ඒකොන්ට ගැසූ ගල්වලින් ප්රදර්ශනය වූ දේශපාලන ආර්ථික නිරුවත
අජිත් පැරකුම් ජයසිංහ - ඒකොන් ලංකාවට එන්න සිට නෑවිත් මාලදිවයිනට යයි. ලංකාවට නොආ ඒකොන් ලංකාවේ දේශපාලන, ආර්ථික ප්රතිපත්තිවල සළු පිළි ගැලවූ බව අපේ අදහසයි. සළුපට අහසට ගිය කල ලංකාව ප්රදර්ශනය කළේ දැවැන්ත පිරිමි ඇඟක් හෙවත් ඍජු දේශපාලන පෞරුෂයක් නම් සිංහලයන්ට හෝ ලාංකිකයන්ට එය ප්රශ්නයක් නොවනු ඇත. එහෙත් ඇත්තතෙන් ම දකින්නට ලැබුණේ නීච, නිවට, නියාලු, වංචනික හික් මීයෙකි. ඒකොන් පිළිබඳ රාත්රී සමාජ ශාලා යන්නට මුදල් නැති නාගරික සාමාන්ය ජනයා හා එවැනි ස්ථාන නැති ගම්වල සාමාන්ය ජනයා දැන ගත්තේ දේශපාලන අනුග්රහය ලත් මදාවි පිරිසක් සිරස මාධ්ය ආයතනයේ කොළඹ කාර්යාලයකට පහර දීමෙන් පසුය. ඔවුන් සිරසට පහර පහර දුන්නේ එම ආයතනය විසින් සංවිධානය කරන ලද සංදර්ශනයකට සහභාගි වීමට නියමිත ඒකොන් නම් සෙනෙගාල්-ඇමරිකන් සම්භවයක් සහිත R&B හෙවත් rhythm and blue ගායකයාගේ 'සෙක්සි චික්' නම් ගීතයේ වීඩියෝවෙන් කුපිත වී බව කියනු ලැබේ. අප්රිකානු සම්භවයක් සහිත මෙම සංගීත ශෛලිය මුල් කාලයේදී ඇමරිකානු කළු ජාතිකයන් අතර භාවිතා වුණේ ඔවුන් ගෙවූ පීඩිත ජීවිතයේ දුක් කම්කටොලු ලොවට ප්රකාශ කිරීමට වුව ද අද වන විට මෙවැනි සංගීත ශෛලීන්...