පිල්ලෛයන් තම්බිට දෙයියන්ගෙ පිහිටයි! - God bless Pillaiyan Thambi

(2010 මාර්තු 01-W3Lanka)  නැ‍ඟෙනහිර මහ ඇමති සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෛයන් හට සපයා තිබුණු හමුදා ආරක්ෂාව ඉවත් කර තිබේ. හේතුව කවුරුත් දනිති. පිල්ලෛයන් ආණ්ඩුවට ඕනෑ පරිදි ම වැඩ කරන්නේ නැත. පිල්ලෛයන් හා ඇමති කරුණා අම්මාන් අතර ඇති පෞරුෂ හා දේශපාලන ගැටුම ද එසේ වීමට බල පා තිබේ. 


පිල්ලෛයන් වනාහි කොටි සංවිධානයෙන් බිඳී ඇවිත් තම පැරණි නායකයන්, සගයන් හා අනුගාමිකයන් පාවා දී විනාශ කිරීමට කටයුතු කළ සිංහලයන්ගේ වීරයෙකි. දැන් පිල්ලෛයන්ගේ පපුව කොටි සංවිධානයට විවෘතය. කොටින් නැවත ක්‍රියාත්මක බව පසුගියදා අගමැති රත්නසිරි වික්‍රමනායක පැවසීය. 


මහජන මුදලින් දේශපාලකයන්ට දෙන ආරක්ෂාව මහින්ද රාජපක්ෂ පාලනය යටතේ අපූරු දේශපාලනික කෙවිටක් වී ඇති බව පසුගිය කාලයේ පුද්ගලයන්ට ආරක්ෂාව දුන් ආකාරය හා එය ඉවත් කළ ආකාරය නිරීක්ෂණය කිරීමෙන් පෙනේ. 


කාර්යක්ෂම පෙනුමකින් යුත් ආරක්ෂක භටයන් විසින් සපයනු ලබන දැඩි ආරක්ෂාව මධ්‍යයේ මහජනයා ඉදිරියට යාම ලංකාවේ දේශපාලකයන්ගේ සිහින අතරින් එකකි. ඒ ආතල් එක වින්ද අයට එය අහිමි වීම ප්‍රසිද්ධියේ හෙළුවෙන් ඇවිදීම වැන්නකි. රාජපක්ෂ පාලනය සිය අන්තේවාසිකයන්ගේ රාජපාක්ෂිකත්වය ආරක්ෂා කර ගන්නේ එසේය.


රජුන් ඇසුර ද අලි බාස්කම වැනි අන්තරාදායක වැඩකි. අලියා මෙන් ම රජු ද කෙළින්නේ කොයි වෙලේදැයි දන්නේ දෙයියන් උඩ ඉන්නවා නම් උන්නැහේලා පමණි. 


පිල්ලෛයන් තම්බිට ද දෙයියන්ගේ ම පිහිට ප්‍රාර්ථනා කරමු!

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා