බැන්ටිස් රණවීර හා සෝමවීර චන්ද්‍රසිරි | Bantis Ranaweera and Somaweera Chandrasiri

(2010 අප්‍රේල් 11 - W3Lanka ) පසුගිය සටහනක අපි මෙසේ සඳහන් කළෙමු.


අපේ ජනාධිපතිතුමා හක්මන බැන්ටිස් රණවීර වැනි හිටිවන කවියෙහි ශූර කොළඹ යුගයේ කවියකු නොවුණේ නිල් බාල්දියේ වැටුණ නරින්ගේ වාසනාවටයි. තමන්ට හූ කී කොල්ලන් පිරිසකට බැන්ටිස් රණවීර කවියා පිළිතුරු දුන්නේ මෙසේයි:
කොල්ලෙකු උපන්නොත් නරියකු හට දාව
උපතින් උරුම වෙයි ඌටත් නරි හූව
එම්බල කොල්ලනේ අද මට හූ කීව
අම්මා ළඟට ගෙන ගොස් මකවන් හූව
එම කවිය හක්මන බැන්ටිස් රණවීරගේ කවියක් බව අපි සඳහන් කළෙමු.


එහෙත්, එය වැරදි බව ප්‍රවීණ මාධ්‍යවේදී පර්සි ජයමාන්න මහතා අපට දැනුම් දී තිබේ. එම කවිය කැස්බෑව හිටපු මන්ත්‍රීවරයකු මෙන් ම බැන්ටිස් රණවීර කවියාගේ හිතමිත්‍ර කවියකු වූ ද සෝමවීර චන්ද්‍රසිරි (දැන් මේ නමින් ම වෙනත් පුද්ගයකු සිටින නමුත් අප කතා කරන සෝමවීර චන්ද්‍රසිරි යනු හිටපු මන්ත්‍රීවරයායි.) දේශපාලන රැස්වීමකදී තමන්ට හූ කී සංවිධානාත්මක පිරිසට ක්ෂණිකව දැක්වූ ප්‍රතිචාරයක් බව ජයමාන්න මහතා පෙන්වා දෙයි. ස්තුතියි.


පහත පළ වන්නේ හක්මන බැන්ටිස් රණවීර කවියා ඩී.එම්. රාජපක්ෂ හම්බන්තොටින් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තරග කළ අවස්ථාවේ දේශපාලන රැස්වීමකදී කියූ කවියති.


අන් මිසදිටුවන ගෙ බස් ගැන හිත පෙල්ලී
දුන් විට චන්දෙ රහසින් අරගෙන සල්ලී
ඉන් පැරදුනොත් මේ දුටුගැමුණු ගෙ මල්ලී
බැන්ටිස් රණවීර ඇත අත්තක එල්ලී


ඩී. එම්. රාජපක්ෂ යනු මහින්ද රාජපක්ෂගේ පියාගේ සොයුරායි. මහින්ද රාජපක්ෂගේ පියා වන ඩී.ඒ. රාජපක්ෂ දේශපාලනයට පිවිසෙන්නේ රුහුණේ සිංහයා යන විරුදාවලි ලද සිය සොයුරාගේ අභාවයෙන් පසුයි.


ඩී.එම්. රාජපක්ෂ පරපුර අද වන විට දේශපාලනිකව පසුබැස ඇත. ඔහුගේ පුත්‍රයා හිටපු කීර්තිමත් ධීවර ඇමතිවරයකු වන ජෝර්ජ් රාජපක්ෂයි. 2004දී මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ජිල්මාට් එකක් දැමූ බව කියන මැතිවරණයේදී පරාජය වූ නිරූපමා රාජපක්ෂ හිටපු මන්ත්‍රිනිය ජෝර්ජ් රාජපක්ෂගේ දියණියයි. ඇය මෙවර ද හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණය තරග කරයි.


එකල ඩී.එම්. රාජපක්ෂට කවියා කියන්නේ දුටුගැමුණුගෙ මල්ලී කියායි. දැන් ඇමති මර්වින් සිල්වා කියන්නේ තමන් නූතන දුටුගැමුණු බවයි. බැන්ටිස් රණවීර අද හිටියා නම් නියත වශයෙන් ම අත්තක එල්ලෙනු ඇත.

Comments

  1. මටත් මේ ගැන කියන්න ඌනපුරානයක් තියනවා. මේ කවිය මම අසා තියෙන්නෙ මෙන්න මේ විදිහට

    1956 මහමැතිවරණ යෙදි සෝමවීර චන්ද්‍රසිරි මහතා ගේ ‍රැස්වීමකට ආව එක්සත් ජාතික පක්සයේ නඩයක් ඔහුගේ කතාවට බාදා කරමින් හූ කියන්න පටන් අරන් තියනවා.ඉතින් එ හූ කියපු මහත්තුරුන්ව අමතල තියෙන්නෙ මෙන්න මේ විදිහටයි.

    කොලුවෙකු ඉපදුනොත් නරියෙකු හට දාව
    උපතින් ඔහුට උරුමයි නරියගෙ හූව
    කොලුවනි මෙතනදි දැනි මට හූ කීව
    අම්මා ලගට ගොස් මකවා ගන් හූව

    සි.එස් බණ්ඩාරනයක

    ReplyDelete
  2. කවියත්, මහ මැතිවරණයත්, හම්බන්තොටත් මතක් වෙනකොට ඒ හා බැඳුනු තවත් කවියක් මට මතක් වෙනවා.

    සෝමවිර චන්ද්‍රසිරි, ටි.බි තෙන්නකෝන් ඇරුණම තවත් හොද කවි කියපු මන්ත්‍රි කෙනෙක් තමා මිහින්තලේ හිටපු පතිරාජ තෙන්නකෝන් මන්ත්‍රිතුමා.

    දවසක් මෙතුමා කතරගම යන අතර මගඳි දවල් කෑම සදහා හම්බන්තොට යහළුවෙකු ආරාධනා ලැබ එහි ගියේලු.( යහළුවා ගේ නම නොදනී)

    යහළුවාද තම උපරීම ආගන්තුක සත්කාරයෙන් සංග්‍රහ කරනු වස්, කෑම මේසය සඳහා කැකුළු හාල් බත්, බල මාළු හා කිරිහොදි සුදානම් කොට තිබින,ආහාර පාන අතර තුර සතු‍ටු සාමිචියෙදි කෙනෙක්, මන්ත්‍රි තුමාගෙන් කවියක් කියන්නැයි ඉල්ලා සිටියෙන් මේ ඔහු කිවූ කවයි .

    රුහුනේ කැකුළු හලේ බත පරසිද්ද
    බල මාළුත් සමග කොතරම් රස ඇද්ද
    හදලා වගේයි ඇල් වතුරෙන් කිරිහොදද
    ලුනු ලේවාය දැන් හම්බන්තොට නැද්ද ?

    සී .එස් බණ්ඩාරනයක

    ReplyDelete
  3. මම දන්නෙ මේ විදිහට.
    කොල්ලෙක් උපන්නොත් නරියෙකු හට දාව
    උපතින් උරුම වෙයි ඌටත් නරි -----හූව
    කොල්ලනි මෙතැනදී අද මට හූ -----කීව
    අම්මා ළඟට ගොස් මකවා ගන් ------හූව

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා