ලංකා ජනපතිගේ අලුත්ම ආශ්චර්යය එලියන්ත වයිට් | Sri Lanka President's latest miracle , Eliyantha White

(2010 මාර්තු 30-W3Lanka ) ලංකාවේ අගමැති නිල නිවාසය හෙවත් ජනාධිපතිගේ නවාතැන වන අරලියගහමන්දිරය දැන් ලොව පුරා ධනවත්, ජනප්‍රිය පුද්ගලයන්ට ආයුර්වේද වෛද්‍ය හාස්කම් සපයන ස්ථානයක් ද බවට පත් වී තිබේ.


එංගලන්ත පාපන්දු පිලේ හිටපු නායක සුපිරි පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම්ගේ පාදයේ ආබාධය සුවකර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආරාධනාවක් යවා ඇත. සිවුවැනි වරටත් ලෝක කුසලාන පාපන්දු තරගාවලියකට සහභාගිවීමේ අවස්ථාව අහිමි වී ඇති ඩේවිඩ් බෙකම්ට යළිත් ක්‍රීඩාපිටියට අවතීර්ණ විය හැකි ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර පහසුකම් ශ්‍රී ලංකාවේදී ලබාදීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කැමැත්ත පළකර ඇත.


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍ය එලියන්ත වයිට් මහතා විදෙස් මාධ්‍ය වෙත සඳහන් කැර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ඩේවිඩ් බෙකම් වෙත ආරාධනා පත්‍රයක් යවා ඇති බවයි.


ඩේවිඩ් බෙකම් පසුගිය 14 වැනිදා ඉතාලියේ පාපන්දු සමාජයකට ක්‍රීඩා කරමින් සිටියදී පාදයේ බත් කෙණ්ඩේ ආබාධයකට ලක්ව පසුව පින්ලන්තයේදී ශල්‍යකර්මයකට භාජනය කරන ලද අතර මාස හයක කාලයක් ක්‍රීඩා පිටියෙන් ඈත්ව සිටීමට ඔහුට වෛද්‍ය උපදෙස් ලැබී තිබේ.


1998 දී එංගලන්තය වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලියට එක්වූ බෙකම් ලබන ජූනි මාසයේ දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ලෝක පාපන්දු ශූරතාවලියට සහභාගිවීමට අපේක්ෂාවෙන් සිටියේය. එම තරගාවලියට සහභාගිවීමට හැකි වුවහොත් ලෝක කුසලාන පාපන්දු තරගාවලි හතරක් නියෝජනය කළ පළමු එංගලන්ත ක්‍රීඩකයා ලෙස 34 හැවිරිදි බෙකම් ඉතිහාසගතවීමටද නියමිතය. ඉතිහාසගත වීම ශරීර සෞඛ්‍යයට වඩා වැදගත් කරුණක් ලෙස අපි සිතමු.


1930දී ඕස්ට්‍රේලියානු ජාතික ඩොන් බ්‍රැඩ්මන් එක් ඉනිමකදී ටෙස්ට් ක්‍රිකට් ලකුණු 334ක් ලබා ගනිමින් තැබූ වාර්තාව 68 වසරකට පසුව 1998දී සම කළ තවත් ඕස්ට්‍රේලියානුවකු වූ මාක් ටේලර් එම ලකුණු සංඛ්‍යාව ඉක්මවා නොයමින් සිය ඉනිම අවසන් කළ ආකාරය අපට නම් තේරුම් ගැනීම අපහසුය. ටේලර් අතහැර දැමුවේ ඒ වන විට බ්‍රයන් ලාරා ලකුණු 375ක් රැස් කරමින් තබා තිබුණු වාර්තාව හඹා යාමයි. ඔහුට ඩොන් බ්‍රැඩ්මන්ගේ උත්තරීතරත්වය ඉක්මවා නොයාම ඊට වඩා වැදගත් විය. වාර්තාවක් තබන්නට පුළුවන් නම් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ දින පහම වුව පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන්නෝ ය.  කෙසේ වෙතත්, එම කරුණ මෙහිදී අදාළ නොවන වෙනත් වැල්වටාරමකි.


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍ය එලියන්ත ලින්ඩ්සේ වයිට් ජීවකතුමා එක්ස්රේ පතක්වත් නොබලා සිය ගුප්ත බල සහිත ආයුර්වේද ප්‍රතිකාර මගින් දින තුනකදී බෙකම්ට ක්‍රීඩාපිටියට අවතීර්ණ විය හැකි බවට විශ්වාසය පළ කර ඇත.


“මා සූදානම් ඔහුට ප්‍රතිකාර කිරීමට. ඔහුගේ ආබාධය දින තුනකදී සුව කළ හැකියි. ක්‍රීඩාපිටියට යන්න පුළුවන්. සාම්ප්‍රදායික ආයුර්වේද ප්‍රතිකර්ම සමඟ මුසුකරන විශේෂ බලයක් තිබෙනවා” වෛද්‍ය එලියන්ත වයිට් විදෙස් මාධ්‍ය වෙත පැවැසීය.


මෙම විස්මිත බලය ගැන නොදන්නා හෙයින් බෙකම් ෆින්ලන්තයේදී ශල්‍ය කර්මයක් කරගෙන තිබේ. හරිනම් කෙණ්ඩ පෙරළුණ බෙකම්ව කෙළින්ම ඔසවාගෙන එන්නට තිබුණේ එලියන්ත වයිට් වෙතයි.


මෙයට පෙර පාදයේ ආබාධයකින් පෙළුණු සචින් තෙන්ඩුල්කාර්ට වෛද්‍ය එලියන්ත වයිට් මහතා ප්‍රතිකාර ලබාදුන් අතර ඔහු එක් දින ද්විත්ව ශතකයක් ලබා ලෝක වාර්තාවක් පිහිටුවමින් ජනාධිපතිතුමාට ස්තුªතිය පුදකර සිටියේය.


ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගාම්බීර් හා අෂීශ් නේරාද පසුගිය මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රතිකාර ලබාගත්හ.


සත්තකින්ම මේ එළියන්ත වයිට් ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට ගෙන ඔහුට සෞඛ්‍ය ඇමතිකම දෙනවා නම් ඔහුගේ ගුප්ත බලයන්ගෙන් අඩු තරමේ විකලාංග වෛද්‍ය විද්‍යාව හෝ පුනර්ජීවනය කළ හැකිය. අත පය කැඩී බිඳී තවමත් සුවය ලබා නැති සොල්දාදුවන්ට ප්‍රතිකාර කරන්න ද මේ එලියන්ත වයිට් යොදා ගන්නේ නම් ජනාධිපතිතුමාට පිං සිදු වනු ඇත.


මේ එලියන්ත වයිට් යනු කවුරුද යන්න ද ඔහුගේ වෛද්‍ය හාස්කම් සේම ගුප්තය. මෙවැනි ආශ්ඩර්යජනක ජීවකයන් ලංකාවේ පැරණි රජුන්ට ද සිටි බව පැරණි සාහිත්‍යයේ සඳහන් වේ. අපට ද දැන් ඉන්නේ ජනාධිපතිවරයකු නොව රජෙකු බව මේ කාරණයෙන් ද ඔප්පු වේ.


එලියන්ත වයිට් ගැන මීට වඩා විස්තර අපි නොදනිමු. අන්තර්ජාලයෙන් ඔහු පිළිබඳ සෙවීම ද අවසන් කළ බවට දිවුරා පොරොන්දු වෙමු. 

Comments

  1. Meka thamai kiyanne "Loketa parakase Gedarata maragathe".Ape rate leddu andewal yata peduru damagena,hospital wala behet nehe,e thiyeddi Janapathi pissu kelinawa.Me ayata mewa denenne nehe,mokada siyalu sampath moda mahajanayata pinsidha wenna lebila thiyenawa.

    ReplyDelete
  2. ඔන්න දැන් ජනාධිපති තුමා බෙහෙත් ගන්නවා ඇමෙරිකාවේදී. කෝ ඔය එලියන්ත වයිට්? ඇයි එතුමාට ජනාධිපතිතුමාව සනීප කරන්න බැරිවුනේ?

    ReplyDelete
  3. අනුන්ගෙ කුණු හොයනව ඇරෙන්න උඹලට කරන්න වෙන වැඩ නැද්ද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා