අවතැන් වූවන් ලක්ෂයකට වඩා මහ මැතිවරණයටත් කඳවුරුවල

කාලකන්නිකම
(2010 පෙබරවාරි 16-W3Lanka)  උතුරු පළාතේ අවතැන් කඳවුරුවල සිටින ජනයා ජනවාරි මාසය අවසන් වන විට යළි පදිංචි කර අවසන් කරන බවට රජය විසින් ම  දෙන ලද පොරොන්දුව කඩ කරමින් ලක්ෂයකට අධික අවතැන් ජනයා රජය විසින් තවමත් කඳවුරුවල රඳවාගෙන තිබේ. 


විවධ තාක්ෂණික ගැටලු හේතුවෙන් මෙම ජනයාට පසුගිය ජනාධිපතිවරණයේදී ද නිසි පරිදි ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව නොලැබුණු අතර අප්‍රේල් 8දා පැවැත්වෙන මහ මැතිවරණයේදී ද එය ම සිදු වීමට ඉඩ ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ පවසති. මෙවර මහ මැතිවරණයේදී අවතැන් කඳවුරු ජනයාට සිය ඡන්ද බලය ප්‍රායෝගික ලෙස භාවිතා කිරීම සඳහා අවස්ථාව ලබා දීමේ වගකීමක් රජයට තිබේ. 


තමන් විසින් ම දෙන ලද දින වකවානු තුළ යළි පදිංචි කිරීම් සම්පූර්ණ කිරීමට බැරි වීම පිළිබඳව යළි පදිංචි කිරීම් භාර ඇමති රිෂාඩ් බදුර්දීන් පවසන්නේ එම වැසියන්ගේ ගම්බිම්වල ‍බිම් බෝම්බ ඉවත් කර පූර්ණ ආරක්ෂාව තහවුරු කිරීමට තවමත් අසමත් වීම පමාවට හේතුව බවයි. අප්‍රේල් මාසයේදී යළි පදිංචි කිරීම් සම්පූර්ණ වනු ඇති බව ඇමතිවරයා පවසයි. 


ඒ වන විට මහ මැතිවරණය අවසන් වී තිබෙනු ඇත. 


එක්සත් ජාතීන්ගේ දත්ත අනුව, පෙබරවාරි 05 වන විට වවුනියා, මන්නාරම හා යාපනය දිස්ත්‍රික්කවල අවතැන් කඳවුරුවල 106,000ක් ජනයා සිටි අතර, ඒ වන විට 160,000ක් ගම්බිම්වල යළි පදිංචි කර ඇත. තවත් 29,060ක් කඳවුරුවලින් පිට ඥාති, මිත්‍රාදීන්ගේ නිවෙස්වල වාසය කරති. 2009 මැයි මස යුද්ධයේ අවසන් දින වන විට 280,000ක් පමණ ජනයා අවතැන් වී සිටියහ. 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා