බීබීසී සංදේශය හා තවත් එවැනි මාධ්‍යවල තිබෙන ගැටලුව කුමක්ද?

පසුගිය දිනෙක බීබීසී සිංහල සේවයේ අධිපති ප්‍රියත් ලියනගේ සමග ඉතා කෙටි කතාබහක් කරන්නට ලැබිණි. ඔහු බ්ලොග්කරුවකු ලෙස හෝ මාධ්‍යකරුවකු ලෙස හෝ මෙම රචකයා පිළිබඳ කිසිවක් දැන සිටි බවක් නොපෙනිණි. බීබීසී සංදේශය ගැන  කළ අදහස් විමසීමකදී රචකයා පැවසූ කරුණක් වන්නේ එය සිංහල හැඟීම් ගැන මීට වඩා සැලකිලිමත් විය යුතු බවයි. එය සිදුවිය යුත්තේ කෙසේදැයි ඔහු ඇසූ ප්‍රශ්නයට රචකයා ඒ අවස්ථාවේ වාචිකව ගොනු කළ පිළිතුර ව්‍යක්ත එකක් නොවීය. එය සංකීර්ණ ප්‍රශ්නයකි. කොහොමත්, ලියන තරම් 'හොඳින්' වාචිකව අදහස් පළ කරන්නට රචකයාට බැරිය. ඒ නිසා මේ කරුණ යමෙකුට පැහැදිලි කරන්නේ කෙසේදැයි මම සිතුවෙමි.

සංදේශය වාර්තාකරණයේදී සිංහල හැඟීම් ගැන සංවේදී බව ප්‍රියත් අදහස් කළේය. බීබීසී වාර්තාවලදී ඔවුහු ඇත්තෙන්ම දෙපැත්තම වාර්තා කරති. එහෙත්, සමස්ථ ප්‍රකාශනය පොදු සිංහල සමාජයට ගම්‍ය වන්නේ සිංහල විරෝධී එකක් ලෙසයි. එය සිංහල සමාජයේ වරදක්ද? 

රචකයා කී කරුණ සංදේශය වැඩසටහනට පමණක් නොව, රචකයා කලක් සේවය කළ හිරු, රාවය වැනි පුවත්පත්වලටත් අදාළය. ‍මෙම මාධ්‍යවලට එරෙහිව ඇති ඒවා දෙමළ ජාතිවාදය කෙරෙහි හිතවාදීය යන ලේබල්කරණය තනිකරම සිංහල ජාතිවාදීන්ගේ ප්‍රචාරයක්ද? නැතිනම් මෙම සන්නිවේදන කාර්යයේ යම් ගැටලුවක් තිබේද?

අපි මෙම බ්ලොගය ආරම්භයේ සිට පමණක් නොව ඊට බොහෝ කලකට පෙර සිටම පාහේ  සාකච්ඡාමය දේශපාලන විසඳුමක් හරහා ජාතීන් අතර සංහිඳියාව ගොඩනැඟීමේ වැදගත්කම පිළිබඳ සාකච්ඡා කර ඇත. බලය බෙදාගැනීමේ ඉල්ලීම බටහිර හෝ රාජ්‍ය නොවන සංවිධාන හෝ ව්‍යාපෘතියක් නොව දේශපාලන අරගලයක් විය යුතු බව අපි පුන පුනා කියන්නේ මේ රටේ එවැනි පැහැදිලි දේශපාලනයක් නැති නිසාවෙනි. විශේෂයෙන්ම වාමාංශික පක්ෂ මෙහිදී අනුගමනය කරන්නේ කුහකවතකි.

ජනතා විමුක්ති පෙරමුණ හා එයින් වෙන් වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෑත යුගයේදී ජාතීන්ගේ ප්‍රශ්නය විෂයෙහි වාමාංශය දෙසට තල්ලු වීමක් සිදු වී තිබේ. වසර කීපයකට ඉහතදී දැඩි ලෙස සිංහල ජාතිවාදය සමග බැඳී සිටි මෙම දේශපාලන ධාරාව එසේ චලනය වීම සමාජ ජයග්‍රහණයකි. එහෙත්, තවමත්, ඔවුහු බලය බෙදාගැනීම නම් සංයුක්ත කාරණය පිළිබඳ පැහැදිලි ස්ථාවර ප්‍රකාශ නොකරති.

'ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම සමාජවාදයයි' යන මාක්ස්වාදී යයි ඔවුන් සිතන න්‍යායක් තුළ සිටිමින් ඔවුහු ප්‍රශ්නය මගහරිති. අප මේ සමාජවාදය ගැන මූලිකවම එල්ල කරන විවේචනය වන්නේ ඔවුන් සමාජවාදය යයි කියන නොපැහැදිලි දෙය මනෝරාජික අදහසක් හෝ පරිකල්පනයක් හෝ ෆැන්ටසියක්ය යන්නයි.

වාමාංශික අනෙක් අන්තය වන්නේ දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ හිමිකම යනු වෙනම ජාතික රාජ්‍යයක් බිහි කර ගැනීමට දෙමළ ජනයාට තිබෙන අයිතියයි යන න්‍යායික තර්කනය මත පිහිටා සිටින බලවේගයයි. මේ මතය යම් ප්‍රබුද්ධ වාම අදහසක් ලෙස පිළිගැනීමට ලක් වී තිබේ. එළිපිට ප්‍රකාශ නොකළත්, මේ අදහස න්‍යායිකව පිළිගන්නා හෝ එම මතයේ බලපෑමට ලක් වූ වාමාංශිකයෝ කොටසක් ඒ අනුව මාධ්‍ය හැසිරවීම කරති. අප මෙහිදී නිදසුන් කර ගන්නා මාධ්‍ය බොහොමයක මෙම ලක්ෂණය තිබේ.

ජනමාධ්‍ය සිංහල හැඟීම් ගැන සැලකිලිමත් විය යුතු බව අප කියන්නේ මෙම ආස්ථානයේ පිහිටා සිටින ජනමාධ්‍යකරුවන් බොහෝදෙනෙක් අතින් එය සිදු නොවන නිසාය. පුවත් තෝරාගැනීම, රචනා කිරීම හා විශ්ලේෂණය කිරීම ඔස්සේ ඔවුන්ගෙන් සිදුවන සමස්ත ප්‍රකාශනය ඊලාම් රාජ්‍යයකට පක්ෂපාතී එකක් ලෙස සිංහල සමාජයට පෙනී යාම ඔවුන් හමුවේ තිබෙන ප්‍රධාන සන්නිවේදන බාධකයකි.

එක් පැත්තකින් ඔවුන් වෙතින් ප්‍රකාශ වන්නේ ඔවුන් සිටින ස්ථාවරය මිස අන් යමක් නොවේ. ඒ අනුව මෙය දෘෂ්ටිවාදීමය ප්‍රශ්නයක් බවට පත් වේ. අප සමග එකී අධිපති මාධ්‍යකරුවා කළ කෙටි කතාබහේදී ඔහු ඇසුවේ මා කියන දෙය දෘෂ්ටිවාදීමය තලයකින් නොව එදිනෙදා කටයුතුවලට අදාළව විග්‍රහ කරන්නේ කෙසේද යන්නයි. දෘෂ්ටිවාදීමය ගැටලුවක් මත පදනම් වන දෙයක් එහි මතුපිට ප්‍රකාශනය වන එදිනෙදා පුවත් විකාශනය ඔස්සේ පමණක් විග්‍රහ කළ නොහැකිය.

මෙම දෘෂ්ටිවාදී ගැටලුවෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම මාධ්‍ය ධාරා‍වේ සිටින සහෝදරවරු සිය මතය පිළිගන්නා සීමිත පාඨක ප්‍රජාවක් සමග පමණක් කටයුතු කරන තත්වයට පත් වී සිටිති. පොදු පාඨක සමාජයෙන් බැහැර වෙති. තමන්ගේ මතය පිළිගන්නා පිරිස සමග පමණක් කටයුතු කිරීම ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවන්ට බණ කියා දීම වැනි දෙයකි. මෙම රාමුව තුළ අනන්‍යතා ගොඩනඟාගනිමින්, හිතමිතුරු කව තුළ ජනප්‍රිය වෙමින්, වීරත්වයට පත්වීම එතරම් අමාරු නැත. එහෙත්, සියලු සුබවාදිත්වයන් අකාමකා දමමින් පොදු සමා‍ජයේ ගොඩනැඟෙමින් තිබෙන අගතියේ මහා ප්‍රවාහයට එරෙහිව මැදිහත්වීම් කරන්නට නම් මේ රාමුවෙන් පිටතට ආ යුතුය. ජාතිවාදයෙන් අන්ධ වූ සමාජයකට ඇස් තැබීම සඳහා නව ක්‍රම සොයා යා යුතුය. තනි පුද්ගල චූල මාධ්‍යකරුවකු ලෙස මෙම රචකයා කරන්නට උත්සාහ කරන්නේ එයයි. අපි මෙම බ්ලොගය හරහා එදිනෙදා සිදුවීම් විග්‍රහ කරන්නේ ඉතා පැහැදිලිවම මෙම ස්ථාවරයේ සිටයි.

සිංහල හැඟීම් තුළ ‍ඊලාම් සංකල්පය පිළිබඳ සුබවාදී හැඟීමක් ඇතිකිරීම කිසි කලෙක කළ නොහැක්කකි. මන්ද, නූතන දෙමළ ඊලාම්වාදය ගොඩනැඟෙන්නේම සිංහල විරෝධී ආස්ථානයකින් වීමයි. මෙහි කිසියම් සාධාරණ ප්‍රතිචාරාත්මක ලක්ෂණයක් තිබේ. මන්ද සිංහල ජාතිකවාදයද දෙමළ විරෝධී ලක්ෂණ කැටි කරගත් එකක් බැවිනි. එහෙත්, ඊලාම්වාදයේ පදනම දෙමළ ජාතිවාදයයි. ස්වෝත්තමවාදයයි. සම්මුති විරහිත කොටි සංවිධානය ‍ස්වයං විනාශකාරී ලෙස මෙම ස්ථාවරය ප්‍රකාශයට පත් කළ නිදසුනකි. 

එක් ජාතිවාදයකට එරෙහිව තවත් ජාතිවාදයකට පක්ෂ වීම ඉතිහාසය පුරාම වාමාංශිකයන් ජාතීන්ගේ ප්‍රශ්නය විෂයෙහි කළ වැරැද්දකි. සිංහල මහ ජාතිවාදයට එරෙහි නිසා දෙමළ ජාතිවාදයට අප පක්ෂ විය යුතු නැත. ඇමරිකානු හෝ බටහිර ජාතිවාදයට එරෙහි වන පළියට අප මුස්ලිම් අන්තවාදයට පක්ෂ විය යුතු නැත. බටහිර විද්‍යාව විවේචනය කළ පළියට ජ්‍යෝතිෂඥයන්ට, හොර වෙදුන්ට හා වෙනත් හණමිටිකාරයන්ට පක්ෂ විය යුතු නැත.

න්‍යායික තලයේදීද ස්වයං නිර්ණය හිමිකම යනු වෙන්වීමේ අයිතියය යන තර්කය අපි අභියෝගයට ලක් කරමු. ස්වයං නිර්ණය හිමිකම යනු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන පරිදි රාජ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීමේ අරගලයක් මිස අලුත් ජාතික රාජ්‍ය බිහිකිරීම සඳහා වූ අරගලයක් නොවේ. ලෙනින් ජීවත් වූ සමයේ රාජ්‍ය ව්‍යූහයන් හා අද පවත්නා ලෝක දේශපාලන ව්‍යූහය අතර වෙනස්කම් තිබේ. ජාතික රාජ්‍ය කියා අද කියන්නේ ගෝලීය ආර්ථිකය තුළ ස්ථානගත වූ ආර්ථිකයන් පාලනය කරන දෘෂ්ටිමය වශයෙන් ජාතිවාදී වූ ආණ්ඩු හා දේශපාලන සමාජයි. ලංකාවේ සිංහල ජාතිවාදී රාජපක්ෂ ආණ්ඩුව මේ සඳහා හොඳම නිදසුනකි. ලංකාවේ උතුරේ එවැනි ඊලාම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා අප උපකාර කළ යුත්තේ කුමටද? අප කළ යුත්තේ දකුණේ පිහිටුවා ඇති එවැනි වූ රාජ්‍යය බිඳ දැමීමයි. ලංකාව හෝ හැකිනම් දකුණු ආසියාවම හෝ විෂයෙහි ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් වෙනුවෙන් අරගල කිරීමයි.

අප සාකච්ඡාවට භාජනය කළ මාධ්‍ය භාවිතාව තුළ තිබෙන ගැටලුව යළි සංයුක්ත කර ගතහොත් මෙසේය. සිද්ධි පුවත් බවට පත් කිරීමේදී, ඒ පුවත් රචනයේදී, ඉදිරිපත් කිරීමේදී හා විශ්ලේෂණයේදී මාධ්‍යකරුවන්ගේ දෘෂ්ටිමය ආස්ථානයන් ප්‍රකාශයට පත් වීම නොවැළැක්විය හැකිය. දෙපැත්තම ආවරණය කරනවාය යන වෘත්තික ගුණය හේතුවෙන් එය වැළැක්වෙන්නේ නැත.

ජාතීන්ගේ ප්‍රශ්නය වැනි සංකීර්ණ ප්‍රශ්නයකදී තීරණාත්මක වූ ජනමාධ්‍ය මැදිහත්වීම්වලට අදාළව දෘෂ්ටිවාදීමය සාධක ඉතා වැදගත් බව මෙහිදී අපට පැමිණිය හැකි නිගමනයයි. එමගින් නැවතත් අවධාරණය වන්නේ දෘෂ්ටිවාදීමය සංවාදය ඉදිරියට ගෙන යාමේ වැදගත්කමයි. සිංහල දේශපාලන සමාජය ජාතිවාදයේ මහා ප්‍රවාහයකට යට වනු සීමිත ප්‍රජාවක් ඇසුරේ සිටිමින් නරඹමින් තීරණාත්මක මැදිහත්වීමක් නොකර සිටින එක නොවේ. මැදිහත්වීමේ ඵලදායිතාව ඉහළ නංවාගැනීම සඳහා නව මං සෙවීමයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. මුලින්ම කිව යුත්තේ රචකයා (හෝ ඔබ ඉස්සර භාවිතා කළ ලේඛකයා) වැනි පද භාවිතා නොකට මා, මම යැයි කීවා නම් මේ ලිපියේ මුල කොටසද කියවන්නාට මීට වඩා සමීප වෙන්නට ඉඩ ඇති යැයි මට සිතෙන බවයි.

    දෙවනුව, මේ ලිපිය කියවූ මට හැඟී ගියේ, ඔබ මෙහි පවසන්නේ සිංහලයාට මීට වඩා සමීප වෙන්නට නම් ජනමාධ්‍යකරුවන් සහ වෙතත් විවිධ දේශපාලන ව්‍යාපාරවල යෙදෙන්නන්කළ යුත්තේ සන්නිවේදන උපක්‍රම භාවිතා කිරීම නොව, තම මතය දියාරු කර සිංහලයන්ට රුචිවන පරිදි සකසා ඉදිරිපත් කිරීමය යන අදහස බවයි. එනම් තම මතවාදය ජනප්‍රිය මතවාදයකට හැරවිය යුතු බවයි.

    දැන් මේ මට හිතුණු දේ ඔබ අදහස් නොකළා විය හැකියි. එසේ නම් එයද සන්නිවේදනය පළිබඳ ප්‍රශ්නයකි.

    ReplyDelete
    Replies
    1. මත දැරීම හා මත ගොඩනැඟීම හෙවත් සන්නිවේදනය යනු එකක් නොව දෙකකි. මග ගොඩනැඟීම මැදිහත්වීමකි.

      යම් එඩිතර මතයක් දැරීමෙන් වීරයකු විය හැකිමුත් ඒ මතය සමාජගත කිරීමට බැරි වුවහොත් ප්‍රතිඵලයක් ඇති නොවේ.

      මේ කරුණට අදාළව මමනම් සිටින්නේ මේ මතයේ තමාය. ඒක තව තනුක හෝ සාන්ද්‍ර කරන්නට දෙයක් නැත. මුල පටන්ම අප ලියා ඇත්තේද එම ස්ථාවරයේ සිටය.

      Delete
    2. වචන ගැන ඔබ කියන අදහස ඇත්තය. ඒ අනුව සංස්කරණය කළෙමි.

      Delete
    3. අනේ කතන්දර උබය් මායි දන්න දේසපාලනේ .. ඔහේගේ බුද්දි මට්ටමේ විදිහට චු කතාවක් ගු කතාවක් ලියාගෙන හිටපන් කෝ අපිට පවු නොදී

      Delete
  2. /* ඔහු බ්ලොග්කරුවකු ලෙස හෝ මාධ්‍යකරුවකු ලෙස හෝ මෙම රචකයා පිළිබඳ කිසිවක් දැන සිටි බවක් නොපෙනිණි. */

    එය බීබීසීකාරයා භාවිතා කරන මූලාශ්‍රවල පටු බව කියාපාන්නකි.

    ReplyDelete
  3. ////එක් ජාතිවාදයකට එරෙහිව තවත් ජාතිවාදයකට පක්ෂ වීම ඉතිහාසය පුරාම වාමාංශිකයන් ජාතීන්ගේ ප්‍රශ්නය විෂයෙහි කළ වැරැද්දකි. සිංහල මහ ජාතිවාදයට එරෙහි නිසා දෙමළ ජාතිවාදයට අප පක්ෂ විය යුතු නැත. ඇමරිකානු හෝ බටහිර ජාතිවාදයට එරෙහි වන පළියට අප මුස්ලිම් අන්තවාදයට පක්ෂ විය යුතු නැත. බටහිර විද්‍යාව විවේචනය කළ පළියට ජ්‍යෝතිෂඥයන්ට, හොර වෙදුන්ට හා වෙනත් හණමිටිකාරයන්ට පක්ෂ විය යුතු නැත. ////

    100% ක් එකඟයි බොහෝ දෘෂ්ටිවාදීන් වරද්දා ගත් තැන එතනයි

    ReplyDelete

  4. බීබීසී එක කොහොමත් කොටින්ට පක්ෂපාතී එකක්. මොකද කොටින්ගේ මුතුන්මිත්තන් පෝෂණය කළේ එංගලන්තයේ ඉංග්‍රීසි අධිරාජ්යවාදීන් නිසා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා