ව්‍යාපෘති කළමනාකාරවරයාලෙන් විමසන ලෙසයි. වැලිඔය මහවැලි නේවාසික ව්‍යාපෘති කළමනාකාර පී.ජී. දයානන්ද එවැනි ඉඩම් කොල්ලයක් සිදු වන්නේ ය යන කාරණය ප්‍රතික්ෂේප කරයි. ඔහු පවසන්නේ කෘෂි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් රජයේ ඉඩම් මාස් කන්නයේ වගා කිරීම සඳහා ප්‍රදේශවාසීන්ට අවසර දී ඇති බවයි. ඒ අනුව වැලිඔය ව්‍යාපාරයේ පදිංචිකරුවන්ට අක්කරයකට රු. 750 බැගින් ද පිටස්තර පුද්ගලයන්ට අක්කරයකට රු. 1000 බැගින්ද බද්දක් මත උපරිමය අක්කර පහක් වනතෙක් මාස්

වත්මන් ආණ්ඩුවේ පස් වසර තුළ මාධ්‍යකරුවන් 34 දෙනෙකු ඝාතනය වේ

Image
(2009 ජුලි 23, W3Lanka) වත්මන් ශ‍්‍රී ලංකාවෙහි ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය අහෝසි කර ඇති අතර ජනමාධ්‍යයට සහ ජනමාධ්‍යවේදින්ට පෙර නොවූ විරූ මට්ටමේ ස්වයං වාරණයක් පවත්වා ගෙන යාමට බල කෙරී ඇති බව විදෙස්ගත ජනමාධ්‍යවේදීන් විසින් මෑතදී පිහිටුවන ලද ‘ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ‘ සංවිධානය පවසයි.  මෙම සන්දර්භය තුළ වත්මන් ආණ්ඩුවේ පාලන සමය තුළ ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් 34දෙනෙකු ඝාතනයට ලක්ව ඇති බව ද මෙලෙස ඝාතනය වූ ජනමාධ්‍යවේදීන් අතුරින් සිංහල තිදෙනෙකු සහ මුස්ලිම් එක් අයකු හැරුණ විට අන් 30දෙනාම අයත්වන්නේ දෙමළ ප‍්‍රජාවට බව ද පවසයි.  මීට අමතරව ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍යසේවකයින් 10දෙනෙකු පැහැර ගෙන යන ලද බව ද වධ හිංසාවන්ට ලක්වීමෙන් බේරීම පිණිස 50දෙනෙකුට වැඩි ජනමාධ්‍යවේදීන් පිරිසක් විදේශ ගත වී ඇති බව ද එම සංවිධානය පවසයි. එසේ විදෙස්ගත වූ මාධ්‍යවේදීන් දැනට සිටින රටවල් මෙසේ ය. ඔස්ටි‍්‍රයාව 01,  ඕස්ටේ‍්‍රලියාව 03, කැනඩාව 03, ඩෙන්මාර්කය 01, ප‍්‍රංශය 12, ජර්මනිය 04, ඉන්දියාව 05, මලයාසියාව 01, නෙදර්ලන්තය 02, නේපාලය 02, නොර්වේ 02, ස්විස්ටර්ලන්තය 16, බි‍්‍රතාන්‍ය 10, ඇමෙරිකා

අප උතුරට දෙන්න යන සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය මෙන්න

Image
උතුරේ මැතිවරණය අලුතින් බිහිවන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආරම්භය බව කම්කරු ඇමැති, කැලණිය ශී‍්‍රලනිප ප‍්‍රධාන සංවිධාය ක ආචාර්ය මර්වින් සිල්වා කියා තිබේ. (අද දිනමිණ කියවන්න) අප උතුර හෙවත් කැරැළිකාර දෙමළුන් ප්‍රභාකරන්ගෙන් මුදාගත්තෙමු. දැන් අපි ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදය දීම අරඹා තිබේ.  අපට අනුන්ට දීමට හැක්කේ අප ළඟ තිබෙන දේ පමණි. ඒ නිසා අප උතුරට දෙන්නට යන්නේ අප ළඟ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදයයි. එහි ලක්ෂණවලින් සමහරක් මෙසේයි. ආණ්ඩු ක්‍රමය සැකසෙන්නේ විධායක ජනාධිපති, ජනාධිපතිගේ මල්ලී, ජනාධිපතිගේ අනෙක් මල්ලී, බිරිඳ, අයියා, ලොකු පුතා, අයියාගේ පුතා, ව්‍යවස්ථාදායකය හා අධිකරණය ලෙසයි. දේශපාලනය යනු පරම්පරාවෙන් දේශය පාලනය කිරීම උරුම වී තිබෙන රජ, සිටු පවුල්වල හා ඔවුන්ගේ හිතවතුන්ගේ වැඩකි. ඡන්දදායකයන්ට තිබෙන්නේ මැතිවරණවලදී වැඩියෙන් වියදම් කරන, වැඩියෙන් මැරයන් ඇති අපේක්ෂකයකුට ඡන්දය දී, එතැන් සිට ඊළඟ ඡන්දය එනතෙක් රජයට බදු ගෙවීම පමණි. දේශපාලනය කළ හැක්කේ, ඡන්දවලට ඉදිරිපත් වී දිනිය හැක්කේ පිරිමින්ට පමණි. ගැහැනුන් කළ යුත්තේ රස්සා කිරීම, බත් ඉවීම හා යහනේ කටයුතු පමණි. පාලනය පිරිමින්ගේ ය. එහෙත්, මිය ගිය දේශපාලකයන්ගේ කණවැ

වනිතා කටයුතු ඇමතිනියගේ දිස්ත්‍රික්කයේ සන්ධාන ලැයිස්තුවේ පිරිමි විතරයි

Image
(2009 ජුලි 23 - W3Lanka) පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සියයට තිස්තුනක් විය යුතු බවට අදහස් පළ කර ඇති වනිතා කටයුතු ඇමැතිනී සුමේධා ජී. ජයසේනට තමන් නියෝජනය කරන මොනරාගල දිස්ති‍්‍රක්කයෙන් ඌව පළාත් සභා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් එකම කාන්තාවක් ඉදිරිපත් හෝ ඉදිරිපත් කිරීමට අමතක වී ඇති බව එක්සත් සමාජවාදී පක්ෂයේ මොනරාගල දිස්ති‍්‍රක් කණ්ඩායම් නායක සුනිල් අලුත්ගොඩ පෙන්වා දෙයි. ඒ වෙනුවට වනිතා කටයුතු ඇමතිනිය කර තිබෙන්නේ තම ඥාතීන් දෙතුන්දෙනෙකුම මොනරාගල දිස්ත්‍රික්කයේ සන්ධාන ලැයිස්තුවෙන් ඉදිරිපත් කිරීමයි.  තවත් විශේෂත්වයක් වන්නේ කාන්තා අයිතිවාසිකම් ගැන ප්‍රගතිශීලී අදහස් ඉදිරිපත් කර තිබෙන එක්සත් ජාතික පක්ෂය හෝ කාන්තාවට සම තැන පිළිගන්නා මාක්ස්වාදී පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ හෝ තම ලැයිස්තුවල කාන්තාවන් ඇතුළත් කර නොතිබීමයි. එක්සත් සමාජවාදී පක්ෂය පමණක් දෙමළ මුස්ලිම් අපේක්ෂයකින් දෙදෙනෙකු හා කාන්තාවන් පස් දෙනෙකුගෙන් සමන්විත ප‍්‍රබල කණ්ඩායමක් ඉදිරිපත් කැර ඇතැයි සුනිල් අලුත්ගොඩ මහතා පවසයි. මේ වන විට පළාත් සභා සියල්ල පක්ෂ-විපක්ෂ දේශපාලකයන්ගේ පුතුන්ට කරළියට ඒමට පියගැටපෙළ බවට ප

ඉඩං ඉඩං උතුරේ ඇත ඕනැතරම්

(අජිත් පැරකුම් ජයසිංහ) කඩුවෙල ශ්‍රීමත් සංගීත කණ්ඩායමේ ජනප්‍රිය ගීයක ‍කියැවෙන පරිදි කෝටි ගණන් තිබෙන නිසා කොළඹ රටේ ඉඩම් ගණන් ය. එහෙත් උතුරේ බොහෝ ඉඩම් ඇත. ඒ වෙනුවෙන් බූලි ගණන් ලේ ද හළා ඇත. ඉඩම් යනු ලංකාවේ සිදු වන අපරාධ බොහොමයකට හේතුවයි. ඉඩම් ආරාවුල් නොමැති නම් මෙරට මිනිස් සම්බන්ධකම් බොහෝ යහපත් වන්නට ඉඩ ඇත. ලංකාවේ ලොකුම ප්‍රශ්නය ද ඇත්ත වශයෙන් ම ඉඩම් පිළිබඳ කාරණයකි.  මව්බිම, පීතෲභූමිය, නිජබිම, දේශය, රට ආදී වචනවලින් රාමුගත කරන සංකල්ප පදනම් වන මූලික සාධකයක් වන්නේ ඉඩම් ය. සිංහලයන් තම ඉඩම් බලහත්කාරයෙන් ජනපදකරණය කරන්නේය යන සැකය දෙමළ ජනයා අතර පැතිර තිබේ. උතුරු පළාතේ ඉඩම් පිළිබඳ බලපාන තේසවලමෙයි නම් සම්ප්‍රදායික නීතියක් තිබේ. මෙම නීතිය වැරදියට අර්ථකථනය කරමින් සිංහලයන්ට උතුරේ ඉඩම් මිළ දි ගත නොහැකි යයි මතයක් සිංහල ජාතිවාදීහු සමාජයේ පතුරවති. එහෙත් ඇත්ත නම් වැඩි මිළක් ගෙවන්නේ නම් සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව රටේ ඔනෑම තැනකින් ඕනෑම කෙනෙකුට ඉඩම් මිළ දී ගත හැකි වීමයි. සල්ලි තිබෙන සුද්දන්ට පෞරාණික ගාලු කොටුවේ ඉඩම් වැඩි හරියක් මිළ දී ගත හැකි වූයේ එසේ ය. 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රි

අපට කියාදෙන්න දයාන් .... ඉතින් කතාකරන්න

Image
(2009 ජුලි 22 - W3Lanka) ඔහු දක්ෂ විද්‍යාර්ථියෙකි. මාක්ස්වාදී පසුබිමක් සහිත දේශපාලන ක්‍රියාධරයෙකි. විකල්ප කණ්ඩායම නම් රැඩිකල් වාම සංවිධානයක සාමාජික‍යකු ලෙස තරුණ වියේදී රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනාවකට ද ලක් වූ හේ පසුව ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ වර්ධරාජා පෙරුමාල්ගේ ප්‍රධාන අමාත්‍ය ධුරය යටතේ 1988දී පිහිටුවනු ලැබූ උතුරු-නැගෙනහිර පළාත් සභාවේ අමාත්‍ය පදවියක් ද හෙබවීය. මෙම පළාත් සභාව විසින් 1990දී ලංකාවේ උතුරු-නැ‍ඟෙනහිර ඊලාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කරන ලදී. පසුකලෙක ඔහු තම දේශපාලන භූමිකාව තෝරා ගත්තේ රාජ්‍ය නායකයන්ට උපදෙස් දීම ආශ්‍රිතව ය. හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස සමයේ ඔහුගේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් ජනරාල් කොබ්බෑකඩුවගේ අවමංගල්‍යය දිනයේ ගුටි කෑමට ද ඔහුට සිදු විය. උග්‍ර කොටි විරෝධියෙකු වූ දයාන් එල්.ටී.ටී.ඊ. සංවිධානය නැති භංග කිරීම සඳහා උපාය මාර්ග සැලසුම් කිරීමේදී සිංහල ජාතිකවාදීන්ට ඉතා වටිනා උපකරණයක් විය. පශ්චාත් එල්.ටී.ටී.ඊ. සමයේ ඉන්දියාව සමග ලංකාවේ සම්බන්ධයේදී 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම අතිශය වැදගත් සාධකයක් වන්නේ ය යන ස්ථාවරයේ හිඳිමින

බස කන දිවයින

Image
(ජුලි 22, 2009 - W3Lanka)  දිවයින පුවත්පත වෙළඳපොළේ පෙනී සිටින්නේ සිංහල ජාතියේ මුරදේවතාවක සේ ය.  ජාතියේ පදනම භාෂාවයි. එබැවින්, ජාතියේ මුරදේවතාවෝ අනිවාර්යයෙන් ම භාෂාවේ ද මුරදේවතාවෝ විය යුතු ය. අපි ඇතැම් ඊනියා භාෂාප්‍රේමීන් සේ ජනතාවට දුරවබෝධ වියරණයක් මත පදනම්ව බස රැක ගත යුතු ය යන ස්ථාවරයක පිහිටා කටයුතු කරන පිරිසක් නොවෙමු.  'වහරනු සෙරෙන් සපයා' යනුවෙන් සිදත් සඟරාවේ කී ලෙස ව්‍යවහාරයට ව්‍යාකරණය සැකසීමට අයිතියක් ඇතැයි අපි සිතන්නෙමු.  එහෙත්, අමු අමුවේ බස නැසීම ඉවසා සිටිය හැකි කාරණයක් නොවේ. දිවයින මුදලාලිලාගේ මුරදේවතා භූමිකාව පසුපස වෙළඳ අරමුණු තිබිය හැකි මුත්, එම රාමුව තුළ හිඳිමින් හෝ සදාචාර සම්පන්නව කටයුතු කිරීමේ වගකීමක් මාධ්‍යවේදීන්ට තිබේ.  "අලි මරලා මිනිස්සු ද? මිනිස්සු මරලා අලි ද?" මේ පසුගිය ඉරිදා දිවයින පුවත්පතේ 16වන පිටුවේ පළ වූ ලිපියක අපභ්‍රංස සිරස්තලයයි. ගමේ ගොඩේ මෙවැනි වැඩවලට කියන්නේ අලි පාං කන වැඩ කියායි.  වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමි ද ඒ අමාරුව?

එක රැයින් තාරකාවක් ‍වෙන්න කැමති නම් යුව රජ්ජුරුවන් ගැන ගීයක් කියන්න ඉදිරිපත් වෙන්න

මගේ නම අනිල් ගමගේ. යාලුවො කියන්නෙ සූර් අනිල් කියලා. අපිත් බොනවා තමයි. අරක්කු ටිකට ඕනැ වන්දිභට්ටකමක් කරන්න අපිත් සූදානම්. එත් ඉතින් කෝ අපට චාන්ස් එකක්.  අපිත් ඉතින් එක එක ඒවා ලියනවා තමයි. ඒත් ඉතින් අපව කවුද දන්නෙ? දැන් මට හතළිහක්. හැමදාම මෙහෙම ඉඳලා බැහැනේ. එක රැයින් ජනප්‍රිය වෙන්න ඕනෑ කියලා මමත් තීරණය කළා. ඒ නිසා මමත් ගීයක් ලිව්වා. රජ්ජුරුවන් ගැන තව ලියලා වැඩක් නැහැනේ. ඒ නිසා මම යුව රජ්ජුරුවන් ගැන ලිව්වා.  තනුව පරණ එකමයි. කොහොමත් ඉතින් එයාගෙ තනුවනේ මෙයා කියන්නේ.  එක රැයින් තාරකාවක් වෙන්න කැමති නංගි කෙනෙක් ඉන්නවා නම් ඉදිරිපත් වෙන්න හවසක මේ ගීය කියන්න. ආයුබෝ වේවා! යුවරජා‍ණනේ අප මහ රජුන් දුන් විවරණින්  පාතාල යකෙක් පහළව ඇතේ  ඒ යුව රජුන් පෑ පෙළහරින්  කැලනියට පවා කෙළ වුණේ// ආයුබෝ වේවා! යුවරජා‍ණනේ පෙම්දස් පතුල සිඹිමින් - ගනිමින් අල්ලා චන්ද්‍රිකාවන් ඡන්ද පන්දාහක් ගනිමින්  වීරවංසගෙ මහිමෙන්  දෙස් විදෙස් බඩ දඟලවාලයි  යුවරජා‍ණනේ  ආයුබෝ වේවා! යුවරජා‍ණනේ ආචාර්ය නාමෙන් හොර උපාධි ද ගනිමින් දුටුගැමුණු  ඉතිහාසයත් කා  සිරස කෑ මැරයන් දෙස් විදෙස් බඩ දඟලවාලයි  යුවරජා‍ණ

මෙන්න පන්සලක ඇඩ් එකක්!

Image
(ජුලි 21, 2009 - W3Lanka) ඇතැම් පන්සල් බුදු දහමට පටහැණි ව්‍යාපාරවල යෙදෙන්නේ අද ඊයේ සිට නොවේ. එහෙත්, පත්තරවල දැන්වීම් දමාගෙන අවිද්‍යා අන්ධකාරය අලෙවි කිරීම අලුත් ප්‍රවණතාවකි. පහත පළ වන දැන්වීම එවැනි පළමු දැන්වීම නොවේ. මීට පෙරද ඇතැම් භික්ෂූහු රෝග සුව කිරීම්, යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් ආදිය ගැන පත්තරවල ඇඩ් දැමූහ. කුස්වල වෙද හාමුදුරුවෝ නමැති භික්ෂුව ඇඩ් දමන්නේ ඒවා ඇඩ් ලෙස නොපෙනෙන අන්දමින් පුවත්පතේ ලිපි ලෙස පෙනෙන සේ ය. මේවාට පන්සල් ද ඈඳාගෙන තිබේ.  එහෙත්, මෙම දැන්වීම කෙළින්ම පන්සලක් පිළිබඳ දැන්වීමකි. මෙහෙම ගියොත් ඉදිරියේදී "දෙව් ලොව යන්න - අපේ පන්සලට එන්න" ආදී දැන්වීම් ජනමාධ්‍යවලින් ප්‍රචාරය වන දිනයකුත් ඒවි. ආගමික නායකයන්, දේශපාලක බෞද්ධයන් මේ ප්‍රවණතාව ගැන කියන්නේ කුමක්ද?

රෝහිතගේ තනතුර මහින්දට

Image
(ජුලි 21, 2009 - W3Lanka) අධික ලෙස පිටරට යාම හා සීමාන්තික වියදම් පිළිබඳ චෝදනාවලට ලක් වී සිටින විදේශ ඇමති රෝහිත බෝගොල්ලාගමගේ තනතුර අනතුරට භාජනය වී තිබෙන බව වාර්තා වේ.  මේ අතර ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ විවෘතවම එම තනතුර අපේක්ෂා කරන අතර ශ්‍රී ලංකා ගාඩියන් වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවක යෙදෙමින් තමන් කිරීමට අදහස් කරන දේ ද විස්තර කරයි. කෙසේ වෙතත්, බෝගොල්ලාගමට බෞද්ධ ආගමික නායකයන්ගේ දැඩි සහයෝගයක් තිබෙන නිසා ජනාධිපතිවරයා ඔහු ආරක්ෂා කරන බවද තතු දත් ආරංචි මාර්ග පවසයි.

ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදෙලන් ණය ගන්න කොන්දේසිවලට එකඟ වෙයි

Image
(ජුලි 21, 2009 -W3Lanka) විදේශ වත්කම් හිඟ වීම පිළිබඳ හදිසි අර්බුදය පියමං කර තිබුණත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් අවම වශයෙන් ඩොලර් බිලියන 1.9ක ණයක් ලබාගැනීම සදහා යටත් වන කොන්දේසි මාලාව ඇතුළත් 'අභිප්‍රාය ලියුම' ලංකාව විසින් අත්සන් කර තිබෙන බව මහ බැංකුව විසින් නිවේදනය කරන ලදී. පසුගිය මාර්තු වන විට ඩොලර් බිලියන 1.44ක් දක්වාද, මැයි වන විට ඩොලර් බිලියන 1.27 දක්වාද අඩු වි තිබුණු ලංකාවේ විදේශ වත්කම් සංචිතය මේ වන විට ඩොලර් බිලියන 1.7 දක්වා ඉහළ ගොස් තිබෙන බව මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි. එහෙත්, විදේශ ණය ගෙවීම සදහාත් ආර්ථිකය නැවත ගොඩනැඟීම සඳහාත් අවශ්‍ය මුදල් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණයක් ලෙස ලබාගැනීමට ශ්‍රී ලංකාව අදහස් කරයි. මෙම ණය ලබාගැනීම සඳහා එකග වී තිබෙන අභිප්‍රායන් රට අනුගමනය කරමින් සිටින මහේක්ෂ ආර්ථික ප්‍රතිපත්තිවලට අනුකූල බව මහ බැංකු අධිපතිවරයා බ්ලූම්බර්ග් පුවත් සේවයට දුරකථනය ඔස්සේ ප්‍රකාශ කර ඇත. එහෙත්, එකඟ වී තිබෙන කොන්දේසි මොනවාද යන්න හෙළිදරව් කිරීමෙන් වැළකී සිටීමට මහ බැංකු අධිපතිවරයා පරිස්සම් වී තිබේ. වෙයි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අලුත්ම ස්වයංක්‍රීය පද්ධතිය ලබා දෙන්නේ වැරදි දත්ත

Image
(2009 ජුලි 20, W3Lanka) 2004 සුනාමියෙන් පසු ජපන් ආධාර මත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සවි කරන ලද ස්වයංක්‍රීය කාලගුණ ස්ථාන පද්ධතිය හරි හැටි ක්‍රියාත්මක නොවන බව ද එමගින් ලබා දෙන්නේ වැරදි දත්ත බව ද දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. මෙම පද්ධතිය නිල වශයෙන් රජයට භාර දීම ජුලි 13දා උත්සවාකාරයෙන් සිදු වූ අතර එයට ආපදා කළමනාකාර අමාත්‍ය මහින්ද සමරසිංහ හා ලංකාවේ ජපන් තානාපතිවරයා සහභාගි වූහ.  වායු උෂ්ණත්වය, වායුගෝලීය පීඩනය, ආර්ද්‍රතාව, සුළං වේගය හා දිශාව, සූර්ය විකිරණ, වර්ෂාපතනය ආදී කරුණු පිළිබඳව මෙම පද්ධතිය මගින් දත්ත සපයන අතර ඒවා වැරදි බව ඔප්පු වීම හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි සඳහා එම දත්ත පාවිච්චි කරන්නේ නැති බව වාර්තා වේ.  එහෙත්, මෙම ස්වයංක්‍රීය කාලගුණ ස්ථාන පද්ධතිය නඩත්තු කිරීමටත්, ඒ සඳහා අදාළ වූ චන්ද්‍රිකා තාක්ෂණය ලබා ගැනීම සඳහාත් දෙපාර්තමේන්තුව දැවැන්ත පිරිවැයක් මාසිකව දැරිය යුතුව තිබේ. රු. මිලියන 650ක් වූ මෙම ව්‍යාපෘතියේ වියදමින් වැඩි කොටසක් දරනු ලැබුවේ එය ස්ථාපනය කිරීම සඳහා පැමිණි ජපන් ජාතික කාර්ය මණ්ඩලයේ නවාතැන් සඳහා තරු පහේ හෝටල් සැපයීම වැනි කාරණාවලට බව සේවකයෝ

කෝච්චි ගිලින යක්කුන්ට මෝටර් ආමිචර් කජ්ජක්ද?

Image
(2009 ජුලි 20, W3Lanka) මෑතකදී දුම්රිය එන්ජින් සඳහා අමතර කොටස් ගෙන්වීමේදී නිසි තත්ව පරීක්‍ෂාවකින් තොරව එය සිදුකිරීම හේතුවෙන් රුපියල් ලක්‍ෂ 150ක පමණ මුදලක් දුම්රිය දෙපාර්තමේන්තුවට අහිමි වී ගොස් ඇතැයි දුම්රිය සේවක අයිතීන් හා දේපළ සුරැකීමේ සංවිධානය පවසයි. එම සංවිධානය හෙලි කරන පරිදි, දෙපාර්තමේන්තු ඇණවුම් අංක RJJMM 3197$06 යටතේ M-04 වර්ගයේ දුම්රිය එන්ජින් සඳහා කැනඩාවේ හිටෙෂි ආයතනයේ දේශීය නියෝජිතයා වන පැසිපික් ග්ලෝබල් පුද්ගලික සමාගම හරහා ට‍්‍රැක්ෂන් මෝටර් ආම්චර් 06 ක් අලූතින් මිලදී ගැනීම සඳහා ඇණවුම් භාරදීමෙන් පසු 2009. 07. 08 දින ට‍්‍රැක්ෂන් මෝටර් ආම්චර් 06 දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබී ඇත. ආනයන බදු රහිතව එකක් රුපියල් ලක්‍ෂ 29 ක් වැනි මුදලකට ට‍්‍රැක්ෂන් මෝටර් ආම්චර් ගෙන්වුවද ලැබී ඇත්තේ ඒවා බව තාක්‍ෂණික ඇගයීම් කමිටුව තීරණය කොට ඇත.  එසේ වුවත් අදාල උපාංග නිසි පරීක්‍ෂාවෙන් තොරව මුදල් ගෙවීම නිසා මහජන මුදල් ලක්‍ෂ 173 ක් රටට අහිමිවී ඇති බව දුම්රිය සේවක අයිතීන් හා දේපළ සුරැකීමේ සංවිධානය පවසයි.

රජයේ පාසල්වලට ඇතුළත් වන ශිෂ්‍ය සංඛ්‍යාව අඩු වන්නේ ඇයි?

Image
(2009 ජුලි 20) 1994 වසරේ 254,000ක් පමණ වූ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට අතුල් වන ශිෂ්‍ය සංඛ්‍යාව 2008 වන විට 222,000ක් පමණ දක්වා පහත බැස ඇති බවද, ජාත්‍යන්තර පාසල් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවද අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම ජයන්ත මහතා පවසයි. මේ පිළිබඳ අදහස් දක්වන ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් ප්‍රනාන්දු පවසන්නේ කුඩා පාසල්වලට සිසුන් ඇතුළත් වීමේ සැලකිය යුතු අඩුවක් දක්නට ලැබීමට හේතුව රජයේ වැරදි අධ්‍යාපන ප්‍රතිපත්ති බවයි. නිදසුනක් ලෙස පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව සැලකිල්ලට ගෙන ගුරුවරුන් සේවයට යෙදවීම කුඩා පාසල්වල සිසුන්ගේ සම අධ්‍යාපන අයිතිය පැහැර ගන්නා බව පවසන ජෝසප් කියන්නේ ඒ වෙනුවට පාසලේ පංති සංඛ්‍යාව අනුව ගුරුවරුන් ප්‍රමාණය තීරණය කළ යුතු බවයි.  2007දී පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම පිළිබඳ ජාතික අධ්‍යාපන කොමිෂම විසින් නිර්දේශ කරන ලද ආකාරයට ජාතික පාසල්වල පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා පංති ඉවත් කළ යුතු අතර, කුඩා පාසල්වලට පහසුකම් හා ගුරුවරුන් ලබා දී ඒවායේ අධ්‍යාපන තත්වය ඉහළ නැංවිය යුතුය.  එහෙත් ජාතික පාසල්වල ව්‍යූහයේ වෙනසක් සිදු කිරීම පහසු නැති බව විදුහල්පතිවරු පෙන්වා දෙති. එ