ක්‍රීඩාශීලී ආණ්ඩුවට ක්‍රීඩාශීලී සැලියුට් එකක්

අද අපි ආණ්ඩුවේ හොඳක් කියන්නෙමු. අපි නරකම දකින්නේ ඇයිද යන්න සමහරු අසති. ගුණ වයන්නට මෙතරම් ජනමාධ්‍ය තිබියදී අපද එය කරන්නට අවශ්‍ය නැත. අනෙක් පැත්තෙන් කියන්නට හොඳක් ඇත්තේත් නැත.

සියලුම පාසල් සිසුන්ට මේ වසරේ සිට කුමන හෝ ක්‍රීඩාවක නිරතවීම අනිවාර්ය කෙ‍රෙන කැබිනට් සංදේශයකට ඇමැති මණ්ඩල අනුමැතිය දී ඇත.

එමෙන්ම සියලු වෘත්තීය පුහුණු ආයතන හා උසස් අධ්‍යාපන ආයතනවල සිසුන්ට ද මෙය අනිවාර්ය වන අතර ඔවුන්ට කිසියම් වු ක්‍රීඩාවක නිරතවීමට අවශ්‍ය පහසුකම් සැපයීමටත්, සහතික හා ලකුණු ලබාදීමේ ක්‍රමයක් හඳුන්වාදීමටත් යෝජනා කර ඇත.

අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී විෂයයක් ලෙස ක්‍රීඩාව හැදැරීමටද මේ සමග අවස්ථාව සැලසේ. මේ වසරේ සිට සෑම පාසල් දරුවෙකුටම ක්‍රීඩා විෂයයට අදාල ශාරීරික යෝග්‍යතා ප්‍රගති වාර්තා පොතක්ද නිකුත් කරන බව කියැවේ. එමගින් සෑම පාසල් සිසුවෙකුගේම ශාරීරික යෝග්‍යතාව වසරකට වරක් ඇගැයීමට ලක් කිරීමට කටයුතුකරන බවද කියනු ලැබේ.

විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන කාලයකදී ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා තරගාවලියකට සුදානම්වීම පිණිස ජාතික ක්‍රීඩා සංචිතයක පුහුණුව ලබන්නේ නම් එම ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට, ඉගෙනුම් කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍යනම් තවත් වසරකින් විශ්ව විද්‍යාල කාලය දීර්ඝ කිරීමද යෝජනා කර තිබේ.

මෙම පියවර ඉතා කාලෝචිත සමාජ දේශපාලන ක්‍රියාමාර්ග බව අපි ප්‍රකාශ කරමු. ධනේශ්වර පාලනය විසින් ප්‍රවර්ධනය කරනු ලබන ආත්මාර්ථකාමිත්වය, උන්නතිකාමය හා තරගකාරිත්වය වැනි දුර්ලක්ෂණ මැදටම හෝ ක්‍රීඩාව මෙසේ පැමිණීම අගය කළ යුතුය. ක්‍රීඩාවෙන් මනස ප්‍රබෝධවත් වේ. සතුටක් ඇති වේ.  මිනිසුන්ගේ නරක අඩු වේ. 

මිනිස්සු ක්‍රීඩාශීලී වනවිට මනසේ ඇතිවන රසායනික ක්‍රියාවලි මිනිසුන් තුළ යහපත් ආකල්ප ඇති කරන්නට ඉවහල් වේ. අඩු තරමේ නරක සිතුවිලිවල ගැලී සිටින්නට තිබෙන කාලය හෝ අවම වේ.

ක්‍රීඩාව, ක්‍රීඩා ඇඳුම ෆැෂන් එකක්වීම පවා හොඳය. කොළඹ හතේ, බත්තරමුල්ලේ තාප්ප කැඩී සක්මන් මළු හැදුණේය. උදයට, හවසට මිනිස්සු විවේකයෙන්, විනෝදයෙන්, කෙළිදෙලෙන් කාලය ගතකරන හැටි දැකීම සුන්දරය.

පුරුෂෝත්තමවාදය, ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය, ප්‍රචණ්ඩත්වය, සොරකම වැනි නරක අදහස් සමාජය තුළ ප්‍රවර්ධනය කරන මිනිස්සු බොහෝවිට ක්‍රීඩා හෝ ශාරීරික ව්‍යායාම් හෝ නොකරන, නැතිනම් ඒ සඳහා අවස්ථාව නැති අයයි. මේ අය සහජයෙන්ම අන් ක්‍රීඩාවලට අකැමැති අතර රති ක්‍රීඩාවට අධික ලෙස ලොල්ය. නැතිනම් ආශාවේ තරමට ඒ ක්‍රීඩාව කරගන්නට බැරි හෝ තෘප්ත කරගැනීම ගැන වරදකාරී හැඟීම් තමන් තුළ ඇතිවන ආශාවන් ඇති අය බව ඔවුන්ගේ අභ්‍යන්තර ජීවිතවලට එබී බැලූවිට පෙනේ.

ක්‍රීඩාව මේ සියල්ලටම බෙහෙතකි. 

මම ඉන්නේ ගමකය. පසුගිය කාලයේ මම බයිසිකලයක් ‍මිළදීගෙන ව්‍යායාම සඳහා එය පදින්නට පටන් ගත්තෙමි. මුල් දිනවල පාරට බැස්ස හැටියේ සිට දන්නා අඳුනන අය අසන්නේ කෝ කාර්එක, බයික් එක ආදී ප්‍රශ්නයි. "අන්න අරූ බයිසිකලේට වැටිලා"යි ඇතැමෙක් සතුටු වූහ. දැන් අපේ ගෙවල් පාර කිලෝ මීටර් තිහකට වඩා එක සැරේ කඩලා හදනවාය. බයිසිකල් පැදීම ජීවිතයත්, මරණයත් අතර සටනකි. ගෙදර ව්‍යායාම කිරීම කම්මැලිය. ව්‍යායාම කරන්නට ගෙදරින් ඈත යාමට වෙලාව අඩුය. සංස්කෘතික හේතුද රැසකි. පාරේ දුවන එක කාටත් වඩා බල්ලන්ට අල්ලන්නේ නැත. උන් බුරාගෙන පස්සෙන් වැටෙති.

ගම්වල අවුල් ඔහොමය. ගම්වල ප්‍රාදේශීය සභාවල ඉන්නේ ක්‍රීඩාවක් ගැන අන්දෝ සංසාරයක් නොදන්නා දේශපාලන බත්බැලයෝය. උන් හිතන්නේ ක්‍රීඩා පිට්ටනි තිබෙන්නේ අනවසර කඩ හදන්නට, කානිවල් හා සංගීත සංදර්ශන තියන්නට කියාය. ගෝඨාභයතුමාගේ මැදිහත්වීමෙන් හෝ කොළඹ මේ වෙනස ගමට යනවානම් නරක නැත. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. උඹටත් පිස්සු, ගමේ උන්ට ආතල් දෙන්නෙ නැතුව, අර කෙහෙල ගස් ටිකට සාත්තුවක් කරලා, අපි වවමු රට නගමු වැඩේ කරපන්කෝ. බල්ලො හරි උඹ දැකලා තියෙනවනනේ බල්ලො පිස්සොන්ට බුරනවා. ඉතින් බල්ලො හරි. හැබයි මේ කිව්වා වගේ මේකනම් හොඳ වැඩක්. තමන් ලබපු ළමා කාළය දරුවන්ට ලබා නොදි තම ලෙයින් උපන් දරුවන්ගෙන් ගොන් ආතල් ගන්න බූරූ දෙමව්පියන්ට ආන්ඩුවෙන් දුන්න කනේ පාරක්, දැන්වත් කොල්ලොන්ට කෙල්ලොන්ට පොත් ටික පැත්තකින් තියලා පොඩි ආතල් එකක් ගන්න පුළුවන්. ඒත් ඉතින් ගමේ ගොඩේ ඇලේ දොලේ පනින්න දුන්නනම් තම මීට වඩා වටින්නේ.

    ReplyDelete
  2. මට මෑතකදී ෆේස් බුක් එකේ මෙහෙම රූපයක් ඇස ගැටුනා.
    එහි දිළිඳු කාන්තාවක් ඇවිදින සහ ජනනායකයා පිරිසක් සමඟ දුවන රූ සටහනක් තිබුනා.
    පහළින් මෙසේ ද ලියා තිබිණි.
    ‘දුප්පතුන් කෑම සොයා සැතපුම් ගණන් ඇවිදිද්දි, පොසතුන් කෑ කෑම දිරවාගන්න සැතපුම් ගණන් දුවති.‘

    ReplyDelete
  3. හැම දේකම වගේ මේ වැඩේත් ඔය කියන විදියට පේන්න තියෙන වරද තමයි අනිවාර්ය කිරීම.

    මං හිතන්නේ කළ යුත්තේ අවශ්‍යතාවය ඇතිකිරීම, පහදා දීම, දැනුවත් කිරීම සහ පහසුකම් ඇති කිරීමයි. මෙතන අනිවාර්ය කිරීම යනු එක්තරා ආකාරයක ඒකාධිපතිවාදයකි. එය සොඳුරු එකක් විය හැක.


    ReplyDelete
  4. ගමේ ගොඩේ ඇවිදින එක නම් වාතයක්. මං දන්න ඇන්ටි කෙනෙක් කාඩියොලෙජිස්ට් කෙනෙකු ගේ උපදෙස් මත ඇවිදින්න පටන් ගත්තා.

    හැබැයි ටික දවසකින්ම අතහැර දැම්මා.

    මෙන්න ඒ ගැන කතන්දරේ.

    http://kathandara.blogspot.com/2011/09/where-are-you-going-my-pretty-maid.html

    පැරාට වෙලා තියෙන්නේත් ඒ කේස් එකම තමයි!

    ReplyDelete
  5. Aanduvata baninnethuva innama barida?

    ReplyDelete
  6. ලගදි සුදු වෑන් එකක් ආවද ගෙවල් පැත්තෙ?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා