ඒකොන්ට ගැසූ ගල්වලින් ‍ප්‍රදර්ශනය වූ දේශපාලන ආර්ථික නිරුවත


අජිත් පැරකුම් ජයසිංහ - 


ඒකොන් ලංකාවට එන්න සිට නෑවිත් මාලදිවයිනට යයි. ලංකාවට නොආ ඒකොන් ලංකාවේ දේශපාලන, ආර්ථික ප්‍රතිපත්තිවල සළු පිළි ගැලවූ බව අපේ අදහසයි. සළුපට අහසට ගිය කල ලංකාව ප්‍රදර්ශනය කළේ දැවැන්ත පිරිමි ඇඟක් හෙවත් ඍජු දේශපාලන පෞරුෂයක් නම් සිංහලයන්ට හෝ ලාංකිකයන්ට එය ප්‍රශ්නයක් නොවනු ඇත. එහෙත් ඇත්තතෙන් ම දකින්නට ලැබුණේ නීච, නිවට, නියාලු, වංචනික හික් මීයෙකි. 


ඒකොන් පිළිබඳ රාත්‍රී සමාජ ශාලා යන්නට මුදල් නැති නාගරික සාමාන්‍ය ජනයා හා එවැනි ස්ථාන නැති ගම්වල සාමාන්‍ය ජනයා දැන ගත්තේ දේශපාලන අනුග්‍රහය ලත් මදාවි පිරිසක් සිරස මාධ්‍ය ආයතනයේ කොළඹ කාර්යාලයකට පහර දීමෙන් පසුය. ඔවුන් සිරසට පහර පහර දුන්නේ එම ආයතනය විසින් සංවිධානය කරන ලද සංදර්ශනයකට සහභාගි වීමට නියමිත ඒකොන් නම් සෙනෙගාල්-ඇමරිකන් සම්භවයක් සහිත R&B හෙවත් rhythm and blue ගායකයාගේ 'සෙක්සි චික්' නම් ගීතයේ වීඩියෝවෙන් කුපිත වී බව කියනු ලැබේ. අප්‍රිකානු සම්භවයක් සහිත මෙම සංගීත ශෛලිය මුල් කාලයේදී ඇමරිකානු කළු ජාතිකයන් අතර භාවිතා වුණේ ඔවුන් ගෙවූ පීඩිත ජීවිතයේ දුක් කම්කටොලු ලොවට ප්‍රකාශ කිරීමට වුව ද අද වන විට මෙවැනි සංගීත ශෛලීන් දැඩි ලෙස වානිජකරණය වී තිබේ. ජනප්‍රිය, ධනවත් ගායකයකු වන ඒකොන්ගේ ගී වනාහි මිනිසුන් ලිංගික භාණ්ඩ බවට පත් කර තිබෙන වෙළඳපොලෙහි අලෙවි වන තවත් උත්තේජකයක් පමණි. එම ගීවලින් උත්කර්ශයට නංවන්නේ රාගිකත්වයයි. ලිංගික සංසර්ගය වනාහි මිනිස් ජීවිතයේ තවත් අංශයකි. ලංකාවේ ගායකයෝ ද ලිංගික සංසර්ගය විකුණති. නිදසුනක් ලෙස රොෂාන් ප්‍රනාන්දුගේ ජනප්‍රිය ගීතයක පද මාලාව මෙසේයි: 


"වසන්ත කාලෙට සුරංගනාවන් අනන්තවත් ඒවි
එපා කියද්දී බලහත්කාරෙන් යහනට කඩා වදී
විනීත තාලෙන් ප්‍රේමාලිංගන නෙත් කරළියෙ පාවී
බැහැයි කියද්දී සුරතින් ඇදගෙන තුරුළේ රඟපාවී
මේ පැහැදිලි සඳපානේ
දඟළන තරු ලැජ්ජාවේ
මැවෙනා සිහින ගඟේදී
එළි වෙනවා නොදැනේ' 


සාහිත්‍යමය හා සංගීතමය වටිනාකමක්  ඇති මේ ගීය අවසන් වන්නේ ද ලිංගික සුරතාන්තය සංකේතවත් වන අන්දමටයි. 


පැරණි පරම්පරාවල ගායකයෝ ද මෙම කාර්යය කළමුත් මෙතරම් එඩිතර නොවූහ. 


මෙබඳු ප්‍රසාංගික කලාකරුවෝ කලින් කලට ඉල්ලුමක් ඇති වන වෙනත් උන්මාදයන් ද අලෙවි කරති. නිදසුනක් ලෙස යුද්ධයේ අවසන් අදියරේදී රණවිරුවන් වෙනුවෙන් බොහෝ ගීත නිර්මානය විය. දැන් ඒවා අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. ඒ වෙනුවට දැන් අසන්නට ලැබෙන්නේ ජනාධිපතිතුමා රාජත්වයට නංවා වර්ණනා කරන ගීතයි. දේශප්‍රේමය අලෙවි කිරීමත් ලිංගිකත්වය අලෙවි කිරීමත් අතර වෙනස විග්‍රහ කිරීම ඔබට භාරය.කෙසේ වෙතත් අවසානයේදී සිදු වන්නේ මුදල් මැවීමයි. 


'සෙක්සි චික්' වීඩියෝවේ ගීතයේ නිර්මාපකයන් සරාගී සුරූපී ලලනාවන් සමග අනඟ හා කෙළිලොල් රංගන මවන කුඩා පිහිනුම් තටාකය පසුබිමේ බුදු රුවක් දක්නට ලැබෙන අතර, අඩ නිරුවත් කාන්තාවන් දෙදෙනෙක් එය දෙපස සිට නැටුමක යෙදෙන දර්ශනයක් ද තිබේ. එහෙත්, මේ වනාහි මෙම වීඩියෝවෙහි දෙවන විනාඩියේ හයවන තත්පරයේ මොහොතකට පමණක් දිස් වෙන්නක් මිස ගීය පුරා දිවෙන්නක් නොවන බව කිව යුත්තේ බොහෝ අය එසේ වරදවා වටහාගෙන ඇති බැවිනි. 'සෙක්සි චික්' යනු ගැහැනිය ලිංගික භාණ්ඩයක් ලෙස හුවා දක්වන රාගය හා උන්මාදය අවුළුවන බොල් ප්‍රාසාංගික වෙළඳ භාණ්ඩයකි. 


මෙම වීඩියෝව පැහැදිලිවම බෞද්ධයන්ගේ ආගමික භක්තියට හෙළා දැකිය යුතු අවමානයක් කරන එකක් බවට විවාදයක් නැත. එහෙත්, ඒකොන් මෙම වීඩියෝව නිර්මානය කළේ බුදු දහමට අවමන් කිරීමේ අරමුණින් ම ද යන්න පැහැදිලි නැත. බෞද්ධයන් විසින් මෙම වීඩියෝවට අනවශ්‍ය ප්‍රචාරයක් ලබා දෙන ලද බව අපේ අදහසයි. 


එමෙන්ම, සිරසට පහර දුන් රාජ්‍ය අනුග්‍රහය ලත් ඔල්කට් බෞද්ධ මදාවි පිරිස ද බුදුන්ගේ බුදු දහමට කරන්නේ බරපතල අවමානයකි. මෛත්‍රිය මත පදනම් වූ අවිහිංසාවාදී දහමක් දෙසූ බුදුන්ගේ බුදු දහම අදහන සැබෑ බෞද්ධයන් මේ අන්දමේ මැර ක්‍රියාවල යෙදෙන්නේ නැත. මේ ඊනියා බෞද්ධයන් දෙමළ හා මුස්ලිම් ජනයාටත්, ක්‍රිස්තියානි, හින්දු හා ඉස්ලාම් ආගම්වලටත් ආක්‍රමණශීලී ලෙස පහර දීම පිණිස තැන නොතැන නොබලා අතන, මෙතන, හැම තැන ම බුද්ධ රූප ලෙස මොවුන් හඳුනා ගන්නා කිසිදු කලාවකට අඩංගු නොවන මැටි හා සිමෙන්ති ගොඩවල් ඇටවීමෙන් කරන්නේ ද ඒකොන්ගේ වීඩියෝව වැනි ඒවා හදමින් බුදු දහමට අපහාස කිරීමයි. 


ඉංග්‍රීසියෙන් running with the hare and hunt with the hounds නම් අපූරු ප්‍රස්ථාව පිරුළක් ඇත. හාවුන් සමග දුවමින් බල්ලන් සමග දඩයම් කිරීම ලෙස මෙය පරිවර්තනය කළ හැකිය. වර්තමාන පාලකයන් යටතේ ද බොහෝ විට සිදු වන්නේ මෙවැනි ක්‍රියායි. ස්වකීය ගෝල බාලයන්ට මෙන් ම නායකයන්ට ද හිටි හැටියේ තමන් පාලකයන් බව අමතක වේ. එවිට ඔවුහු වීදියට බැස වීදුරුවලට ගල් ගසති. 


ඒකොන් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයයි. එහි අරමුණ ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය බව කාර්යාංශයේ මූලිකත්වයෙන් පසුගිය 17දා පැවති මාධ්‍ය හමුවකදී කාර්යාංශයේ ලොක්කා ම පැවසීය. ඩයලොග් සමාගම, රජයට අයත් ශ්‍රී ලංකන් ගුවන් සේවය, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය සහ යර්ස් එෆ්.එම්. සමාගම් මෙම ප්‍රසංගය සඳහා අනුග්‍රහ දක්වන්නට ඉදිරිපත් වී තිබිණි. බෞද්ධයන් බහුතරයක් සිටින සිංහල ක්‍රීඩා සමාජය හා රොටරි සමාජය ද මෙම සංදර්ශනය සංවිධානය කිරීම පසුපස සිට තිබේ. එය හරියට සෙක්සි චික් ගීතයේ අනග රැඟුම් දක්නට ලැබෙන නාන තටාකය පසුබිමේ ඇති බුදුරුව වැනි ය. 


සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අයත් වන්නේ පංචායුධ විමල් වීරවංශ කුමාරයාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන සංචාරක ඇමති අචල සුරංග ජාගොඩගේ විෂය පථයටයි. මේ සංදර්ශනයට විරෝධය පළ කළ ජාතික සංඝ සම්මේලනය සිරසට එල්ල කර ප්‍රහාරයේ වගකීම භාර ගෙන ඇති බව ජාතික ආරක්ෂක මාධ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල පැවසීය. මේ ජාතික සංඝ සම්මේලනය ආණ්ඩුවේ ම තවත් හවුල්කාර පක්ෂයක් වන ජාතික හෙළ උරුමයට සම්බන්ධ එකකි. 


සංචාරක ඇමති අචල සුරංග ජාගොඩ ඒකොන් සංදර්ශනය ගැන ලංකාවේ මාධ්‍යවලට කුමක් කීව ද ප්‍රංශ පුවත් සේවයට නම් ඇත්ත කියා ඇත. ඔහු කියන්නේ මෙසේයි: 


Sri Lanka lost a "priceless" promotional opportunity by banning the US star Akon from performing at a concert in Colombo following protests from Buddhist monks, the tourism minister said Thursday.
The rapper's concert on April 24 was blocked after monks complained about his "Sexy Bitch" music video featuring women in bikinis dancing around a pool. A Buddha statue was visible briefly in the background.
"We were expecting about 5,000 to 6,000 tourist from India, Maldives and Malaysia to watch the show. The mileage we would have got would have been priceless," Achala Jagoda told reporters in Colombo.


ඉන්දියාව, මාලදිවයින, මැලේසියාව වැනි රටවලින් මෙම සංදර්ශනය බැලීම සඳහා 5000ක් 6000ක් සංචාරකයන් එන්නට සිටි බවත්, මෙම සංදර්ශනයෙන් ලැබෙන්නට තිබුණු දේ මිළ කළ නොහැකි බවත් අචල කියයි. ධනේශ්වර දෘෂ්ඨි කොණයකින් බැලූ කල ඇත්ත ද එයයි. 


මෙ සිද්ධිය අල්ලාගෙන ආණ්ඩුව අපහසුවට පත් කරමින් ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට අමාත්‍යංශය හා කර්මාන්තකරුවන් දැරූ තැත කඩාකප්පල් කිරීම පිටුපස සිටින බලවේග වනාහි 2002දී රනිල් වික්‍රමසිංහ විසින් ගෙන එන ලද 'යළි පුබුදමු ශ්‍රී ලංකා' ආර්ථික සැලැස්ම හමුවේ බටහිර අනුග්‍රහයෙන් එන දැවැන්ත ධනේශ්වර ආර්ථික හා සංස්කෘතික ආක්‍රමණයකට බියපත්ව තමන්ගේ ජාතිකවාදී දේශපාලන ව්‍යාපෘතිය දිය වී යනු ඇතැයි බියෙන් එම ආණ්ඩුව පරදවන්නට එක් වූ ජවිපෙ, එල්.ටී.ටී.ඊ, හෙළ උරුම අනියම් සන්ධානයේ සිටි පිරිසකි. 


පශ්චාත් යුද කාලීන ලංකාවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන උපායමාර්ගය ද මූලික වශයෙන් ම 'යළි පුබුදමු ශ්‍රී ලංකාට' සමාන වේ.  පාලකයන් සාර්ථක ධනේශ්වර ආර්ථික සංවර්ධනයක් කළහොත් තමන්ට අනාගත අවස්ථා අහිමි වනු ඇතැයි මෙම බලවේග බිය වී ඇති බැවින් ජාතිවාදය පාවිච්චි කරමින් ආර්ථිකය කඩාකප්පල් කිරීමේ සියුම් වැඩසටහනක මෙම පිරිස නියැලී සිටින්නේදැයි සැකයක් ඇති වේ. 2004දී සිදු වූයේ ද එයයි. ලංකාවේ ධනේශ්වර පංතිය දෘෂ්ඨිවාදීමය හා දේශපාලනික වශයෙන් දුර්වල වීම මෙවන් තත්වයක් ඇති වීමට ප්‍රධාන හේතුවයි. 


ලංකාව විසින් කඩාකප්පල් කරන ලද සංදර්ශනය රාජ්‍ය අනුග්‍රහයෙන් මාලේහිදී පැවැත්වීමට ඒකොන් සැරසෙන බව දැනගන්නට තිබේ. මෙයින් වඩාත් ම කලකිරීමට පත්ව තිබෙන්නේ යන්තම් හිස ඔසවමින් සිටි සංචාරක කර්මාන්තයයි. මාලදිවයිනට සංචාරක කර්මාන්තයෙන් හරි ගියේ ප්‍රධාන වශයෙන් ම ලංකාවේ යුද්ධය නිසා ය. ලංකාවේ යුද්ධය නැති වීම සංචාරක කර්මාන්තයේදී මාලදිවයිනට පහරකි. මන්ද එරටට එන්නට සිටි සංචාරකයන් අතරින් පිරිසක් ලංකාවට යන හෙයිනි. 


අනෙක් පැත්තෙන් මාලදිවයින මුස්ලිම් රටක් වන අතර ලංකාවට මෙබඳු සිද්ධිවලින් අහිමි වී යන්නේ නිදහස්, අනාගමික රටක් ලෙස දීර්ඝ කාලයක් තිස්සේ තිබුණු කීර්ති නාමයයි. 


ඒකොන්ගේ සංදර්ශනය මාලදිවයිනේ තැබීමෙන් ඒ රට ලංකාවට එල්ල කරන්නේ කණේ පාරකි. 


'එකක් කඩතොලු වසන්නට ගොස් අනේ මට වූ කාරියා
දෙකක් කඩතොලු හදා ගත්තයි කම්මලේ ආචාරියා' යි ජන කවියක් තිබේ. 


ආණ්ඩුව ද කර ගත්තේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්නට ඒකොන්ගේ සංදර්ශනය සංවිධානය කර හදා ගත් කඩතොල්ල වසන්නට ගල්කාරයන් සමග එක් වී රජය මාධ්‍ය මර්දනය කරන හැටි ද ලෝකයට පෙන්නා සංචාරක කර්මාන්තයට ද හානි සිදු වන ප්‍රචාරයක් ජාත්‍යන්තරව ලබා ගැනීමයි. මෙම සංදර්ශනය සංවිධානය කිරීම පසුපස රජය සිටි බව මෙම විරෝධතාකරුවන් දැන සිටි බවට සැකයක් නැත. සංචාරක කර්මාන්තයට හානිකර තත්වයක් ඇති නොවන පරිදි මෙම ප්‍රශ්නය රාජ්‍ය නායකත්වය හා අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට හැකියාව තිබියදී ඔවුන් එසේ නොකළේ මන්ද යන්න විමසා බැලිය යුතු කරුණකි. ඇත්තෙන් ම ඔවුන්ට අවශ්‍ය වන්නේ මෙවැනි ප්‍රශ්න සාකච්ඡා තුළින් විසඳා ගැනීමට නොවේ. 


හඩ්සන් සමරසිංහ පත්තර කියවන වැඩසටහනේ පවසන ආකාරයට නම් මේ වෙනුවට පැවැත්විය යුතුව තිබෙන්නේ අමරදේවයන්ගේ සංදර්ශනයකි. අම‍රදේවයන් මේ බිස්නස්වලට පටලවා ගත යුතු නැත. රු. 2500 සිට 25,000 දක්වා ටිකට් මිළ දී ගෙන ආසියා පැසිෆික් කලාපයේ සංචාරකයන් 5000ක් 6000ක් අමරදේවයන්ගේ සංදර්ශනයක් බලන්නට එතැයි සිතන්නා පිළිබඳ අප සිනාසෙන්නේ අමරදේවයන්ට අපහාස මුඛයෙන් නොවේ. 


ලංකාවේ අනාගත පරම්පරා ලෝකෙට ණය කරමින් යටිතල පහසුකම් සංවර්ධනය කළේ ආයෝජකයන්, සංචාරකයන් ගෙන්වාගෙන එයින් ආදායම් උපයන්නට හෝ නොවේ නම් ලංකාවේ වර්තමාන ධනේශ්වර ආර්ථිකයට කිසිදු මූලෝපායික අරමුණක් නැත. ගිය අවුරුද්දේ පමණක් ලංකාවේ දෙකෝටි විසි ලක්ෂයක් පමණ වන ජනයා අතරින් සෑම අයෙකුම රුපියල් පනස්දාහක් පමණ ණය වන තරම් ණය ගෙන ඇති බව මහ බැංකු මූලාශ්‍රවලින් දැන ගන්නට තිබේ. මේ ණය උපයෝගී කර ගන්නේ යටිතල පහසුකම් සංවර්ධනයටයි. යටිතල පහසුකම් සංවර්ධනයෙන් 'යළි පුබුදමු ශ්‍රී ලංකා' නම් අදහස් කළේ ආයෝජකයන් හා සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම, දේශීය කර්මාන්ත නංවා නිෂ්පාදන සඳහා අපනයන වෙළඳපොල නිර්මානය කර ගැනීම හා ඒ ඔස්සේ ලැබෙන විදේශ විනිමය ආදායමෙන් ගත් ණය ගෙවීමයි. මේ ආණ්ඩුවට වුව ගත් ණය ගෙවීම සඳහා වෙනත් වැඩපිළිවෙලක් ඇතැයි සිතිය නොහැකිය. ගත් ණය ගෙවිය යුත්තේ තව දුරටත් පිටරටවලට කුණු කොල්ලෙට ශ්‍රමය විකිණීමෙන් පමණක් නම් මේ අන්තවාදී පක්ෂවල ගල් සෙල්ලම්කාරයන් වහා ඉදිකිරීම් කම්කරුවන් හා කසල ශෝධකයන් ලෙස මැද පෙරදිගට යැවිය යුතු ය. 


දේශප්‍රේමය ලෙස ප්‍රදර්ශනය කරනු ලබන අවස්ථාවාදය වෙනුවෙන් කක්කුස්සි හේදිය යුත්තේ දේශප්‍රේමීන් මිස අසරණ දුප්පතුන් නොවේ.


අපට කීමට තිබෙන්නේ මෙයයි. අපි ඒකොන් ගැන දැන සිටියේ ද නැත. ඒකොන් ගැන අපට කීවේ ද, ඒකොන්ගේ සංදර්ශනය ලංකාවේ සංවිධානය කළේ ද, සිරසට ගල් ගැසුවේ ද ආණ්ඩුවට සම්බන්ධ පිරිස් ය. අපි ඒකොන්ගේ සංදර්ශනය බලන්නට යන්න අදහස් කළේ ද නැත. හිතුණත් රු.2500ක් ගෙවා ටිකට් පතක් මිළ දී ගන්නට අපට මුදල් නැත. අපෙන් අවසර නොගෙන පරම්පරා ගණනාවක් ණය කරමින් ගත් මුදල් හා පොලිය ආපසු ගෙවන්නට මොකක් හෝ සැලසුමක් ආණ්ඩුවට තිබිය යුතු ය. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්නට සුදුසු පියවර ගැනීම පිළිබඳ අපගේ විරෝධයක් නැත. අප කියන්නේ ආණ්ඩුව මේවා කරන විට දුර දිග බලන්නට තිබිණි. සිංහල බෞද්ධකම උත්කර්ෂයට නඟන මෙතරම් විශාල පිරිසක් කැබිනට් මණ්ඩලයේ සිටියදී මේ ප්‍රශ්න විසඳා ගැනීමට ගල් සෙල්ලම් කරන්නට අවශ්‍ය නැත. 


එසේම, මෙම කරුණු පෙන්වා දෙන අප වැනි අයට කුණුහරුපෙන් බැනීමෙන් ද කිසිවක් සිදු වන්නේ නැත. 

Comments

  1. හ්ම්. මේ කථාවෙත් ඇත්තක් තියනවා. අපේ අයට නම් ඉතිං පස්ස පැත්තෙන් වායුවක් පිටවුනත් සිරස TV එකට ගහන්න පුරුදුවෙලානෙ ඉන්නේ. කොහෙම වුනත් එකොන්ගේ වීඩියෝ එක නම් අපිට ගැලපෙන්නේ නෑ. ඒ වෙනුවෙන් කෑගහන්න ගියාම වුනේ ඒක තවත් ප්‍රසිද්ධ වුන එක තමයි.
    කොහොම වුනත් බවුද්ධ රටේ සිරසට ගහපු කාරණාව නම් වැරදියි. මෝඩ තකතීරු ම'වින් සිල්වාගේ පවුද්ගලික කෝන්තරයක් පිරිමහගන්න කරපු දෙයක් විදියට තමයි ඕක සාමාන්‍ය ජනතාව දකින්නේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා