දවස් දෙකකට අලුතෙන් මන්ත්‍රීවරු. මේවා දැකලා පණ පලයන් පෙරේදා! | Two new MPs for two days for Sri Lanka



(2010 මාර්තු 11-W3Lanka)1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය භයානක විහිළුවක් බවට පත් වී තිබේ. මෙහි අලුත් ම ජවනිකාව වන්නේ දින දෙකක් සඳහා මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පත් වීමයි. 

මෙම මන්ත්‍රීවරු දෙදෙනා වනු ඇත්තේ අනුර ගොපල්ලව හා ඩී.එම්. බංඩාරනායකයි. ඔවුන් දිව්රුම් දෙනවා නම් දෙන්නේ අප්‍රේල් 06දා පාර්ලිමේන්තුව රැස් වූ විටයි. පාර්ලිමේන්තුව එදින රැස් වන්නේ හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කර ගැනීමටයි. අප්‍රේල් 08දා මහ මැතිවරණය පැවැත්වෙන අතර, එයින් තේරී පත් වන මන්ත්‍රීවරු අප්‍රේල් 22දා පළමු රැස්වීමට සහභාගි වෙති. 

මේ අලුත් මන්ත්‍රීන් දෙදෙනා සහභාගි වන්නේ එක් පාර්ලිමේන්තු රැස්වීමකට පමණක් විය හැකි ය. එහෙත් ඔවුන්ට  දෙයියනේ කියා මාසෙ අන්තිමට මහජන මුදලින් රු. 50,000කට වැඩි පඩියක් ද තවත් රු. 50,000කට ආසන්න දීමනා ද සාක්කුවේ දමාගෙන නිකම් ඉන්න එකේ අහල ගියත් මොකදැයි කියා ගෙදර යා හැකි ය.  

මේ මන්ත්‍රීවරුන් දැන් මොන පක්ෂයේ ඉන්නවාදැයි අපි නොදනිමු. එහෙත් ඔවුන් පාර්ලිමේන්තු යනවා නම් යන්නේ එක්සත් ජාතික පක්ෂයෙනි. ඔවුන්ට මේ පොට්ට චාන්ස් එක වැදුනේ මහින්දගේ දෑත් ශක්තිමත් කිරීමට හෙවත් තමන්ට ඇමතිකම් ගැනීමට මෑතදී ආණ්ඩුවට කරනම් ගැසූ ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඉන්දික බංඩාරනායක යන එජාප මන්ත්‍රීන් දෙදෙනාට පදවි අහිමි වී යාම නිසා ය. ඔවුන්ට තනතුරු අහිමි වුණේ එක්සත් ජාතික පක්ෂය විසින් ඔවුන් සාමාජිකත්වයෙන් නෙරපා හරින ලද නිසා ය. 

2004දී එජාපයෙන් පාර්ලිමේන්තු ගිය මන්ත්‍රීන් 40ක් පමණ ආණ්ඩුවට එක් වී ඇමතිකම් ලබා ගත් අතර ඔවුන් නෙරපා හැරීමට එජාපය කටයුතු කළේය. එහෙත් ඔවුන් කළේ අධිකරණයට ගොස් වාරණ නියෝග ලබා ගැනීමයි. ඒ පිහිටෙන් ඔවුන් චූන් එකේ ඇමති පුටු රත් කළහ. 

ජොන්ස්ටන් හා ඉන්දික ද මෙම පියවර ගෙන තිබිණි. එහෙත්, පෙබරවාරි 08දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු නීතිඥයන්ට සල්ලි විසි කිරීම තේරුමක් නැති බැවින් ඔවුහු නඩුව ඉල්ලා අස් කර ගත්හ. විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි කැඳවනු ඇතැයි සිතන්නේ මොන මෝඩයාද? 

එහෙත්, ලංකාවේ සිදු වන්නේ 'එන එන හැටියට ගහ උළුවස්සා' යයි ගැමි වහරේ ඇති ආකාරයේ දේශපාලනයකි. හදිසි නීතිය දීර්ඝ නොකළොත් දැනට රටේ තිබෙන සාමාන්‍ය නීතිය වන එය වෙනස් වී සිවිල් නීතිය සාමාන්‍ය නිතිය බවට පත් වී තේරුම් ගන්නට බැරි මළ විකාරයකට ජනතාවටත්, විශේෂයෙන් ම පාලකයන්ටත් මුහුණ දීමට සිදු වන නිසා ජනාධිපති උතුමාණෝ සිය විධායක බලතල පාවිච්චි කරමින් හදිසි නීතිය මසකින් දීර්ඝ කළේය. එහෙත් පාර්ලිමේන්තුව විසින් එම පියවර අනුමත කළ යුතුව ඇත. එහෙයින් පාර්ලිමේන්තුව ද යළි කැඳවන ලදී. 

දැන්, විපක්ෂයෙන් පළි ගැනීම සඳහා ඉවත් කරන ලද මන්ත්‍රී ආරක්ෂාව ද යළි ලබා දෙන්නට සිදු වී තිබේ. 

දැන් ජොන්ස්ටන් හා ඉන්දික මන්ත්‍රීවරු නොවෙති. මන්ත්‍රීවරු නොවන මේ දෙදෙනා ඇමතිවරු ලෙස වැඩ කිරීම තේරුම් කර ගැනීම සඳහා තව කලක් අවශ්‍ය ය. මේවාට කියන්නට හැක්කේ 'මේවා දැකල පණ පලයන් පෙරේදා. කියා ය. 

Comments

  1. දවස් දෙකේ මන්ත්‍රීවරුන් අතරට එකතු විය යුතු තව කෙනෙක් ඉන්නවා. කදුරට ජනතා පෙරමුණේ චන්ද්‍රසේකරන් උන්නැහේ මිය ගියාම පත් කළ කෙනා?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා