දේශපාලන හිමිකම් නැති නිලධාරීන් ආණ්ඩුවට කඩේ ගියාට සම්මාන; විපක්ෂයට ගියා නම් අවමාන; නීතිය දැන් එහෙමයි

(2010 පෙබරවාරි 08-W3Lanka)  පසුගිය ජනාධිපතිවරණයේදී විපක්‌ෂයට හොර රහසේ උදව් කළ පොලිස්‌ නිලධාරීන් පිරිස පිළිබඳ විශේෂ පරීක්‌ෂණයක්‌ පවත්වා ඔවුන් සේවයෙන් නෙරපා හරින බව රාජ්‍ය ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා "දිවයින"ට ප්‍රකාශ කර ඇත.


ආරක්ෂක හමුදාවල ජනරාල් සරත් ෆොන්සේකාට සහාය පළ කළ නිලධාරීන්ට එරෙහිව ද දැන් මේ හා සමාන පියවරක් ගැනෙමින් තිබේ.


රජයේ සේවයේ දේශපාලන හිමිකම් නොමැති නිලධාරීන් අතර ද අනියමින් සරත් ෆොන්සේකාට උදව් කළ අය සිටින බව ද ඔවුන්ට එරෙහිව ද පියවර ගනු ලබමින් ඇති බව ද දැනගන්නට ඇත. 


ඉහත ආකාරයේ පොලිස්, ආරක්ෂක හමුදා හා රජයේ නිලධාරීන්ට ප්‍රසිද්ධියේ දේශපාලන කටයුතුවලට සහාය දිය නො හැකි ය. ඒ ඔවුන් දරන මහජන මුදලින් වැටුප් ලබන තනතුරුවලදී ඔවුන් මධ්‍යස්ථව කටයුතු කළ යුතු නිසා ය. 


ප්‍රසිද්ධියේ දේශපාලනය නො කළ යුතු ය යන්නෙන් අදහස් වන්නේ විපක්ෂයට ආධාර නො කළ යුතු ය යන්න පමණක් නො වේ. ආණ්ඩු පක්ෂයට වුව ආධාර කිරීම නීති විරෝධී ය. 


නීතිය හරියට ක්‍රියාත්මක වන්නේ නම් ආණ්ඩුව වෙනුවෙන් දේශපාලනයේ යෙදුණ රජයේ හා ආරක්ෂක අංශවල නිලධාරීන්ට එරෙහිව ද පියවර ගත යුතු ය. 


එහෙත් දැන් ක්‍රියාත්මක වන නීතිය අනුව ආණ්ඩුවට කඩේ ගිය අය විපක්ෂයට කඩේ ගියවුන්ගෙන් පළි ගනිති. ලංකාවේ ජනතාව ඡන්දය දුන්නේ මෙම අවනීතිය වෙනුවෙන් නිසා කාටවත් කියන්නට දෙයක් නැත. 


අවි ගත්තෝ අවියෙන් නසිති යයි කියමනක් ඇත. කඩේ යන්නන්ට අදාළව ද කඩේ යන්නෝ කඩේ ගොස් නසිති යයි මෙය අලුත් විය යුතු යයි සිතේ. පළි ගැනීමට ලක් වන අය තිත්තයාගේ වාරය එන තෙක් බලා ඉන්නවා ඇත.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා