අලුත්ගමගේ නාවලපිටියෙන් පාඩමක් ඉගෙන ගනියිද? | Will Aluthgamage learn a lesson from Nawalapitiya

(2010 අප්‍රේල් 18 - W3Lanka)  පසුගිය සමයේ ජනාධිපති මහින්ද රාජපක්ෂට සමීපව සිට ඉදිරියට ආ දේශපාලකයකු වන මහින්දානන්ද අලුත්ගමගේට පාඩමක් ඉගැන්වීම සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් අප්‍රේල් 20 දින පැවැත්වීමට නියමිත නාවලපිටිය ඡන්දයේදී සැරසෙමින් සිටින බව වාර්තා වේ. 


මහින්දානන්ද අලුත්ගමගේ මහ මැතිවරණ සමයේදී ජනාධිපතිවරයා සහභාගි වූ රැස්වීමකදී සරත් අමුණුගමට හූ කියවූ බවට චෝදනාවක් එල්ල වී තිබේ.


අද ලක්බිම පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවක යෙදෙන එස්. බී. දිසානායක නම නොකියා නාවලපිටියේ ඡන්දය නැවත පැවැත්වීමට හේතු වූ ක්‍රියා උම්මත්තකයෙකුගේ ඒවා බව කියයි. ඔහු කියන පරිදි නාවලපිටියේ ජනතාව අද ඉන්නේ ප්‍රභාකරන්ට බියේ වන්නියේ දෙමළ ජනයා සිටි අන්දමට බියෙනි. 


කෙසේ වෙතත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහින්දානන්දට එරෙහිව පියවර ගන්නට සූදානමක් නැති බව ද දැනගන්නට ඇත. ඔහුට නියෝජ්‍ය ඇමතිකමක් හිමි වීමට නියමිත බව තතු දත් ආරංචි මාර්ග පවසයි. එහෙත්, මහින්දානන්ද එයින් සෑහීමට පත් වීමට සූදානමක් නැති අතර නාවලපිටියෙන් වැඩි මනාප ලැබ ඇමති තනතුරක් ඉල්ලා සිටීමට ඔහු අදහස් කරන බව ද ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි. 


මේ අතර, නාවලපිටියේ කලබල ඇති කරන පුද්ගලයන්ට දුටු තැන වෙඩි තැබීමට පොලිසියට නියෝග කර තිබේ. 


ඇමති මහින්දානන්ද සිල්වා විසින් මෙහෙයවන ලද බව කියන මැර ක්‍රියා හේතුවෙන් එම ආසනයේ ඡන්දය නැවත පැවැත්වීමට පමණක් වියදම රු. ලක්ෂ 35ක් බව මැතිවරණ කාර්යාලය පවසයි. මීට අමතරව පොලිසියේ හා හමුදාවේ අමතර වියදම්, රාජ්‍ය සේවකයන් පිරිසක් සාමාන්‍ය රාජකාරියෙන් බැහැර වීම, මැතිවරණ ප්‍රචාරය සඳහා රාජ්‍ය දේපල තව දුරටත් භාවිතා කිරීම ආදිය නිසා මහජන මුදල් රුපියල් කෝටි ගණනක් නාස්ති වේ. ඡන්දය දීම සඳහා ඡන්දදායකයන්ට නිවාඩු ලබා දීම ප්‍රදේශයේ ආර්ථිකයට බලපායි. 

Comments

  1. අනේ මහත්තයෝ, ලංකාවෙ දේශපාලනය ගැන දන්නෙ නෑ වගේනෙ ඔහේ කතා කරන්නෙ. මහින්දානන්ද ඕව තනියෙන් කරන්නෙ නෑ. පිටිපස්සෙ ඉන්නවා මැදමුලන රාළහාමි. මොකද රාළහාමිට ඕනැවෙලා තියෙන්නේ සරත් අමුණුගම ගොයියා මේ සැරේවත් පන්න ගන්න. කෙළින්ම කරන්න බෑ මොකද අමුණුගම 'ඩොක්ටර්' නිසා. ඊට පස්සෙ ජහ මනයා කියයිනෙ උගතුන් එළව ගත්තා කියලා. ඉතින් යටින් මහින්දානන්ද ෆෝම් කරනවා. උඩින් බනිනවා. අන්තිමට වැඩේ හරි. කොහොමද ටිකිරි මොළේ?

    ReplyDelete
  2. මුන් ඔක්කොම පිස්සෝ

    ReplyDelete
  3. සරත් අමුණුගම ඩොක්ටර් වුණේ පරිපාලන නිලධාරියෙක් විදිහට ඉන්න කොට. දේශපාලකයෙක් විදිහට එයා හැසිරුණේ මහින්දානන්ද අලුත්ගමගේ වගේමයි. ඒක තේරුම් ගන්න මෙන්න මේ කාරණා හතර සලකා බලන්න.

    1. එ.ජා.ප හා ප්‍ර.එ.ජා.පෙ. යන පක්ෂ වල සරත් අමුණුගමගේ ගේ භූමිකාව.
    2. චන්ද්‍රිකා රෙජීමයට පක්ෂ මාරු කර සම්බන්ධවීමෙන් පසු භූමිකාව.
    3.මහින්ද රෙජීමය තුළ භූමිකාව.
    4.එක් එක් අවධීන්හි දි ලක්බිම පුවත් පතට ලියූ කොළමේ පරස්පරතා.

    අමුණුගම ට්‍රිනිටි කොලේජ් එකෙන් පාසැල් අධ්‍යාපනය ලබා පේරාදෙනිය විශ්ව විද්‍යාලය හරහා විදෙස් විශ්ව විද්‍යාලයකින් ආචාර්ය උපාධිය ලැබූවෙක්. අලුත්ගමගේ රෝයල් කොලේජ් එකෙන් නිකන්ම නිකන් පාසැල් අධ්‍යාපනය පමණක් ලැබූවෙක්. නමුත් මේ දෙන්නගෙ හැසිරීම් දිහා බැලූවිට ඔහුන් ලැබූ අධ්‍යාපනය හෝ අධ්‍යාපනය ලැබූ කොලේජි වල හෝ ගරුත්වය ආරක්ෂා කර ගෙන නැති බව මගේ අදහසයි. එහෙම බැලුවහම මහ රජතුමාට මේ දෙන්නම මනා ලෙස ගැලපෙනවා.

    ReplyDelete
  4. ආචාර්‍‍ය මර්වින් ට වැඩි මනාප ලබා දුන්නු අපේ රටේ ඡන්ද දායකයා මහින්දානන්ද ට නොදී ඉඳීවී කියලා හිතනවාද???

    ReplyDelete
  5. ‍යකාගෙ හැටියටලු විමානය ජනතාවගෙ හැටියටයි පාලකයන්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා