බොදුබල සේනා නායකත්ව විද්‍යායතනය විවෘත වූ දවසේ බෘහස්පති භාෂා සාහිත්‍ය කලා සරසවියේ සිසුවකුව

බොහෝ කලකට පෙර අහිමි වූ හා අතහැර දමන ලද ශාස්ත්‍රෘලයීය අධ්‍යාපනයේ හිස්තැන පුරවා ගන්නට බෘහස්පති භාෂා සාහිත්‍ය කලා සරසවියට බැඳුනෙමි.

දැනට රෝගාතුරව සිටින මහැදුරු සුචරිත ගම්ලත් වියතාණන්ගේ උදාර සංකල්පයක් අනුව ආරම්භ වූ බෘහස්පතියේ අරමුණ සාහිත්‍ය, කලා ක්ෂේත්‍රයන්හි නියුතුව සිටින ශාස්ත්‍රීය අධ්‍යාපනයක් සැබැවින්ම අවශ්‍යව සිටින ක්‍රියාධරයනට සම්ප්‍රදායික විශ්වවිද්‍යාල විෂය නිර්දේශ ඉක්මවා ගිය පුළුල් ශාස්ත්‍ර ගවේශනයක් සඳහා දොරටු විවර කරදීම ලෙස මම තේරුම් ගනිමි.

මෙම සත්කාර්යය අප විසින් සුහද සිතින් පිළිගත යුතු, දිරිදිය යුතු, රැකගත යුතු දෙයකි. බොදු බල සේනාව වැනි ජාතිවාදී, ආගම්වාදී සංවිධානයක් විදේශාධාර හා රාජ්‍ය අනුග්‍රහය සහිතව ආරක්ෂක ලේකම්ගේ අතින් නායකත්ව පුහුණු ආයතනයක නමින් අධ්‍යාපන ආයතනයක් විවෘත කළ දිනම බෘහස්පති සරසවියේද කටයුතු ආරම්භ වීම සුවිශේෂ සමපාත වීමකි.

බොදු බල සේනා බෞද්ධ නායකත්ව විද්‍යායතනය හෙවත් Bodu Bala Sena Buddhist Leadership Academy පිළිබඳ ඔවුන්ගේ වෙබ් අඩවියේ සඳහන් වන්නේ මෙසේය: "මෙම විද්‍යායතනයෙන් රටට ජාතියට, තම දහමට ආදරය සහ ගෞරවය දක්වන සිරිත් මල්දම, බුද්ධ ගජ්ජය, සකස්කඩෙන් පටන්ගෙන ජාතක පොතෙන් සවිබල ගන්වන ඕනෑම අභියෝගයකට මුහුණු දිය හැකි සවිමත්, නැණවත්, ගුණවත්, ආදරණීය, තාර්කික දූ පුතුන් ගොඩනැගීමටත්, විදේශයන්හි ජීවත් වන සිංහල බෞද්ධයන්ගේ දුවා දරුවන්ට ඉතිහාස දැනුමත්, දහම් දැනුමත් ලබා දීමටත් ප‍්‍රාදේශීයව බෞද්ධ සමාජ සංවර්ධන වැඩසටහන් සාර්ථකව ක‍්‍රියාත්මක කිරීම සඳහා බෞද්ධ සමාජ සේවකයින් පුහුණු කිරීම සඳහා වූ ඩිප්ලෝමා මට්ටමේ පාඨමාලා ද හදුන්වාදෙනු ලැබේ. මෙම විද්‍යායතනය යටතේ ශ්‍රී ලංකාවේ බෞද්ධ දහම් පාසල් අධ්‍යාපනය වඩාත් ප‍්‍රායෝගික වූත්, සමාජගතවූත්, ධර්ම අධ්‍යාපනික වැඩපිළිවෙලක් බවට පත් කිරීම සඳහා විවිධ වැඩසටහන් හා ව්‍යපෘති ක‍්‍රියාත්මක කිරීමට ද අපේක්‍ෂිතය."

එකී ප්‍රකාශිත අරමුණ නරක එකකැයි අපි නොකියමු. බොදු බල සේනාව ත්‍රස්තවාදී ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවගේ ත්‍රස්තවාදී ප්‍රවණතා වෙනුවටව මෙවැනි ශාස්ත්‍රකාමී දිශානතියකට යොමු වන්නේනම් අපටද සතුටු විය හැකිය.එහෙත්, බෞද්ධ නායකයන් වනාහි පල්ලි කඩන, මස්මඩු වටලන හෝ එවැනි කටයුතු කරන පිරිසකට නායකත්වය දෙන හෝ බලවේගයක් නොවිය යුතුය.

අපි සිංහල ජාතිකවාදයට එරෙහි නැත. පවත්නා සමාජ සංදර්භය තුළ ජාතික අනන්‍යතා හා ජාතිකවාදය යථාර්ථයකි. එහෙත්, අපි ජාතිවාදයට හෙවත් ජාතික ස්වෝත්තමවාදයට සහමුලින්ම විරුද්ධය. සිංහල ජාතිකවාදය ජාතිවදයෙන් මුදාගෙන නැවත පිහිටුවිය යුතුය යන්න අපේ ස්ථාවරයයි. සරළව කීවොත් අප කතා කරන්නේ දෙමළ, මුස්ලිම් වැනි සෙසු ලාංකික ජාතීන්ට ගරු කරන, සිය සමාජ දේශපාලන අනන්‍යතාව පුළුල් කරගැනීමට සූදානම් සිංහල ජාතියක් ගැනයි. අපි පෙනී හිටින්නේ ලාංකික ජාතියක් වෙනුවෙන්. ලාංකික ජාතියක් කියන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ආදී අනන්‍යතා පිළිගත්, එහෙත්, ඊට වඩා පුළුල් එකක්.

බෘහස්පති සාහිත්‍ය කලා සරසවිය විවෘත වීම දේශපාලන වශයෙන් වැදගත් කාර්යයක්ය කියා අපි හිතන්නේ ඒ නිසායි. සිංහලකම කියන අනන්‍යතාව පදනම් වන්නේ භාෂාව හා සංස්කෘතිය මත. මම හිතන්නේ දේශපාලනය මෙතැනදී ද්විතීයකයි. සිංහලය රැකගන්න, වෙනස් වන ලෝකයත් සමග ඉදිරියට ගෙන යන්න පුළුවන් සැබෑ ජාතිප්‍රේමීන් පිරිසක් හෙවත් මනුස්සකමින් පිරිපුන් මිනිසුන් පිරිසක් බිහිකරගන්න එවැනි වැඩමුළු ප්‍රයෝජනවත් වේවි. 

සුචරිත ගම්ලතුන්ගේ උත්සාහයෙන් මුලපිරුණු මේ ව්‍යායාමයට සිරි තිලකසිරි, ආනන්ද තිස්ස කුමාර, කමලා පීරිස්, කරුණාරත්න අමරසිංහ, ඩබ්.ඒ. අබේසිංහ, නන්දන වීරසිංහ, ආනන්ද අබේසිරිවර්ධන, සමිත විජේවර්ධන, ජිනදාස දනන්සූරිය, ආරිය රාජකරුණා, විමල් බලගල්ලේ, බන්දුසේන ගුණසේකර, වෝල්ටර් ප්‍රනාන්දු ආදී විද්වතුන් රැසක් දායක වී සිටිනවා. 

සම්භාව්‍ය සිංහල සාහිත්‍යය, සිංහල සාහිත්‍යයේ ඉතිහාසය, නූතන සිංහල සාහිත්‍යය, සිංහල භාෂාව, නිර්මානශීලී සිංහල ලේඛනය හා කථනය, ලෝක සාහිත්‍යය, භාෂාවේ ඉතිහාසය, කලාවේ ඉතිහාසය, කලා විචාරය ආදිය විෂය නිර්දේශයට අඩංගුයි. 

මෙහි පැවැත්වෙන්නේ දේශන. සතියකට ප්‍රධාන දේශන දෙකක්. ශිෂ්‍යයන්ට තිබෙන්නේ අහන් ඉන්න. සමහර ගුරුවරු ප්‍රශ්න අහන්නත් අවස්ථාව දෙනවා. සාකච්ඡා, සංවාද නැහැ. බොහෝදුරට ගුරු කේන්ද්‍රීය, පැරණි තාලේ අධ්‍යාපනයක්. දේශන අහන් ඉන්න බැරි නිසා ශාස්ත්‍රාලයීය අධ්‍යාපනය සම්පූර්ණයෙන් නතර කරපු මමත් මේකට යනවා.  අතරමග නින්දත් යනවා. ඒත්, දේශන සාරගර්භයි. විකල්ප සරසවියක් වුණාට ඉතාම ගතානුගතික පාඨමාලාවක්.

ඔබේ පහසුව අනුව සෙනසුරාදා හෝ ඉරිදා දින දෙකෙන් එකක් තෝරාගෙන සහභාගි වන්න පුළුවන්. පංති පැවැත්වෙන්නේ කොළඹ මහජන බැංකු මූලස්ථානය පිටුපස, බාලදක්ෂ මූලස්ථානය අසල ඇති ලංකා ජාතික ගුරු සංගමයේ ගුරු මැදුරේයි. 

තවම මෙය ඇරඹුණා පමණයි. තවමත් ඔබට මෙයට එක්වන්න පුළුවන්. විස්තර 071-5181421 දුරකථනයෙන් හෝ bruhaspathi.lk@gmail.com ඔස්සේ ලබාගන්න පුළුවන්. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. "බෘහස්පති" යන්නේ (වචනයේ) තේරුම කුමක්ද?

    ReplyDelete
    Replies
    1. ශාස්ත්‍රයට අධිපති

      Delete
    2. ස්තුතියි !

      Delete
  2. අගනා උත්සහයක් සුභ පැතුම්, අන්තර්ජාලය සමග සම්බන්ද වීමට අදහසක් නැද්ද,විදේශගතව සිටින්නන්ට එය රුකුලක් වේවි.ජය!

    ReplyDelete
  3. I would like to suggest if they can streaming those lectures online will be really good.As it is not a costly option and later they can leave those available in the services like sound clouds or something that anybody can access and follow it would be definitely really beneficial to the ppl like us who like to follow these exercises from overseas. Thanks.

    ReplyDelete
  4. විදේශාධාර හා රාජ්‍ය අනුග්‍රහය සහිතව ආරක්ෂක ලේකම්ගේ අතින් නායකත්ව පුහුණු ආයතනයක නමින් අධ්‍යාපන ආයතනයක් විවෘත කළ දිනම...එතකොට හලෝ දහම් පාසලුත් ජාතිවාදී ආගම් වාදී ද ? මොකද එක ආගමයි නේ උගන්න්නේ ... මේවට හිනායනවා ඔයි

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් පැහැදිලි මදි ඔයාට හිනායන්නෙ ආරක්ෂක ලේකම් ත්‍රස්ත වාදී කණ්ඩායමක ඇකඩමියක් විවෘත කරපු එකටද?

      Delete
    2. ආගම් වාදී නොවන දහම්පාසල් තියෙනවද?

      Delete
  5. Suchrith Gamlathwa andala oya bash sahithaya kala akadamiya passen inneth Sinhala bauddha jatiwadee nadayakma tamai.... ''බෘහස්පති සාහිත්‍ය කලා සරසවිය විවෘත වීම දේශපාලන වශයෙන් වැදගත් කාර්යයක්ය කියා අපි හිතන්නේ ඒ නිසායි. සිංහලකම කියන අනන්‍යතාව පදනම් වන්නේ භාෂාව හා සංස්කෘතිය මත. මම හිතන්නේ දේශපාලනය මෙතැනදී ද්විතීයකයි. සිංහලය රැකගන්න, වෙනස් වන ලෝකයත් සමග ඉදිරියට ගෙන යන්න පුළුවන් සැබෑ ජාතිප්‍රේමීන් පිරිසක් හෙවත් මනුස්සකමින් පිරිපුන් මිනිසුන් පිරිසක් බිහිකරගන්න එවැනි වැඩමුළු ප්‍රයෝජනවත් වේවි.'' Me tika liyanna ikman wenna kalin me aya kauda kiyal hoyala baluwanam hodai.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා