ඒකොන් සමග නටමින් සාදුලා සමග ගල් ගැසීම | Dancing with Akon and pelting stones with Buddhist monks

(2010 මාර්තු 26-W3Lankaඉංග්‍රීසියෙන් running with the hare and hunt with the hounds නම් අපූරු ප්‍රස්ථාව පිරුළක් ඇත. හාවුන් සමග දුවමින් බල්ලන් සමග දඩයම් කිරීම ලෙස මෙය පරිවර්තනය කළ හැකිය.


මහින්ද චින්තනය යටතේ ද බොහෝ විට සිදු වන්නේ මෙවැනි ක්‍රියායි. අපේ රජ්ජුරුවන්ට මෙන් ම ගෝල බාලයන්ට ද හිටි හැටියේ තමන් පාලකයන් බව අමතක වේ. එවිට ඔවුහු වීදියට බැස වීදුරුවලට ගල් ගසති. අලුත්ම උදාහරණය ඒකොන් නාඩගමයි.


ඒකොන් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයයි. එහි අරමුණ ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය බව කාර්යාංශයේ මූලිකත්වයෙන් පසුගිය 17දා පැවති මාධ්‍ය හමුවකදී කාර්යාංශයේ ලොක්කා ම පැවසීය.


ඩයලොග්, ශ්‍රී ලංකන් ගුවන් සේවය, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය සහ යර්ස් එෆ්.එම්. සමාගම් මෙම ප්‍රසංගය සඳහා අනුග්‍රහ දක්වන්නට ඉදිරිපත් වී තිබිණි. බෞද්ධයන් බහුතරයක් සිටින සිංහල ක්‍රීඩා සමාජය ද මෙම සංදර්ශනය සංවිධානය කිරීම පසුපස සිට තිබේ. එය හරියට සෙක්සි චික් ගීතයේ අනග රැඟුම් දක්නට ලැබෙන නාන තටාකය පසුබිමේ ඇති බුදුරුව වැනි ය. බැනුම් ඇසූ සිරස නම් ඇත්තෙන් ම මේ පිටුපස තමන් නොසිටි බව කියයි. අනේ පව්!


සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අයත් වන්නේ පංචායුධ විමල් වීරවංශ කුමාරයාගේ පාක්ෂික හා ප්‍රාණසම මිත්‍ර වූ ද, සංචාරක ඇමති අචල සුරංග ජාගොඩගේ විෂය පථයටයි.


මේ සංදර්ශනයට විරෝධය පළ කළ ජාතික සංඝ සම්මේලනය සිරසට එල්ල කර ප්‍රහාරයේ වගකීම භාර ගෙන ඇති බව ජාතික ආරක්ෂක මාධ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල පවසයි. මේ ජාතික සංඝ සම්මේලනයේ සැබෑ නායකයා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී හා ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක අතුරලියේ රතන හිමි ය.


නඩුත් හාමුදුරුවන්ගෙ - බඩුත් හාමුදුරුවන්ගෙ යයි කියන්නේ මේවාටයි. රු. 25,000 දක්වා මිළ වූ මේ සංදර්ශනයේ ටිකට් මිළ දී ගෙන එය බලන්නට යන්නේ අපේ පංතියේ අය නොව දැන් විමල්ලා, චම්පිකලා වන්දනා කරන තුප්පහි පංතියේ අයයි. ඇත්තම කියනවා නම් අපි මේ ඒකොන් ගැන දැන ගත්තේ ද මේ ගල් සෙල්ලම නිසා ය.


එහෙත්, දැන් බුද්ධ රූප කතන්දරේ අමතක කර බැලුවාම ඒකොන්ගේ වීඩියෝ බලන එක නිල් චිත්‍රපට බැලීම මාර අපරාදයක් බටට පත් කර තිබෙන ලංකාවේ අයට ප්‍රමාණවත් ආතල් එකකි. අන්තර්ජාලය වාරණය කරන්නට ආණ්ඩුව විසින් ගෙන්නන ලද චීන්නුන්ට දැන් ඒකොන්ගේ වීඩියෝ පවා වාරණය කරන්නට සිදු වන තරමට ලංකාවේ කොල්ලෝ සහ කෙල්ලෝ ඒවා නරඹති.


ලංකාවේ සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය පසෙක තිබියදී දැන් මේ රට ගැන ලෝකයේ ප්‍රචාරය වන්නේ සුදු වටොරක්, වසා රොදක්, පීන පයෝධර යුගලක් දැක්කොත් වියරු වැටෙන බෞද්ධ තලේබාන්ලා මේ රටේ සිටින බවයි. කාටද ආඩම්බර?


ඒකොන්ට මේ සංදර්ශනය පැවැත්වීමෙන් ලැබෙන මුදලින් කර ගත නොහැකි ප්‍රචාරයක් ගල් සෙල්ලම නිසා ඔහුට ලැබී තිබේ. ගල් සෙල්ලම් හොඳ නැති බව කපුටා අපට කියා දුන්නේ අප නම් බාලාංශ පංතිවල ඉන්න කාලේ ය. කරුමෙට පිරිවෙන්වල බාලාංශ පංති නැත. 


අපේ මිතුරකු විහිළුවට කීවේ ඒකොන් දැන් බුද්ධාගමට හැරී ඇති බවයි. ඔහුගේ දැන් නම අලහකෝන්ලු.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා