අලුත් මැතිවරණ නීතිවලින් හෙළ උරුමයත් තහනම් වේ?

(අගෝස්තු 10, 2009 - W3Lanka) රජය විසින් ‍නුදුරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ‍අදහස් කරන නව මැතිවරණ නීති යටතේ වාර්ගික හා ආගමික ප්‍රජාවන්ගේ අනන්‍යතාව ප්‍රකාශ කරන පක්ෂවලට තම නම සංශෝධනය කිරීමට හෝ නොඑසේ නම් ලියාපදිංචිය අවලංගු වීමට මුහුණ දීමට සිදු වනු ඇත.


මෙම අලුත් නීති අනුව කිසිදු දේශපාලන පක්ෂයකට වාර්ගික හෝ ආගමික අනන්‍යතාවක් ප්‍රකාශයට පත් වන නමක් භාවිතා කළ නොහැකි වේ. යම් පක්ෂයක් එවැනි නමක් භාවිතා කරන්නේ නම් වසරක් ඇතුළත නම සංශෝධනය කර ලියාපදිංචිය සඳහා නැවත අයදුම් කළ යුතු ය. පක්ෂ ලියාපදිංචිය අවලංගු කිරීමේ බලතල ද මැතිවරණ කොමසාරිස්වරයාට නව නීතිවලින් හිමි වේ. 



වාර්ගික අනන්‍යතාව ප්‍රකාශ කරන නම් ඇති දේශපාලන පක්ෂ අතරින් බොහොමයක් සුළුතර ප්‍රජාවන් නියෝජනය කරන පක්ෂ වේ. 'දෙමළ,' 'මුස්ලිම්' යන වචන දේශපාලන පක්ෂ රැසක නම්වල භාවිතා වන අතර, සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂය, සිහළ උරුමය හා ජාතික හෙළ උරුමය ආදී පක්ෂවල නම්වලින් බහුතර ප්‍රජාවේ වාර්ගික අනන්‍යතාව ප්‍රකාශයට පත් වේ.


වත්මන් රජයේ ප්‍රතිපත්තිය වන්නේ සුළුතර ජාතීන්ගේ දේශපාලනඥයන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ දේශපාලනය කළ යුතු බවයි. යාපනය මහනගර සභා ඡන්දයේදී අමාත්‍ය ඩග්ලස් දේවානන්දාගේ නායකත්වයෙන් යුත් ඊ.පී.ඩී.පී. පක්ෂය වෙනම තරග කිරීමට මුලින් අදහස් කළ ද රජයේ බලපෑම හේතුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස තරග කිරීමට පසුව සිදු විය. 


එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් කැඩී වෙන් වී දෙමළ මහජන විමුක්ති කොටි හෙවත් ටී.එම්.වී.පී. ලෙස කටයුතු කළ කරුණා අම්මාන් ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වු අතර නැගෙනහිර මහඇමති පිල්ලෛයන්ගේ කණ්ඩායමේ ටී.එම්.වී.පී. සාමාජිකයන්ට ද එසේ කරන ලෙස දැඩි බලපෑමක් එල්ල විය. එහි ප්‍රතිඵලයක් ලෙස මඩකලපු නගරාධිපතිනි ශිවගීතා ප්‍රභාකරන් ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබා ගත්හ. 


ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂයේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, ප්‍රධාන ලේකම්, සභාපති, අගමැති අපේක්ෂක හෝ ජනාධිපති අපේක්ෂක වැනි ප්‍රධාන තනතුරකට සුළුතර ජනවර්ගයන් නියෝජනය කරන කිසිවකු කිසිදු දිනෙක පත් වී නැත.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා