රාජපක්ෂලාගේ රාජ්‍ය සඟහරණයට අපේ සහාය! | Our support to the desangafication of state by Rajapaksas

(2010 මාර්තු 01-W3Lankaමෙම සටහන ජනාධිපති මහින්ද රාජපක්ෂටත්, රාජපක්ෂ පවුලටත්, ගෝල බාලයන්ටත් ස්තුති කිරීම පිණිස ලියනු ලබන්නකි.


කවුරු කළත් හොඳ දේ අගය කළ යුතුය. එසේ නොකරන්නේ නම් එය කුහකකමකි. 


අපි වාමාංශිකයෝ වෙමු. එහෙත්, අවස්ථාවාදියෝ නොවෙමු. අපට දේශපාලනිකව යන එන මං නැතිව ගොස් තිබෙන්නේ ද ඒ නිසා විය හැකිය. එහෙත් අපි කන්නට ඕනෑ වූ විට කබරගොයා තලගොයා කර ගන්නේ නැත. එහෙත් මේ සටහන කබරගොයා හෝ ටිකිරිලියා හෝ ගැන නොවේ.


රජය මහනායක හිමිවරුන් ඇතුළු අති පූජ්‍ය සංඝරත්නය නොතකා හරින බව කියමින් දැන් ඇතැම් වාමාංශිකයෝ ද වැළපෙන්නට පටන් ගෙන ඇත. දළදා මාළිගාව පරිශ්‍රයේ ආණ්ඩුවට එරෙහිව පවත්වන්නට ගිය සංඝ සම්මේලනය රාජපක්ෂ පාලනය කැරට් සහ කෙවිට පාවිච්චි කරමින් කඩාකප්පල් කර දැමීම මෙම වැලපිල්ලට හේතුවයි. 


විශේෂයෙන්ම එක් මහ නායක හිමි නමක් ඇතුළු බෞද්ධ භික්ෂු නායකයන් රැසකට ආණ්ඩුව සරත් ෆොන්සේකාට කළ බලු වැඩේ ගැන කේන්ති ගොස් තිබේ. පවුල පිටින් රට රාජ්‍යවල සැරිසරමින් සුපිරි හෝටල්වල සැප ගැනීම නම් දේශපාලනය කරන එක් ඇමතියකු සහ මහජන මුදල් භාර තැනක ඉන්නා හොරෙකු බව උසාවිය පවා පිළි ගන්නා කෙනෙකු ඇතුළු දූෂකයන් විදූෂකයන් රැසක් මෙහිමියන්ගේ ආරක්ෂාව ලබන බව ප්‍රසිද්ධය. ඔවුන් රකිනවාට අමතරව පොලිස් ලොක්කාකමට ද තමන්ගේ ඇම්බැට්ටයකු දමා ගැනීමට මෙතුමන්ට උවමනා වී තිබී ඇත. ඒ වුණාට ඉතින් රාජපක්ෂ මහත්තයලාටත් ඔය කියන කියන හැම දේ ම කරන්නට බැරි බව උන්නාන්සේ තේරුම් ගත යුතුය.  වෛරී දේශපාලනය හොඳ නැති බව මහ රජතුමා නිතර කියන්නේ ඔය නිසාය. 


හාමුදුරුවන්ට තිබෙන්නේ දානෙ වළඳා පන්සල්වලට වී පඩික්කම් පුරවමින් සිටීම බව වරක් ලංකාවේ සිටි මාක්ස්වාදය හොඳින් හදාළ ධනේශ්වර බුද්ධිමතකු වූ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන පැවසීය. මාක්ස්වාදය නො කියවා එය අදහන ජවිපෙ නායකයන් මෙන් මහ නායක හිමිවරුන් හමු වන්නට ගිය විට ජේ.ආර්. කවදාවත් පයට පෑගීමට ඇති බුමුතුරුණු මත වාඩි වුණේ නැත. 


ආගමට ඇති කාර්යභාරය කුමක්ද යන්න ලෝකායතවාදීන් වන අපට අදාළ විෂයක් නොවේ. ආගමික පූජකවරුන් මොනවා කළත් අපට කමක් නැත. නොකළ යුතු දෙය වන්නේ රාජ්‍යයේ කටයුතුවලට ඇගිලි ගැසීමයි. රාජ්‍යය ආගමෙන් නිදහස් විය යුතු බව අපි අදත් කියමු. විශේෂයෙන් ම ලංකාව වැනි බහු ආගමික දේශපාලන ප්‍රජාවක රාජ්‍ය ආගම් කියා දෙයක් අවශ්‍ය නැත. ආගම් ඇදහීම පුද්ගල කාර්යයක් හා අයිතිවාසිකමක් මිස රජයක කාර්යයක් නොවිය යුතුය.  ආගම වැඩිපුර සම්බන්ධ වන්නේ පුද්ගලයාගේ අධ්‍යාත්මික පාර්ශ්වයටයි. රාජ්‍යය වැඩියෙන් සම්බන්ධ වන්නේ භෞතික ජීවිතයටයි. පාලකයන්ට හා මහජනතාවට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීම ආගමේ කාර්යයි. රජය කරන්නේ ධර්මයෙන් හෝ අධර්මයෙන් හෝ මේ දෙකෙන් ම හෝ එකක්වත් නැතිව හෝ රට පාලනය කිරීමයි. 


යුද්ධය අවසන් වී මාස කීපයකින් ම ආණ්ඩුව රණ විරුවන් කරෙන් බස්වන ලදී. එය සිදු වූ ආකරය කෙතරම් අවලස්සන වුණත් එය සමාජය මිලිරිහරණය කිරීමේ දිශාවට තබන ලද හොඳ හා අවශ්‍ය පියවරකි. යුද වීරයන් ද දැන් නීතියේ මුක්තියෙන් තොරය. විස්තර අවශ්‍ය නම් අනෝමා ෆොන්සේකාගෙන් දැන ගත හැකිය. 


බෞද්ධ භික්ෂූන් ද මෙම තත්වය තේරුම් ගත යුතුය. ප්‍රභාකරන් නැති ලංකාව යනු කුමක්ද යන්න තවමත් බොහෝ දෙනෙකුට තේරෙන්නේ නැත. ප්‍රභාකරන් සිටි කාලයේ උඩ තිබුණු වස්තු බොහොමයක් දැන් හතර ගාතෙන් බිමය. දෙපයින් හෝ හිටගෙන ඉන්නට හැකි වනු ඇත්තේ මෙම යථාර්ථයට හැඩ ගැසුණොත් පමණි. නැතිනම් සිදු වනු ඇත්තේ පස්ස බිම ඇණ ගැනීමටයි. මේ කාලය වනාහි රෝං ගියොත් රතන හිමියන්ගේ අසපුවෙන් වුව ටී පනස් හයවල් හමු වෙන යුගයකි. මල්වතු, අස්ගිරි කොයි ආරාමයටත් මෙය පොදුය. 


ලංකාවේ රාජ්‍යය සඟහරණය කිරීම ද කොහොම කෙරුණත් ප්‍රගතිශීලී දෙයකි. පසුගාමී වැඩවසම් සංස්ථා උත්කර්ෂයට නඟමින් අපට සැබෑ නූතනත්වයක් අත් පත් කර ගත නොහැකිය. 


මහ රජතුමනි, මේ විධිය නම් නරක නැත. ඔහොම යං! ඔහොම යං!

Comments

  1. මෙතනදි ආගමක් පටලගත්තද ඒ ආගම කුමක්ද යන්න ගැටඵවකි. අද මෙරටෙහි භික්ෂූන් ලෙස චීවර දරණ යම් කොටසක් දේශපාලකයන්ගේ පහත් මානසිකත්වයේ පහත් ආශාවන් වෙනුවෙන් පෙනී සිටී. එහෙත් ඔවු‍න්ගේ ආගම කුමක්ද යන්න හඳුනාගත නොහැක. එය බුදුන් වහන‍්සේ වදාල ධර්මයට ඉඳුරාම පටහැනිය. එබැවින් ඔවුන් හදවත් වලින්නම් බෞද්ධයන් නොවන බව බුදුන්ගේ හදවත දැනෙන ඕනෑම අයෙක්ට දැනෙනු ඇත. එබැවින් බෙෘද්ධ භික්ෂූන් ලෙස ඔවුන් හැඳින්වීම සැබෑ ‍බෙෘද්ධ භික්ෂූන්ට හා ජනයාට කරන නිගරුවකි.

    ReplyDelete
  2. I fully agree. See Malwathu Mahanayake, Go Fly a Kite Now! | මල්වතු මහනාහිමියෙනි, දැන් ඉතින් දුවන්න, පනින්න, ගී කියන්න, නටන්න!

    http://taboosubjects.wordpress.com/2010/02/27/234

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා