සරත් ‍ෆොන්සේකාට සිදු වන දෙය තේරුම් ගනිමු | Let us understand what is happening to Sarath Fonseka

(2010 මාර්තු 09-W3Lanka)  සිංහලයන්ගේ හිටපු යුද වීරයකු වූ සරත් ෆොන්සේකාට සිදු වී තිබෙන දෙය කොයි වීරයාටත් පාඩමකි. අසීමිත බලයක් අතට ලැබුණු කල එයින් මත්ව උඩඟු හා භයානක ලෙස හැසිරුණ පුද්ගලයකු වූ සරත් ෆොන්සේකා වෙතින් බලය ගිලිහී යාමත් සමග ඔහු පසුපස දැන් එළවමින් සිටින්නේ අනුකම්පා විරහිත සතුරන් පිරිසකි.


ඔහුගේ සතුරෝ ද බලයෙන් මත්ව වියරුවෙන් හා වෛරයෙන් දැවෙමින් පළි ගැනීම සඳහා පසුපස පන්නන්නෝ පිරිසකි. ෆොන්සේකා වැන්නකුට එවැනි සතුරන් සිටීම බලාපොරොත්තු විය හැකි තත්වයකි. එහෙත්, යම් දිනෙක තත්වයන් වෙනස් වුවහොත් ‍මෙම පිරිස්වලට ද යළි නරක කාලයක් උදා වන්නට ඉඩ තිබේ. ලංකාවේ හැටි එහෙම ය. 


නිදසුන් ලෙස ගතහොත්, බලයේ සිටින විට හිටපු ජනාධිපති චන්ද්‍රිකාගේ බල්ලාට පවා ඇමතිවරු සැලකූහ. දැන් චන්ද්‍රිකාට බල්ලෙකුවත් සලකන්නේ නැත. 


බලයේ සිටියදී ෆොන්සේකා ‍සිතා සිටියේ නීති තිබෙන්නේ රිසි සේ කඩන්නට ය කියා ය. එබැවින් දැන් ඔහුට විරුද්ධව චෝදනා ගෙන ඒම එතරම් දුෂ්කර කාර්යයක් නොවේ. 


අද ෆොන්සේකාගේ සතුරන් නීතිය ගැන සිතන්නේ ද එසේම ය. බලය සදාකාලික නොවන බවට නිදසුන් ලෝක ඉතිහාසයේ එමට ය. 


සරත් ෆොන්සේකාට විරුද්ධව ඉදිරි දින දෙක ඇතුළත චෝදනා පත්‍රය ගොනු කැර අවසන් කිරීමට නියමිත බව ද යුද හමුදා පනත යටතේ චෝදනා පහකට වැඩි ප්‍රමාණයක් ජෙනරාල්වරයාට විරුද්ධව ගොනුවෙමින් පවතින බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ පවසයි.


ෆොන්සේකාට විරුද්ධව සැකසුණු සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව යුද හමුදාපති මේජර් ජෙනරාල් ජගත් ජයසුරිය මහතා වෙත ලබාදීමෙන් පසු ඒ පිළිබඳව ක්‍රියාකිරීමට යුද හමුදා නීති අංශය වෙත යොමු නර ඇක.


පුද්ගලයන් 35 කගෙන් ලැබුණු සාක්කි හා තාක්ෂණික සාක්කි මත මේ වාර්තාව සැකසුණු අතර ඒ සඳහා යුද හමුදාවේ පුද්ගලයන් 22ක් පොලිසියේ 07 ක් හා සිවිල් පුද්ගලයන් 6ක් සාක්කි ලබාදී ඇති බව සමරසිංහ මහතා පැවසීය.


මේ අතර, දියණියන් ඇමැතීම සඳහා පමණක් දිනකට ඇමතුම් දෙකක් ලබාගැනීමට යුද හමුදාපති මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය හිටපු හමුදාපතිවරයාට අවසර ලබා දීමෙන් අනතුරුව, එම වරප්‍රසාදය ඉල්ලා ඔහු විසින් ආරම්භ කරන ලද උපවාසය අවසන් කරන ලදී. මෙම ඇමැතුම් ලබා ගැනීමේ අවස්ථාව වරප්‍රසාදයක් ලෙස සලකා ජනරාල් ෆොන්සේකාට ලබා දී තිබුණ ද හමුදා අත්අඩංගුවේ පසුවන්නෙකුට එවැනි පහසුකම් ලබාදීමට නීතිමය අවසරයක් නැතැයි ද මේ ජර් ජනරාල් සමරසිංහ පැවසීය. ෆොන්සේකා සිය දියණියන් දෙදෙනාට මහත් සේ ආදරය කරන්නකු බව ප්‍රසිද්ධ ය. ඔහුගේ සතුරෝ එම මෘදු නිලය ඇල්ලීමට තරම් අනුකම්පා විරහිත අය වෙති. ෆොන්සේකා ද බලයේ සිටි කාලයේ එවැන්නකු යයි කියනු ලැබේ.


මේ අතර, යුද හමුදාපතිවරයාව සිටියදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දු දෙකක් ක්‍රියාත්මක නොකිරීම මඟින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අධිකරණයට අපහාස කර ඇතැයි තීන්දු කරන ලෙස ඉල්ලා හිටපු යුද හමුදා මේජර්වරයකු වන ඩබ්ලිව්. ඩබ්ලිව්. එම්. එල්. එස්. පලිපාන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.


පලිපාන යුද හමුදාවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දු ක්‍රියාත්මක නොකිරීම මඟින් අධිකරණයට අපහාස කිරීම පිළිබඳව දඬුවම් නොකර සිටීම සඳහා හේතු දක්වන ලෙස ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී.


පෙත්සම්කරු සඳහන් කරන පරිදි ඔහු යුද හමුදා මේජර්වරයකු ලෙස කටයුතු කරමින් සිටියදී කිසිදු චෝදනා ගොනු කිරීමකින් හෝ හේතු දැක්වීමකින් තොරව යුද හමුදා සේවයෙන් ඉවත් කිරීමට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා කටයුතු කර තිබේ.


එම තීරණය අභියෝගයට ලක් කරමින් පෙත්සම්කරු ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව 2006 මාර්තු මස 01 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇත.


ආබාධිත යුද හමුදා නිලධාරියකු වන පෙත්සම්කරු වෛද්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සහ පෙත්සම්කරු විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවකට පැමිණෙනතුරු ඔහුට හිමි වැටුප සම්පූර්ණයෙන් ගෙවීම යන කරුණුවලට දෙපාර්ශ්වයේ ඇතිවූ එකඟත්වය මත එම පෙත්සම් විභාගය අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.


එහෙත් එම කොන්දේසි ක්‍රියාත්මක කිරීමට ජෙනරාල් ෆොන්සේකා ක්‍රියා කර නැතැයි පෙත්සමෙහි සඳහන් වේ. 


කිඹුලා කනවා ඉවසිය හැකි මුත් කොහිල කටු ඇනෙන එක ඉවසන්නට බැරි යයි කියමනක් සිංහල ජනවහරේ ඇත. 

Comments

  1. ඒතනම් සහතික ඇත්ත....

    ReplyDelete
  2. apa kala yuththe rata thula prajathanthara vadaya pihituveemay, evita samajaya thula anekata , anekage mathayat garu karana veerayan bihiveemay,naththeth ovunmay.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා