මේ ක්‍රමයට සියතින් ම මිනී වල කපා ගන්න දෙන්න | Let Sri Lankan political system to dig its own grave

අජිත් පැරකුම් ජයසිංහ


මහ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාර ආරම්භ වී තිබේ. අපේක්ෂකයන් සිය බලය පෙන්වීම සඳහා මුලින් ම කළ ක්‍රියාවක් වූයේ දැවැන්ත රථ පෙළපාලි සංවිධානය කිරීමයි. වැඩිම වාහන සංඛ්‍යාවක් පෙළපාලියට එක් කර ගැනීමට සමත් වු අය ඒ තරගයෙන් දිනූහ. ඊළඟට ආරම්භ වී ඇත්තේ පෝසටර්, බැනර්, කටවුට්, පාරේ ලිවීම්, ජනමාධ්‍ය දැන්වීම් ආදිය සඳහා තරගයයි. 


සෑම අපේක්ෂකයකු ම උත්සාහ කරන්නේ තමන්ට අත දිග හැර වියදම් කිරීම සඳහා මුදල් ඇති බව පෙන්වීමටයි. මන්ත්‍රීවරයකු හෝ ඇමතිවරයකු වී සියලු වරප්‍රසාද සමග රු. ලක්ෂයක වැටුපක් ලබා ගන්නේ යයි සිතමු. අවුරුදු පහක් මන්ත්‍රීකම කළත් උපයා ගත හැක්කේ රු. ලක්ෂ 60ක් පමණි. එහෙත්, ලක්ෂ 60ක් වියදම් කර ඡන්දය දිනා ගැනීම සිහිනයකි. ජයග්‍රහණය පිළිබඳ විශ්වාසයක් ඇති අපේක්ෂකයන් කරන වියදම් ඇත්තේ ලක්ෂ 100න් එහා පැත්තේ ය. 


මෙම මුදල් කෙසේ උපයා ගත් ඒවාද?  මැතිවරණය සඳහා කරන ආයෝජනය පියවාගෙන ලාභ ලැබීම සඳහා ඔවුන් සතුව ඇත්තේ කුමන සැලැස්මක්ද? එවැනි සැලැස්මක් නැතිනම් ඔවුන් මේ මී කඩන්නේ අත ලෙව කා සැනසෙන්නද? අද වන විට ජනතාව මේ පිළිබඳ ප්‍රශ්න නොකරති. දූෂණය දේශපාලනයේ සාමාන්‍ය ලක්ෂණයක් ලෙස සැලකීමට තරම් ඔව්න් බුද්ධිමත් ය. 


ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකාගේ ප්‍රචාරක ව්‍යාපාරයේ මුදල් පරිහරණය හා අදාළ යම් යම් ගැටළු දැන් එළියට එමින් තිබේ. ආණ්ඩුව ‍ෆොන්සේකාගේ කුණු අවුස්සන්නේ තමන් නියම සුද්ධවන්තයන් යයි ජනතාව පිළි ගන්නේ යයි සිතාගෙන විය හැකි ය. මෑත යුගයේදී ජනතාව අව්‍යාජ ලෙස ප්‍රතිචාර දැක්වූ එක ම මැතිවරණය ජනාධිපතිවරණයයි. ‍වර්තමාන මජර දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ අභිලාෂයන් යම් අයුරකින් සරත් ෆොන්සේකාගේ මැතිවරණ ව්‍යාපාරය තුළ නියෝජනය විය. සරත් ෆොන්සේකා චරිතය හා ඔහුගේ දේශපාලන භූමිකාව ජනතාවගේ මෙම අභිලාෂයන් සමග පටලවා නො ගත යුතු ය. ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ගුණ සලකන්නැයි ජනතාවගෙන් කළ ඉල්ලීමට ඔහුට ප්‍රතිචාර ලැබිණි. ඔහු ඡන්දය දිනන්නට ඇත. එහෙත්, ජනාධිපතිවරණය මුල, මැද, අග සියල්ල ම දූෂිත ය. මහ මැතිවරණය එළඹෙන්නේ මේ මහා කොල්ලයෙන් පසු ය. 


ආණ්ඩුව මහ මැතිවරණයට එළඹෙන්නේ ජවිපෙ හා සරත් ෆොන්සේකා සමග ගොඩනඟා ගත් සන්ධානය බිඳ දැමීම සඳහා රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාප නායකත්වය එකඟ කරගෙනයි. එහි ප්‍රතිඵලයක් ලෙස මහ මැතිවරණයට තරග කරන්නේ සටන අත් හළ විපක්ෂයකි. එජාපයට අවශ්‍යව ඇත්තේ තම ඡන්ද පදනම රැක ගැනීමට පමණි. ජවිපෙ උත්සාහ කරන්නේ සරත් ෆොන්සේකා වෙනුවෙන් සහයෝගිතා රැල්ලක් නිර්මානය කර ගැනීමට වුව ද, එසේ නොවන්නේ නම් ආසන පහ හයකින් වුව ඔවුහු සෑහීමට පත්වනු ඇත. සත්‍ය සටන ඇත්තේ සන්ධානය තුළම ය. 


බිම් මට්ටමේ දේශපාලන ක්‍රියාකාරිකයන් මහ මැතිවරණයේදී ක්‍රියා කරන ආකාරය නිරීක්ෂණය කිරීම රසවත් ය. දිනන බව විශ්වාස අස්සයකු පිට නැඟීම ද තරගකාරී වැඩක් වී තිබේ. මක් නිසා ද යත් ඔවුන්ට සහයෝගය දෙන්නන්ගේ හිඟයක් නැති බැවිනි. ජාතික නිදහස් පෙරමුණ, හෙළ උරුමය වැනි පක්ෂවල අස්සයන්ට ඔට්ටු තබන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිනන අපේක්ෂකයන්ට ළං වීම දුෂ්කර අයයි. 2007 දක්වා ම පක්ෂයට වැටුප භාර දී, බිරින්දෑවරුන් රෙදි මසා ඉපැයූ මුදල්, තාත්තලාගේ පැන්ෂන් පඩි, යාළුවන් ඉඳා මචං කියා දුන් පන්සීයෙ පටි ආදියෙන් බඩ වියත රැක ගත් ජවිපෙන් කැඩී ගිය ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයන් අතරින් විමල් වීරවංශ හැර අනෙක් අයට ඡන්දයට වියදම් කිරීම සඳහා ලක්ෂ සිය ගණනක් මුදල් උපයා ගැනීම සඳහා කාලය ප්‍රමාණවත් වී නැති බව පෙනේ. හෙළ උරුමය පාරිසරික තර්කයක් දමමින් පෝස්ටර්, බැනර් නොගසා ලකුණු දමා ගැනීමට උත්සාහ කරයි. ඔවුන්ගේ ප්‍රචාරක ව්‍යාපාරය සල්ලි කන මාධ්‍ය ප්‍රචාරයන් වෙත යොමු වුවකි. කෙසේ වෙතත්, පුවත්පත්, රේඩියෝ, රූපවාහිනී දැන්වීම් දමන්නන් අතරින් ඉදිරියෙන් සිටීමට අවස්ථාව ලැබෙනු ඇත්තේ රජයේ මාධ්‍යවල ණයට දැන්වීම් දමා පසුව ඒවා බොල් ණය බවට පත් කිරීමේ වරප්‍රසාදය හිමි වන අයටයි. 


සමසමාජ, කොමියුනිස්ට් පතෝල මිනිස්ටර් දෙපොළ නම් ජාතික ලැයිස්තුවට රිංගාගෙන මෙවරත් ජාමෙ බේරා ගැනීමට සමත් වි තිබේ. ඔවුන්ගේ පක්ෂවලින් දිස්ත්‍රික්කවල තරග කරන අය අතරින් එක් හිටපු ඇමතිවරයකු හැර අන් අය පරාජය නියත දුප්පත් අපේක්ෂකයෝය. ඔවුන්ට පැවරී ඇත්තේ තම මාක්ස්වාදී ප්‍රධාන විධායක නිලධාරීන් දෙදෙනාගේ පුටු දෙක බේරා දීමයි.


එජාප ලැයිස්තුවෙන් තරග කරන අය අතර ද ඡන්දය දිනුවහොත් ජනාධිපතිගේ දෑත් ශක්තිමත් කරන්නට යන්න සිතාගෙන සිටින අය සිටිති. එකී මෙකී ආණ්ඩු පක්ෂ, විපක්ෂ අපේක්ෂකයන්ට බිම් මට්ටමේ දේශපාලන ක්‍රියාකාරිකයන් සහාය දෙන්නේ රැකියාවක්, උසස්වීමක්, කොන්ත්‍රාත්තුවක්, දේශපාලනයට එන්නට අවස්ථාවක් හෝ ‍තමන්ගේ ගෙදර අවමංගල්‍යයකට ආණ්ඩුවේ ඇමතිවරයකු පැමිණීම වැනි පොඩි පොඩි වාසි බලාගෙනයි. ලොකු ලොකු වාසි ලොකු ලොකු ව්‍යාපාරිකයන් හා නිලධාරීන් ආදීන්ටයි. 


මෙවර මහ මැතිවරණය වනාහි 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ ඇති කරන ලද මජර දේශපාලන ක්‍රමයේ සුරතාන්තයයි. විශේෂයෙන්ම, 2000 වසරෙන් පසු මෙම ක්‍රමය උත්කර්ෂයට නංවනු ලැබුවේ එම ක්‍රමයේ ගොදුරු වූ එජාපය හා ශ්‍රීලනිපය වැනි පක්ෂ විසින් නොවේ. ජවිපෙ, හෙළ උරුමය වැනි ප්‍රතිපත්ති මුලික දේශපාලනයක යෙදුණු පක්ෂ විසිනි. කොටි සංවිධානය ද සිංහල සමාජයේ විනාශය අපේක්ෂා කරමින් මෙම ක්‍රමයේ හොඳම බලවේග ඉදිරයට ගැනීම සඳහා කැප වී අනුන්ට කැපූ වලේ තමන් ම වැටී විනාශ විය. ජවිපෙ දෙකඩ වීම හා හෙළ උරුමය සීසීකඩ විසිරීම ද එහි ම ප්‍රතිඵල වේ. දැන් මේ සියල්ලන්ට ම මුහුණ දීමට සිදු වී ඇත්තේ තමන් බෝතලෙන් එළියට ගත් යකාටයි. 


මෙවර මහ මැතිවරණයේදී මහජනතාවට කළ හැකි ප්‍රගතිශීලී ම කාර්යය යයි අප නම් සිතන්නේ මේ පිරිසට පාර්ලිමේන්තුවේ පිටවීමේ දොරටුව පෙන්වා දීමයි. එසේ සිදු වන්නේ නම් පමණක් තමන් කළ කී දෑ ගැන යළි මෙනෙහි කිරීමේ අවස්ථාවක් ‍මෙම ‍ප්‍රතිපත්ති මූලික දේශපාලනයක යෙදුණු පක්ෂවලට ලැබේ. මෙම කරුණ සමසමාජ, කොමියුනිස්ට් ආදී පක්ෂවලට අදාළ නොවිය හැකිය. මන්ද, ඔවුන්ගේ ප්‍රතිපත්තිය වන්නේ මොන උප්පරවැට්ටියකින් හෝ පාර්ලිමේන්තු ආසනයක් දෙකක් සිඟා ගැනීම බැවින් ඔවුන් සහ මජර දේශපාලන නායකයන් අතර වෙනසක් නැත. 


මෙවර මහ මැතිවරණයෙන් ජය ගන්නේ වැඩියෙන් ම මුදල් වියදම් කරන පිරිසයි. වැඩියෙන් මුදල් වියදම් කරන්නේ වැඩියෙන් ම දූෂිත අයයි. මේ පාර්ලිමේන්තුවට යා යුත්තේ ඔවුන් මිස ප්‍රතිපත්ති මූලික දේශපාලනයක යෙදුණු අය නොවේ. මෙම දේශපාලන ක්‍රමය විසින් දැනටමත් විශාල සමාජ බලවේගයක් මෙම ක්‍රමයෙන් බැහැර කර තිබේ. එම බැහැර කිරීම සම්පූර්ණ කළ හැක්කේ ජවිපෙ, හෙළ උරුමය, ජානිපෙ වැනි ප්‍රතිපත්ති මූලික දේශපාලන ඉතිහාසයක් ඇති සෙසු බලවේග ද මෙම ක්‍රමයෙන් බැහැර කළ හැකි නම් පමණි. පාර්ලිමේන්තුව ඈලියාවට ම ගිය විට හෝ රාජ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ උනන්දුවක් සමාජයේ ඇති වනවා නම් හොඳ ය. ඒ සඳහා වූ දේශපාලනය පාර්ලිමේන්තුවෙන් පිටතට හෙවත් මහ පොළව මතට ගත යුතු ය. 

Comments

  1. වරද ව්‍යවස්ථාවේවත් මේ පුද්ගල චරිතවලවත් නොවේ. බහුතරය නිවට ජනතාවක් වෙසෙන ඕනෑම සමාජයක් අමනභාවයට පත්වේ.

    ReplyDelete
  2. Diyakurus,Obe keema hariya.Viyawastawanta ha jara deshpalakayanta dos negeemen palak neta.Mema ja deshapalanaya gena janatawa denuwtkereemata pradana paksha menma etem katu lewakana(bahutarayak)madiyawalata uwamanawak neta.Oun karanne janatawa tawa tawat motakereemai.Me hetuwen janatawa newata,bayadu pirisak bawata patwee eta.Ewan janatawak sitina samajayak periheema nowelekviyaheka.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා