පරිවර්තන සාහිත්‍යයේ පත් සිඳුණු වසන්තයේ පිපිණු මල් කැකුළක්
මම සිංහල පරිවර්තන නවකතා කියවන්නට එතරම් කැමැත්තක් නො දක්වමි. මම වෘත්තීය පරිවර්තකයකු ලෙස ඉංග්‍රීසියෙන් සිංහලට මෙන් ම සිංහලෙන් ඉංග්‍රීසියට ද පරිවර්තනය කරමි. එක්තරා ඉරිදා ඉංග්‍රීසි පුවත්පතක් දිගු කලක සිට මගෙන් මෙම සේවාව ලබා ගනියි. ඒ පත්තරයේ ඉංග්‍රීසි හොඳ නැතැයි කිසිවෙක් නො කීවත්, මම වැරදිලාවත් ඉංග්‍රීසියෙන් යමක් ලිව්වොත් භාෂා අම්පයර්ලා ඇවිත් ඇඟිල්ල උස්සති. ඒ ලංකාවේ හීනමානකාරයන්ට තිබෙන එක බරපතල ව්‍යාධියකි. අනෙක් ව්‍යාධිය නවකතා ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනය කිරීම හා සම්බන්ධ ය. පළමු ප්‍රශ්නය මේ පරිවර්තකයන් වැඩිදෙනෙකු කරන්නේ තමන් කියවූ කෘතිය තමන්ට තේරෙන පරිදි සිංහලෙන් ලිවීමයි. වැඩේ තියෙන්නේ එහෙම ලියන එකත් කියවන මිනිසුන්ට තේරෙන්නට ලියන්නට බැරි වීමයි. මේ දිනවල මම පරිවර්තන කෘති දෙකක් කියවමින් සිටිමි. මේවා අලුත් ඒවා නො වේ. පරණ ඒවා ය. මා මිත්‍ර පී.බී. ජයසේකර විසින් පරිවර්තනය කරන ලද න්ගුගි වා තියෙන්ගෝගේ කුරුසේ ලූ යක්ෂයා කෘතිය සම්බන්ධයෙන් මට තිබෙන ගැටලුව එය සාමාන්‍ය පරිවර්තනයකින් එහාට යන්නට අසමත් වීමයි. තිබෙන පෙළ ඒ අන්දමින් පරිවර්තනය කිරීමට වඩා වටිනාකමක් පරිවර්තකයා ව...